කපුගෙදරට ආබාධයක්; ධනුෂ්ක ගුණතිලක කණ්ඩායමට!

1623

ශූරයින්ගේ කුසලානයේ තම මංගල අභියෝගය ලෙසින් දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ තරඟ වැදී පරාජයට පත්වුණු ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කබලෙන් ලිපට වැටුණු තත්ත්වයකට මුහුණ පා සිටියි. මුල්ම තරඟය සඳහා ආබාධයකට ලක්ව සිටි ඇන්ජෙලෝ මැතිව්ස් සහභාගි නොවීමත් සමඟ නායකත්වය පැවරුණු උපුල් තරංග එහිදී තරඟ දෙකක තහනමකට ලක්විය. මේ අතර කණ්ඩායමේ පීඩනය දෙගුණ තෙගුණ කරමින් අද (07) ශ්‍රී ලංකා දකුණත් මැදපෙළ පිතිකරු චාමර කපුගෙදර ද අනපේක්ෂිත ලෙස දණහිසේ ආබාධයකට ලක් විය.

>>ඉන්දු – ශ්‍රී ලංකා තරගයට මොකක් වෙයි ද?

කපුගෙදර අද පැවැත්වුණු පන්දු රැකීමේ පුහුණු සැසියක දී බිම ඇද වැටුණු අතර කණ්ඩායමේ භෞතික චිකිත්සක අජන්ත වත්තේගම පිටිය තුළදීම ඔහුට අවශ්‍ය ප්‍රථමාධාර ආදිය ලබා දුන්නේය. ඉන් අනතුරුව ඔහු එම්.ආර්.අයි පරීක්ෂාවකට ලක් කෙරුණු අතර එහිදී ලැබෙන ප්‍රතිඵලය අසතුටුදායක වුවහොත් කපුගෙදර වෙනුවට වමත් ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක කණ්ඩායමට ඇතුළත් වනු ඇත.

“අපි අද සවස් කාලයේදී අවසන් තීරණයක් ගන්නවා. මේ වනවිට ICCයේ වෛද්‍යවරුන් ඔහුව පරීක්ෂාවට ලක් කරමිනුයි සිටින්නේ, එහිදී ඔහු ඉදිරි තරඟ සඳහා ක්‍රීඩා කිරීමට යෝග්‍ය තත්වයේ නොසිටියහොත් අපි ICCයෙන් ධනුෂ්ක ගුණතිලක කණ්ඩායමට ඇතුළත් කිරීමට ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි සංචිතයත් සමඟ තවත් අමතර ක්‍රීඩකයන් දෙදෙනෙකු සංචාරය සඳහා සහභාගි කරවා ගත්තේත් මෙම ප්‍රධාන හේතුව නිසාමයි.” ශ්‍රී ලංකා කළමනාකරු අසංක ගුරුසිංහ ThePapare.com වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.

යම් ක්‍රීඩකයෙකු නිල වශයෙන් සංචිතයකට අන්තර්ගත කිරීමට ප්‍රථමයෙන් එම පත්වීම පිලිබඳව තරඟාවලි තාක්ෂණික කමිටුවෙන් අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වේ. මෙවර ICC ශූරයින්ගේ කුසලානයේ තාක්ෂණික කමිටුවට ජෙෆ් ඇලර්ඩිස් (ICC, සභාපති), කැම්බල් ජේමිසන් (ICC නියෝජිත), ස්ටීව් එල්වර්ති (තරගාවලි අධ්‍යක්ෂක), ඇලන් ෆෝඩ්හැම් (කණ්ඩායම් නියෝජිත), සෞරව් ගංගුලි සහ මයිකල් ස්ලේටර් (ස්වාධීන නාමිකයින් දෙදෙනෙක්) ඇතුළත් වේ.

