ගුවන් භටයන් ඉදිරියේ CH පරාජයට; නාවිකයින්ට තෙවැනි තැන

804
Dialog Rugby League 2016/17 Week13 Feb 3rd roundup

ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ 13 වැනි සතියේ ආරම්භක තරග ද්විත්වය අද (03) පැවැත්වූ අතර එහිදි රත්මලානේදී පැවති ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ CH & FC ක්‍රීඩා සමාජය අතර තරගයෙන් ලකුණු 53-17ක් ලෙස ගුවන්භටයෝ ජයග්‍රහණය කරන විට, අනෙක් තරගයෙන් 37-34ක් ලෙස නාවිකයෝ, CR & FC කණ්ඩායම අභිබවා තරගාවලියේ තෙවන ස්ථානය තහවුරු කරගත්හ. ඒ CR & FC ක්‍රීඩා පිටියේදීයි.

ශූරතාවය රැකගන්නට මහනුවරට හැකිවේවිද?

ඩයලොග් රග්බි ලීගයේ ශූරයන් කවුරුන්දැයි හඳුනා ගැනීමට එළඹෙන ඉරිදා (5) දිනදී හැකිවනු ඇත. මේ, ඩයලොග් රග්බි ලීගයේ තීරණාත්මක සතියයි.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව CH & FC කණ්ඩායම

සඳරුවන් අධිකාරි විසින් වාර්තා කළ උත්සාහක දිනුමත් සමඟින් ලකුණු පුවරුව ක්‍රියාත්මක වූයේ ගුවන් හමුදා ක්‍රීඩකයින්ට තරගයේ වාසිය අත්කර දෙමිනි. ගයන්ත ඉද්දමල්ගොඩ විසින් එහි ප්‍රවර්තනය සාර්ථක කරගන්නා ලදී. (ගුවන් හමුදාව 07-00 CH & FC)

පසුව ගුවන් හමුදා ක්‍රීඩකයන් අතින් තමාට අයත් ගෝල සීමාවේදී පන්දුව ඉදිරිපසට අත්හැරුණු බැවින් මීටර 10ක දුරක් පමණක් ගෙවා ගොස් උත්සාහක දිනුමක් වාර්තා කිරීමේ අවස්ථාව CH ක්‍රීඩකයන්ට උදාවිය. දිමාල් ජයසිංහ විසින් CH කණ්ඩායමට ලකුණු 5ක් එක්කළ අතර ඊට තවත් ලකුණු දෙකක් එකතු කළේ විශ්ව දිනෙත් විසිනි. (ගුවන් හමුදාව 07-07 CH & FC )

CH කණ්ඩායමේ ගිහාන් හේවගේ අතින් පැහැදිළි නීති කඩකිරීමක් සිදු වූ බැවින් ඔහුට කහ කාඩ්පතක් පිරිනැමීමට විනිසුරුවරයා තීරණය කළ අතර ක්‍රීඩකයන් 14 දෙනෙකු සමඟින් මිනිත්තු 10ක් පුරා ක්‍රීඩා කිරීමේ අභියෝගය ඔවුන්ට පැවරිණි. ඉන් කදිමට වාසි ලබාගත් ගුවන් හමුදා කණ්ඩායමේ ප්‍රමෝද් වීරසිංහ දිගු දුරක් ගෙවා ගොස් පබසර හේවගේ අතට පන්දුව යොමුකිරීමෙන් උත්සාහක දිනුමක් සාර්ථක කරගන්නා ලදී. (ගුවන් හමුදාව 12-07 CH & FC)

CH කණ්ඩායමට ක්‍රීඩකයෙකු අහිමිව සිටියදී, ඔවුන්ව තවතවත් දුෂ්කරතාවයට පත්කළ කෞෂාල් මනුප්‍රිය, නැවතත් ගුවන් භටයන් වෙත ලකුණු එක්කළේ උත්සාහක දිනුමකිනි. ගයන්ත ඉද්දමල්ගොඩ ඊට ප්‍රවර්තනයෙන් සාධාරණය ඉෂ්ඨ කළේය. (ගුවන් හමුදාව 19-07 CH & FC)

පසුව දැඩි විනයකින් පන්දුව ඉදිරියට රැගෙන ගිය CH ක්‍රීඩක දිමාල් ජයසිංහ විසින් උත්සාහක දිනුමක් සාර්ථක කරගත්තේය. (ගුවන් හමුදාව 19-12 CH & FC) ප්‍රවර්තනයේදී විශ්ව අසාර්ථක විය.

ගුවන් භටයන් යළිත් පබසර හේවගේ මඟින් උත්සාහක දිනුමක් රැස්කළේ ගයන්තගේ ප්‍රවර්තනය හරහාද ලකුණු 2ක් රැස්කරමිනි. දෙපිලෙන්ම කරට කර දක්ෂතා දිස්වන පසුබිමකදී ප්‍රථම අර්ධය අවසන් විය.

පළමු අර්ධය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 26 – 12 CH & FC කණ්ඩායම

විවේකයෙන් පසුව ගුවන් භටයන් තරගය ආරම්භ කළේ සාරක වැරැල්ල ලබාගත් උත්සාහක දිනුමත් සමඟිනි. ගයන්ත, ප්‍රවර්තනයේදී යළිත් සාර්ථකයි. (ගුවන් හමුදාව 33 – 12 CH & FC)

මීළඟට සාර්ථක වූයේ සඳරුවන් අධිකාරි ය. ඔහුගේ උත්සාහක දිනුම, ගුවන් භටයන්ව තවදුරටත් ඉදිරියට ගෙනගිය අතර ප්‍රවර්තනය පමණක් අසාර්ථක විය. (ගුවන් හමුදාව 38-12 CH & FC)

පසුව කණ්ඩායම් හැඟීමෙන් ක්‍රීඩා කළ CH ක්‍රීඩකයින් වෙනුවෙන් සාර්ථකත්වයට පත්වන්නට රයන් ප්‍රනාන්දු සමත් විය. (ගුවන් හමුදාව 38-17 CH & FC)

එතැන් සිට තරගයේ අයිතිය සම්පූර්ණයෙන්ම සියතට ගත් සත්කාරක කණ්ඩායම, CH කණ්ඩායමට පහර පහරදෙන්නට විය. 62 වන මිනිත්තුවේදී කෞෂාල් මනුප්‍රිය, තරගය තුළ සිය දෙවන උත්සාහක දිනුම ද වාර්තා කළේය. (ගුවන් හමුදාව 43-17 CH & FC)

ඉන් අනතුරුව සාරක වැරැල්ල සහ දිනේෂ් වීරරත්න එක්ව අටවැනි සහ නවවැනි උත්සාහක දිනුම් වලින් ගුවන් හමුදා ලකුණු පුවරුව වර්ණවත් කරන ලදී. ඒවා වාර්තා වූයේ පිළිවෙලින් තරගයේ 69 සහ 78 යන මිනිත්තුවලදීය. ඒත් සමඟ ඩයලොග් රග්බි ලීගයේ සිව්වන ස්ථානය සඳහා ගුවන් හමුදාවද තරගකරුවකු බව ඔවුන් විසින් ඔප්පු කළේය.

සම්පූර්ණ කාලය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 53 (9T 4C) – 17 (3T 1C) CH & FC කණ්ඩායම

ThePapare.com තරගයේ වීරයා: සාරක වැරැල්ල (ගුවන් හමුදාව).  

ලකුණු වාර්තා කළ ක්‍රීඩකයන්

  • ගුවන් හමුදාව: සාරක වැරැල්ල 2T, සඳරුවන් අධිකාරි 2T, කෞෂාල් මනුප්‍රිය 2T, පබසර හේවගේ 2T, දිනේෂ් වීරරත්න 1T, ගයන්ත ඉද්දමල්ගොඩ 4C.
  • CH & FC: දිමාල් ජයසිංහ 1T, රයන් ප්‍රනාන්දු 1T, විශ්ව දිනෙත් 1C.

CR & FC කණ්ඩායම එරෙහිව නාවික හමුදා ක්‍රීඩා සමාජය

අවසන් ප්‍රතිඵලය කෙසේවුවත්, ලොන්ඩන් පිටියේ සිය අණසක ප්‍රථමයෙන් ප්‍රදර්ශනය කළේ CR කණ්ඩායමයි. අනුරාධ හේරත් විසින් වාර්තා කල උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කරගනු ලැබුවේ නලීන් කුමාර විසිනි. (CR 07-00 නාවික හමුදාව)

උත්සාහක දිනුම් දෙකකට ලැබුණු අවස්ථාවන් මඟහරවාගත් නාවිකයන්, සිය ලකුණු ලබා ගැනීම ආරම්භ කලේ තිලිණ වීරසිංහ සාර්ථක කර ගත් දඬුවම් පහරක් හරහාය. (CR 07-03 නාවික හමුදාව)

CR ෆ්ලෑන්කර් ක්‍රීඩක ෂෙමාල් වීරසේකර විසින් ඔවුන්ගේ පරතරය තරකරගන්නා ලද්දේ ආගන්තුකයන්ට දැඩි අභියෝගයක් වෙමිනි. නමුත් ප්‍රවර්තනය අසාර්ථකයි. (CR 12-03 නාවික හමුදාව)

සුපුන් දිල්ෂාන් තම ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කිරීමත් සමඟින් නාවික හමුදා කණ්ඩායම, තම රිද්මය හඳුනා ගැනීම ආරම්භ කල නමුත් ප්‍රවර්තනය අසාර්ථක විය. (CR 12-08 නාවික හමුදාව)

අංක 8 ක්‍රීඩක ඔමල්ක ගුණරත්න, නාවික හමුදා ආරක්ෂක බැමි බිඳලන්නේ ඉන් අනතුරුවයි. ඔහු අතින් වාර්තා වූ උත්සාහක දිනුමේ ප්‍රවර්තනය නලීන්ගේ පාදයෙන් සාර්ථක විය. (CR 19-08 නාවික හමුදාව)

පළමු අර්ධයේ මැදභාගය වන විට ක්‍රියාත්මක වූ තිලිණ වීරසිංහ, දඬුවම් පහර දෙකක් සාර්ථක කරගනිමින් නාවිකයන්ට ශක්තිය සැපයූ අතර හුකර් ක්‍රීඩක දුලංජන විජේසිංහ ඊට උත්සාහක දිනුමක්ද එක්කළේය. පළමු අර්ධය අවසන් වූයේ නාවිකයන් පෙරට ගෙනයමිනි.

පළමු අර්ධය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 21 – 19 CR & FC කණ්ඩායම

තරගයේ දෙවන අර්ධයට වෙනස්ම ජවයක් එක්කරමින් චානක චන්දිමාල්, නාවික හමුදාව වෙනුවෙන් ඩ්‍රොප් ගෝලයක් වාර්තා කළේය. (CR 19-24 නාවික හමුදාව)

තිලිණ වීරසිංහගේ තවත් පහරක් CR ගෝල කණු අතරින් ඇදී යන විට නාවිකයින්ගේ ලකුණු ප්‍රමාණය තවත් ඉහල ගියේය. (CR 19-27 නාවික හමුදාව)

පසුව ක්‍රියාත්මක වූ ඔමල්ක, වින්ගර් ක්‍රීඩක රන්දිත වර්ණපුර හට ලකුණු වාර්තා කිරීමේ පහසු අවස්ථාවක් නිර්මාණය කරදුන් අතර එය සාර්ථක කරගන්නට ඔහු සමත් විය. ප්‍රවර්තනයේදී නලීන් අසාර්ථක විය. (CR 24-27 නාවික හමුදාව)

දෙපසටම පැද්දෙන තරගයක අත්දැකීම ප්‍රේක්ෂකයන් වෙත ගෙනඑමින් තිලිණ වීරසිංහ තවත් දඬුවම් පහරක් සාර්ථක කරගත්තේය. ඊට චානක චන්දිමාල් විසින් වාර්තා කල උත්සාහක දිනුමක්ද එකතු වීමෙන් අනතුරුව තරගයේ වැඩි වාසිය නාවිකයන් වෙතට හැරුණි. එහි ප්‍රවර්තනය සාර්ථකයි. (CR 24-37 නාවික හමුදාව)

තරගය අත්හැරීමට කිසිදු කැමැත්තක් නොපෙන්වූ CR කණ්ඩායමේ ඔමල්ක යළිත් උත්සාහක දිනුමකින් ලකුණු පුවරුව වෙනස් කළ අතර එහි ප්‍රවර්තනයද සාර්ථක විය. දඬුවම් පහරකින් ලද ලකුණු 3ක්ද සමඟින් CR ක්‍රීඩකයන් තරගය තමා වෙත හරවාගැනීමේ ආසන්නයටම පැමිණියද තරගය නිමා වන විට නාවික හමුදා කණ්ඩායම රැස්කොටගෙන තිබූ ලකුණු ප්‍රමාණය නිසාවෙන් නාවිකයින්ට ජයග්‍රහණය හිමි විය.

සම්පූර්ණ කාලය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 37 (3T 2C 5P 1DG) – 34 (5T 3C,1P) CR & FC කණ්ඩායම

ThePapare.com තරගයේ වීරයා: සුපුන් දිල්ෂාන් (නාවික හමුදාව).

“තරගය අවසානයට මිනිත්තු 25කට පමණ පෙරාතුව ලහිරුට රතු කාඩ්පතක් ලැබුණත් කණ්ඩායම හොඳින් ක්‍රීඩා කළා. තවමත් අපි වෙනුවෙන් ක්‍රීඩා කරනවා වගේම ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා. පුහුණුකරු අපට කිව්වේ සුපුරුදු විදියට සෙල්ලම් කරන්න කියලා. ඉතින් අපි එහෙම කරලා ප්‍රතිඵල ලබා ගත්තා.” සුපුන්, තරගයෙන් අනතුරුව එසේ පැවසීය.

ලකුණු වාර්තා කළ ක්‍රීඩකයින්

  • නාවික හමුදාව: සුපුන් දිල්ෂාන් 1T, දුලංජන විජේසිංහ 1T,  චන්දිමාල් 1T 1DG, තිලිණ වීරසිංහ 2C 5P.
  • CR & FC: ඔමල්ක ගුණරත්න 2T, අනුරාධ හේරත් 1T, ෂෙමාල් වීරසේකර 1T, රන්දිත වර්ණපුර 1T, නලීන් කුමාර 3C 1P.

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට