ටෙස්ට් තරගාවලියේ සම්පූර්ණ ගෞරවය දකුණු අප්‍රිකානුවන්ට

510
Sri Lanka v South Africa

ජොහැන්ස්බර්ග් නුවර වොන්ඩර්ස් ක්‍රීඩාංගණයේදී අද (14) නිමාවුනු තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයත් ඉනිමකින් සහ ලකුණු 118කින් ජයගත් ප්‍රබල දකුණු අප්‍රිකානුවන් ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස විශිෂ්ඨ අයුරින් නිමා කිරීමට සමත් විය. ඒ අනුව පිට පිටම ටෙස්ට් තරඟ 5ක් ජය ගනිමින් දකුණු අප්‍රිකාවට සංචාරය කල ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනතෙක් පැවති සියලුම තරඟ වලදී පරාජයන් වැළඳ ගනිමින් දැඩි පසුබෑමකට ලක්ව සිටියි.

ශ්‍රී ලංකා පිතිකරුවන් නැවත වතාවක් වගකීම පැහැර හරියි

ශ්‍රී ලංකාවත් දකුණු අප්‍රිකාවත් අතර තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (13) නිමාවට පත්වූයේ 3-0ක් ලෙසින් තරගාවලිය…

පසුගිය 12 වැනිදා කාසියේ වාසිය දිනාගෙන ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානුවන් ජේ. පී. ඩුමිනිගේ සහ හෂීම් අම්ලාගේ සුපිරි පිතිකරණය නිසාවෙන් සියල්ලන්ම දැවී ලකුණු 426ක් වාර්තා කිරීමට සමත් විය. ඔවුන් දෙදෙනා තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 292ක් රැස්කළේ ශ්‍රී ලංකා පිළෙන් ජයග්‍රහණය සෑහෙන තරම් ඈතට රැගෙන යමිනි. තම සියවැනි තරඟයට ක්‍රීඩා කල හෂීම් අම්ලා ලකුණු 134ක් ලැබීය. ජේ. පී. ඩුමිනි හතරේ පහර 19ක් සමඟින් ලකුණු 155යි.

මෙම දැවැන්ත ලකුණු පුවරුව හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් රැස් කළේ ලකුණු 131ක් පමණි. ශ්‍රී ලංකාවේදී සාමාන්‍යයෙන් හමුවන තණතිලි වලට වඩා හාත්පසින්ම වෙනස් දෝලනයක් සහ ඉපිලීමක් සහිත දකුණු අප්‍රිකානු තණතිලිවල පන්දුවේ හැසිරීම වටහාගත නොහැකි වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙගිඩියාවකින් යුතුව පන්දුව පිලිගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් කිසිදු පිතිකරුවෙකුට අර්ධ ශතකය දක්වා හෝ ගමන් කිරීමට නොහැකි විය. තම වේග පන්දුවෙන් ශ්‍රී ලංකාව අන්ත අසරණ කළ කාගිසෝ රබාඩා සහ වර්නන් ෆිලැන්ඩර් කඩුලු 3 බැගින් බිඳ හෙලීය.

ඉතාමත් දුර්වල ප්‍රථම ඉනිම නිසාවෙන් දෙවැනි ඉනිමත් ඒ සමඟින්ම ආරම්භ කිරීමට සිදුවූ ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී ද රැස් කළේ ලකුණු 177ක් පමණි. ඒ අනුව මැදපෙළ පිතිකරුවන් ලෙස කටයුතු කරන මැතිව්ස්, චන්දිමාල්, තරංග වැනි පිතිකරුවන් අද දිනයේ දෙවරක්ම දැවී ගිය ක්‍රීඩකයින් බවට පත්විය. ප්‍රථම ඉනිමේ ලකුණු නොලබාම දැවී ගිය දිමුත් කරුණාරත්න දෙවැනි ඉනිමේදී අර්ධ ශතකයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා පිළේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. තම මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ඩුවාන් ඔලිවියර් මෙම තරඟයේදී කඩුලු 5ක් බිඳ හෙලමින් තම යුතුකම් කොටස ඉටු කළේය.

දකුණු අප්‍රිකානු ප්‍රථම ඉනිමේදී රැස්කල ලකුණු 155 වෙනුවෙන් වමත් පිතිකරු ජේ. පී. ඩුමිනිට තරඟයේ වීරයා සම්මානය හිමිවූ අතර තරගාවලිය පුරාවට ආරම්භ පිතිකරුවාගේ වගකීම මැනවින් ඉටුකල ඩීන් එල්ගාර් තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානු සංචාරයේදී මෙවන් දරුණු ඉරණමකට මුහුණ දීමට පිතිකරුවන් දිගින් දිගටම අසාර්ථක වීම දැඩි ලෙස බලපෑවේය. විශේෂයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ වගකීම පැවරී ඇති මැතිව්ස් – චන්දිමාල් සුසංයෝගය මෙම තරගාවලියේ ලකුණු අතර නොසිටීම ශ්‍රී ලංකාවට මරු පහරක් විය. ගෙවුනු ඕස්ට්‍රේලියානු ටෙස්ට් තරගාවලියේ කැපී පෙනෙන ඉනිම් කිහිපයක්ම ක්‍රීඩා කරමින් තේරීම් කමිටුවේ මෙන්ම ප්‍රේක්ෂකයින්ගේ ද විශ්වාසය දිනාගෙන සිටි කුසල් මෙන්ඩිස්ට සහ ධනංජය සිල්වාට මෙම තරගාවලියේදී දිගු ඉනිමක් කරා යාමට හැකි නොවීය. එසේම නිමාවුනු සිම්බාබ්වේ තරගාවලිය හැරුනුකොට අනෙකුත් ටෙස්ට් තරගාවලි කිහිපය පුරාවටම අසාර්ථක වූ ආරම්භක පිතිකරුවන් දෙදෙනාට ද මෙම තරගාවලියේදී ද ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබා දීමට හැකි නොවීය.

Photos: Sri Lanka v South Africa 3rd Test – Day 3

Photos of the Sri Lanka v South Africa 3rd Test – Day 3

වේග පන්දු යවන්නන්ගේ පාරාදීසයක් බඳුවූ දකුණු අප්‍රිකානු තණතිලි වලදී ඔවුන්ගේ පිතිකරුවන්ට තර්ජනයක් විය හැකි ආකාරයේ සුපිරි වේග පන්දු යවන්නන් ශ්‍රී ලංකා කණ්ඩායම සතු නොවීම ද මෙම තරගාවලියේ වාසිය මුල සිටම දකුණු අප්‍රිකානුවන්ට හිමිවන්නට හේතුවිය. නමුත් නවක ක්‍රීඩක ලහිරු කුමාර තමන්ට ලැබුනු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් ටෙස්ට් පිටියේ නම රැන්ඳූ පිතිකරුවන්ට එරෙහිව පන්දු යැවූ ආකාරය ප්‍රශංසනීය මට්ටමක විය. සැබවින්ම ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් නිමාවූ තරගාවලියේ දී හිමිවූ එකම ධනාත්මක සාධකය බවට පත්වූයේ 19 වැනි වියේදීම පැයට කිලෝමීටර 140 සීමාව අභිබවා හොඳින් පන්දු යවන ලහිරු කුමාර පමණි. ඔහුගේ සහයට ධම්මික ප්‍රසාද් වැනි පරිණත ක්‍රීඩකයෙකු සිටියානම් තත්වය මීට වඩා යම්තාක් දුරකට සුබවාදී වන්නට ඉඩ තිබුණි. පිටියේ පන්දු රැකීම අතින් ද, නායකත්වයේ තීන්දු තීරණ අතින් ද ශ්‍රී ලංකාව මෙම තරගාවලිය පුරාවට එතරම් සාර්ථකත්වයක් නොදැක්වීය.

කෙසේවෙතත් මේ වන විට ටෙස්ට් තරගාවලියේ සියලුම ගෞරවය සත්කාරක දකුණු අප්‍රිකානුවන් සතුවී ඇති නිසා ලබන 20 වැනිදා සෙන්චූරියන් හිදී ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස තරගාවලියේ දී නවමු ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් උත්සුක විය යුතුය. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට වඩා හාත්පසින්ම වෙනස් තරග රටාවක් වන විස්සයි විස්ස තරඟ වලදී නැවතත් ජයග්‍රාහී රිද්මය හඳුනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකි වුවහොත් එය ක්‍රමයෙන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්වන ප්‍රේක්ෂකයින් නැවතත් ක්‍රීඩාව කරා ආකර්ෂණය කර ගැනීමට ප්‍රබල හේතුවක් වනු ඇත.

දකුණු අප්‍රිකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 426 (පන්දුවාර 124.1): ජේ. පී. ඩුමිනි 155, හෂීම් අම්ලා 134, ක්වින්ටන් ඩි කොක් 34, ඩීන් එල්ගාර් 27, නුවන් ප්‍රදීප් 4/78, ලහිරු කුමාර 4/107.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 131 (පන්දුවාර 45.4): කුසල් මෙන්ඩිස් 41, උපුල් තරංග 24, ඇන්ජෙලෝ මැතිව්ස් 19, කෞෂාල් සිල්වා 13, වර්නන් ෆිලැන්ඩර් 3/28, කාගිසෝ රබාඩා 3/44, ඩුවාන් ඔලිවියර් 2/19.

ශ්‍රී ලංකා (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 177 (පන්දුවාර 42.3): දිමුත් කරුණාරත්න 50, සුරංග ලක්මාල් 31, උපුල් තරංග 26, කුසල් මෙන්ඩිස් 24, වේන් පානෙල් 4/51, ඩුවාන් ඔලිවියර් 3/38, කාගිසෝ රබාඩා 2/50.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට