ධනංජයට නායකත්වය; සුපිරි කණ්ඩායමක් කොදෙව් රටට

3373

ශ්‍රී ලංකා A හා බටහිර ඉන්දීය කොදෙව් A කණ්ඩායම් අතර ඔක්තෝබර් මස 11 වැනිදායින් ආරම්භ වීමට නියමිත තරග සංචාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයින් 16 දෙනෙකුගේ සංචිතයක් තේරීම් කමිටුව මඟින් තෝරාපත් කරගෙන ඇතැයි ThePapare.com වෙත වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනගන්න සංගා පෙරට

ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් ඉදිරි වසර දෙක තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැංවීමට සකස් කර ඇති සැලසුමට අනුව, පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පිහිටුවා…

මැදපෙළ පිතිකරු ධනංජය ද සිල්වා මෙම සංචිතයේ නායකයා ලෙස තෝරා ඇති අතර, පසුගිය වර්ෂයේ 19න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රීඩා කළ චරිත් අසලංක හට මෙම සංචිතයේ උපනායකත්වය හිමිව ඇත. ඔවුන් දෙදෙනාම ආදී රිච්මන්ඩ් ක්‍රීඩකයින් ය.

ශ්‍රී ලංකා A කණ්ඩායම මෙම තරගාවලිය තුළ නිල නොවන සිව්දින ටෙස්ට් තරග 3කට හා නිල නොවන එක්දින තරග 3කට සහභාගි විට නියමිතයි.

මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන පාකිස්තානු ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගි වී සිටින රොශේන් සිල්වා හා සධීර සමරවික්‍රම ද මෙම සංචිතයට ඇතුළත්ව ඇත.  

මුල්පෙළ පිතිකරු රොන් චන්ද්‍රගුප්ත හා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න මෙන්ම වමතින් වේගපන්දු යවන ක්‍රීඩක විමුක්ති පෙරේරා යන ක්‍රීඩකයින් ද කොදෙව් දේශයට එදිරිව පැවැත්වෙන මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා A කණ්ඩායම නියෝජනය කරනු පිණිස සංචිතයට කැඳවා ඇත. මීට අමතරව පන්දු යවන්නන්ගේ බලඇණිය තවදුරටත් සවිමත් කිරීමට මාලින්ද පුෂ්පකුමාර හා ලහිරු කුමාර ද සංචිතයට කැඳවා ඇත.

මෙම සංචිතයට විශේෂඥ පිතිකරුවන් 7 දෙනෙක්, දඟපන්දු යවන්නන් තිදෙනෙක්, වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙක් හා වේගපන්දු යවන ක්‍රීඩකයින් සිව්දෙනෙක් ඇතුළත්ව සිටියි.

නමුත් මෙම සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් තවමත් මාධ්‍යයට නිකුත් කර නොමැත.

ශ්‍රී ලංකා A කණ්ඩායමේ පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධන ද, කණ්ඩායම් කළමනාකරු ලෙස චරිත් සේනානායක ද කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකා A සංචිතය – ධනංජය ද සිල්වා (නායක), චරිත් අසලංක (උපනායක), සධීර සමරවික්‍රම, රොශේන් සිල්වා, සඳුන් වීරක්කොඩි, රොන් චන්ද්‍රගුප්ත, ශෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිඳු හසරංග, අමිල අපෝන්සු, මලින්ද පුෂ්පකුමාර, චාමික කරුණාරත්න, ලහිරු කුමාර, විමුක්ති පෙරේරා, අසිත ප්‍රනාන්දු, කසුන් රාජිත.

අතිරේක ක්‍රීඩකයින් – බිනුර ප්‍රනාන්දු, නිශාන් පීරිස්, ප්‍රභාත් ජයසූරිය, ශෙහාන් මදුසංක, නිපුන් කරුණානායක.

සම්පූර්ණ තරග කාලසටහන

  • පළමු නිල නොවන ටෙස්ට් තරගය – ඔක්තෝබර් 11 සිට 14 දක්වා – ට්‍රෙලවිනි ක්‍රීඩා පිටිය
  • දෙවන නිල නොවන ටෙස්ට් තරගය – ඔක්තෝබර් 19 සිට 22 දක්වා – ට්‍රෙලවිනි ක්‍රීඩා පිටිය
  • තෙවන නිල නොවන ටෙස්ට් තරගය – ඔක්තෝබර් 26 සිට 29 දක්වා – සබීනා පාර්ක් ක්‍රීඩා පිටිය
  • පළමු නිල නොවන එක්දින තරගය – නොවැම්බර් 1 – සබීනා පාර්ක් ක්‍රීඩා පිටිය
  • දෙවන නිල නොවන එක්දින තරගය – නොවැම්බර් 3 – සබීනා පාර්ක් ක්‍රීඩා පිටිය
  • තෙවන නිල නොවන එක්දින තරගය – නොවැම්බර් 5 – ට්‍රෙලවිනි ක්‍රීඩා පිටිය

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<