යම් හෙයකින් ICC තාක්ෂණික කමිටුව විසින් මෙම ඉල්ලීමට අනුමැතිය ලබා දුන්නොත් ධනුෂ්ක ගුණතිලක සෘජුවම ආරම්භක පිතිකරු ස්ථානයට ඇතුළත් වන අතර කුසල් ජනිත් පෙරේරා මැදපෙළ පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කරනු ඇත. ගුණතිලක මේ වනවිට එක්දින ජාත්‍යන්තර තරඟ 19කට තම දායකත්වය ලබා දී ඇති අතර අවසන් වරට බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැත්වුණු තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියට ක්‍රීඩා කළේය. එහිදී ඔහු අනුපිළිවෙළින් ලකුණු 0, 9 සහ 34 බැගින් රැස් කර ගැනීමට සමත්ව ඇත. ගුණතිලක පිටියේ ඕනෑම ස්ථානයක පන්දු රැකිය හැකි ප්‍රතිභාපූර්ණ ක්‍රීඩකයෙකු වන අතර දඟ පන්දු යවන්නෙකු ලෙසද ඔහුගෙන් මනා සේවයක් ලබාගැනීමට කණ්ඩායමට හැකි වනු නොඅනුමානය.

හෙට තරඟය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති ඕවල් තණතීරුව මත මේ වනවිටත් තණකොළ යම් ප්‍රමාණයක් පවතින නිසා ශ්‍රී ලංකාව අමතර වේග පන්දු යවන්නෙකු කණ්ඩායමට ඇතුළත් කිරීමට ද පෙළඹී ඇත. එසේ වුවහොත් පා දඟ පන්දු යවන සීක්කුගේ ප්‍රසන්නට තම ස්ථානය අහිමි වන අතර මේ පිලිබඳ අවසන් තීරණය හෙට උදෑසන තරඟයට පෙරාතුව ගැනීමට නියමිතය. මෙම සිව්වැනි වේග පන්දු යවන්නා තිසර පෙරේරා බවට පත්වීමට වැඩි ඉඩකඩක් ඇත්තේ පසුපෙළ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙසද කණ්ඩායමට ඔහුගේ ආගමනය අමතර වාසියක් හිමිකර දෙන බැවිනි.

“තණතිල්ල මත යම් පමණක තණකොළ ප්‍රමාණයක් දකින්නට ලැබෙනවා, නමුත් මට මේ වනවිටත්, තණතිල්ල හරියටම කොයි ආකාරයෙන් හැසිරේවිදැයි අනුමාන කළ නොහැකියි. ක්‍රීඩාංගණයට හිරු රෂ්මිය පතිත වුවහොත් තත්වය මීටත් වඩා වෙනස් මුහුණුවරක් ගැනීමටත් ඉඩ තිබෙනවා, මේ දක්වා තණකොළ යම් තරමක් පැවතියත් තරගය ආරම්භ වීමට තවත් කාලය ඉතිරිව ඇති නිසා තණකොළ කප්පාදුවක් සිදුවේවිදැයි හරියටම කියන්න අපහසුයි.” ශ්‍රී ලංකා නායක ඇන්ජෙලෝ මැතිව්ස් තරඟයට පෙර පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූයේය.

එසේම උපුල් තරංගට එක්දින තරඟ දෙකක් අහිමි කළ අඩු පන්දුවාර වේගය පිලිබඳ අදහස් දක්වමින් මැතිව්ස් ප්‍රකාශ කර සිටියේ එවන් ගැටලු නැවතත් ඇති වීමට ඉඩ නොතබන බවයි, “එය ඇත්තටම කණගාටුදායක සිදුවීමක්, සමස්ථ කණ්ඩායමක් ලෙස, නායකයාට කිහිප වතාවක්ම අවවාද ලබා දී සිටියදීත් මෙවන් දේ සිදුවීමට නිදහසට කරුණක් ඇත්තේ නැහැ. ඊට නායකයා ද ඇතුළුව සම්පූර්ණ කණ්ඩායම වගකීම භාර ගත යුතුයි.”

ඔබ දකින්නට ඇති මෙම තරඟාවලියේ බොහෝ කණ්ඩායම් වේග පන්දු යවන්නන් සිව් දෙනෙකු සමඟ ක්‍රීඩා කරනවා, නමුත් මෙවන් ගැටලුවක් ඇතිවුනේ නැහැ. ඒ වගේම අපි වේග පන්දු යවන්නන් තිදෙනෙකු සමඟ පමණක් ක්‍රීඩා කළත් අපිට ගැටලුවකට මුහුණ දීමට සිදුවුනා. ඒ නිසා මෙම තත්ත්වය අවබෝධ කරගෙන ඉදිරියේදී මෙවන් දේ සිදුවීමට ඉඩ නොතැබිය යුතුයි.” මැතිව්ස් වැඩිදුරටත් පවසා සිටියේය.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට