ශ්‍රී ලංකා පොලිස් රග්බි කණ්ඩායම පසුගිය තරඟවාරයේ (2015/16) තමා කෙරෙහි පැන නැඟුණු සියළු සැක සංකා වැරදි බව ඔප්පු කිරීමට, එළඹෙන ඩයලොග් ලීග් රග්බි තරඟවාරයේදී (2016/17) සුදානමින් සිටියි.

පොලිස් ක්‍රීඩා සමාජයේ රග්බි පිටුවට පිවිසෙන්න

මෑත අතීතය.

පසුගිය තරඟ වාරයේ (2015/16) ජයග්‍රහණය කෙරෙහි බලාපොරොත්තු තැබිය හැකි ප්‍රධාන කණ්ඩායමක් ලෙස අවධානය දිනාගත් පොලිස් කණ්ඩායමට තරඟ වාරය අවසාන් වන විට ක්‍රීඩකයන්ගේ ආබාධ තත්වයන් හේතුවෙන් සහ අස්ථාවර ක්‍රීඩා විලාශය හේතුවෙන් තරඟාවලියේ පස්වන ස්ථානයෙන් නතරවන්නට සිදුවිය.

ජාතික මට්ටමේ ක්‍රීඩකයන් වු රීසා මුබාරක්, අචල පෙරේරා, ටෙරන්ස් හෙන්රි, හසිත පෙරේරා, ශැරෝ ප්‍රනාන්දු, චාමර දාබරේ සහ බිලාල් හසන් යන ක්‍රීඩකයින්ගේ ආගමනයත් සමඟින් නිවැරදි දිශාවට ගමන්කරන බව පෙන්නුම් කළත් මේ දැවැන්ත ක්‍රීඩකයන්ගේ අස්ථාවර ක්‍රීඩා විලාශය නිසා පොලිස් කණ්ඩායමට 2015/16 තරඟ වාරය නීරස  තරඟ වාරයක් විය. ඒ තරඟ වාරය තුළ පොලිස් කණ්ඩායම වෙනුවෙන් උඩුගංබලා පිහිනන්නාක් මෙන් තනිව දක්ෂතා දැක්වුයේ ‘සෙන්ටර්’ ක්‍රීඩක මුෂින් ෆලීල් පමණි. ඔහු පිටිය ආරක්ෂණයේදී තද තාප්පයක් මෙන්ද, පිටිය ආක්‍රමණයේදී විදින ලද හීයක් මෙන්ද ශූර ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළේය.

බලාපොරොත්තු වු ප්‍රතිපල නොලැබීමත් සමඟ දැවැන්ත තරු 2016/17 තරඟවාරයේදී පොලිස් කණ්ඩායම හැරයන්නට පවා තීරණය කළේය.

සංචිතය.
අත්දැකීම් බහුල ඉදිරි පෙල

‘හුකර්’ ස්ථානයේ අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන අචල පෙරේරා ස්ක්‍රම් කිරීම් මෙහෙය වන ප්‍රධානතම පුරුකයි. අඩි පහකුත් අඟල් හයක උසකින්ද, කි.ග්‍රෑ.106ක බරකින්ද යුක්ත ඔහුට එය එතරම් අපහසු කටයුත්තක් නොවේ.

උස අඩි 5’5කින්ද, බර කි.ග්‍රෑ.82 කින්ද යුත් රධීෂ සෙනවිරත්න, මෙවර පසුපෙල පන්දුව මෙහෙයවන තරඟකාරී ක්‍රීඩකයා වේ. පසුපෙල ඕනෑම ස්ථානයක ක්‍රීඩාකිරීමේ හැකියාවද සහිතව තරඟාවලියට පිවිසෙන රධීෂ මෙවර උසස් දස්කම් ප්‍රදර්ශනය කිරීමේ අධිෂ්ඨානයෙන් පසුවෙයි.

අබ්සාල් මොහොමඩ් ව අපට හමුවන්නේ පොලිස් කණ්ඩායමේ පසුපෙල තීරය වෙත අවධානය යොමුකරන විටයි. වේගවත් ක්‍රීඩකයෙකු වන ඔහුට ‘ස්ක්රම් හාෆ්’ ස්ථානයේ සිට ‘ෆුල් බැක්’ දක්වා ඕනෑම ස්ථානයක ක්‍රීඩා කළ හැකිය. ප්‍රධාන වශයෙන්ම ‘ස්ක්රම් හාෆ්’ ස්ථානයේ දස්කම් පා ඇති අබ්සාල් මෙවර තරඟාවලියට එක්වන්නේ දැඩි බලාපොරොත්තුවකිනි.

අවසාන වශයෙන් 2015/16 තරඟවාරයේදී  පොලිස් කණ්ඩායමේ ‘ආරක්ෂක තාප්පය’ වු මුෂින් ෆලීල් තම ජාත්‍යන්තර රග්බි සිහිනය සැබෑ කරගන්නට මෙවර තරඟාවලියේදී වඩා හොඳ දස්කම් පානු ඇත. ඇතුලතින් හෝ පිටතින් මැදපෙල ආක්‍රමණය කළ හැකි ෆලීල්, තම වේගවත් ක්‍රීඩා දක්ෂතාවන්වල ප්‍රයෝජන ගන්නට යුහුසුළු වනු ඇති.

යොවුන් ක්‍රීඩකයන්.

පසුපෙල තීරයේ  ‘වින්ගර්’ ස්ථානයෙන් තරඟ පිටියට පිවිසෙන දෙස් විදෙස් අත්දැකීම් ලද, එහෙත් තවමත් විසිවන වියෙහි පසුවන රීසා රෆයිඩීන් අන්තර් සමාජ මට්ටමේදී තම දක්ෂතා ප්‍රකට කරන්නට මඟ බලමින් සිටියි. පාසල් රග්බි පිටියෙන් අන්තර් සමාජ පිටියට පහසුවෙන් පා තැබු, ආබාධවලින් වැළකී සිටින්නෙකු ලෙස ප්‍රකට ඔහු පසුගිය වෙළඳසේවා සත්සාමාජික රග්බි පිටියේ බැබලෙන දස්කම් පෑවේය.

පාසල් රග්බි පිටියේ එතරම් කැපී නොපෙනුණු සන්දේශ් ජයවික්‍රම, තම සුපුරුදු පුහුණුකරු රජීව් පෙරේරා යටතේ නමක් දිනා ගන්නට බලාසිටියි. ‘අංක දහය’ ස්ථානයේදී තම වේගය ඔහුට ඒ සඳහා ඉවහල් වනු ඇත.

2017 දී තම පාසල් කණ්ඩායම ‘ඒ’ කාණ්ඩයට ඔසවා තැබු සහීරා විදුහලේ ක්‍රීඩක වජිඩ් ෆව්මි මේ වන විට ස්ථාවර ක්‍රීඩාශෛලියක පසුවෙයි. ෆ්ලෑන්කර් ක්‍රීඩකයෙකු ලෙස තම ආරක්ෂණයේ දක්ෂතාවන් ප්‍රකට කළහොත් මුල් පහළොස්දෙනා අතර ක්‍රීඩා කිරීමට ඔහුට වරම් ලැබෙනු ඇත.

Dialog Rugby League Hub
පිටියෙන් එපිට කාර්යමණ්ඩලය.

පොලිස් කණ්ඩායමේ සුක්කානම අතෙහි දරා සිටින පුහුණුකරු සුදත් සම්පත් පසුගිය වසරේ ඇතිවු පරාජයේ වේදනාවන් මඟහරවා ගනිමින් ජයගන්නට ඔවුනට මඟපෙන්වයි. ඉකුත් තරඟ වාරයේදී පොලිස් කණ්ඩායමට හිමිවූයේ ජයග්‍රහණයන් අටක් පමණි. මෙවර සුදත්ගේ පරිශ්‍රමයෙන් ඒ ගණන වැඩිවනු ඇත්දැයි ඔහු අපේක්ෂාවෙන් බලා සිටිනු ඇත.

සාන්ත පීතර කණ්ඩායමේ හිටපු පුහුණුකරු රජීව් පෙරේරා ද මෙවර පොලිස් කණ්ඩායමේ සහය පුහුණුකරුවෙකි. මේ වසරේ නාවික හමුදා කණ්ඩායමට එරෙහිව තරඟවාරය ආරම්භ කරන පොලිස් කණ්ඩායමට ඔහුගේ පෙර අත්දැකීම් බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.

චාමික රණසිංහ කළමනාකරු ලෙසත්, මනුක ගුණරත්න චිකිත්සකවරයා ලෙසත් කටයුතු කරයි.

2016/17 තරඟවාරයේ බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩකයන්

පසුගිය වසරේදී කණ්ඩායම් වර්ගීකරණයේ මැද ස්ථානයකින් නවතින්නට සිදුවු බැවින් පොලිස් කණ්ඩායමට දැවැන්ත ක්‍රීඩකයන් රැසක් අහිමි වු අතර මේ වසරේදී පළමු කණ්ඩායම් හතර තුළට පැමිණෙන්නට නම් දැවැන්ත කාර්යභාරයක් ඔවුන් මත පැටවී තිබේ.

සංචිතය

[a-team-showcase-vc ats_team_id=”2135124″]