නව ක්‍රමය මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර දොරටු වසා දමයි ද?

242

අන්තර්ජාතික මලල ක්‍රීඩා තරගවල පාලක සංවිධානය වන මලල ක්‍රීඩා සම්මේලන වල ජාත්‍යන්තර සංගමය (IAAF) විසින් ඔලිම්පික් තරගාවලිය සහ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය ද ඇතුළත්ව සියලුම ජාත්‍යන්තර මට්ටමේ මලල ක්‍රීඩා ඉසව්වලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ ක්‍රියාවලියේ ප්‍රධාන වෙනස්කම් සිදුකරන බවට නිල වශයෙන් දන්වා ඇත.

ඔවුන් විසින් මෙම හඳුන්වා දෙනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ සම්මතයන් වල සහ ක්‍රමවේදයේ වෙනස්කම් කටාර් රාජ්‍යයේ දෝහා නගරයේ පැවැත්වීමට නියමිත 17 වන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය සහ 2020 වසරේ ජපානයේ දී පැවැත්වීමට නියමිත ගිම්හාන ඔලිම්පික් තරගාවලිය ද ඇතුළත්ව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සියලුම ජාත්‍යන්තර තලයේ තරගාවලි සඳහා අදාළ වනු ඇත.

කතාන්දර කොතෙක් තිබුණත් දක්ෂතා එසේ නොවේ

ආජන්ටිනාවේ දී පැවති තෙවැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 2000 බාධක දිවීමේ…

ඒ අනුව හඳුන්වා දෙනු ලබන මෙම නව සංකීර්ණ සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රියා පටිපාටිය ‘IAAF’ ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුකූලව සිදුවන අතර එහි පදනම ලෙස ඒකල ඉසව් සඳහා ලකුණු ලබා දීමේ ක්‍රමවේදයක් යොදාගනු ලැබේ.

ඒ අනුව මේ හරහා මීට පෙර පැවති සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රමවේදය සම්පූර්ණ වෙනසකට භාජනය වේ. පෙර පැවති පිළිගත් ක්‍රමවේදයට අනුව ‘IAAF’ විසින් එක් එක් ඉසව් සඳහා නිර්දේශ කරනු ලබන සම්මත දක්ෂතාවයන් කරා එක් වරක් හෝ ළඟා වීමට කිසියම් මලල ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක සමත් වුවහොත් ඔහුට හෝ ඇයට එම අදාළ ඉසව්ව සඳහා අවශ්‍ය සුදුසුකම සපුරා ගැනීමට අවස්ථාව හිමි විය.

නමුත් හඳුන්වා දෙනු ලබන නව ක්‍රමවේදයට අනුව සුදුසුකම් ලබා ගැනීමේ කාල රාමුව පුරාවට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්‍ෂතා පරීක්‍ෂාවට ලක්කෙරෙන අතර අවසානයේ එක් එක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වාර්තා එහි දී කර ගැනීමට සමත් වන හොඳම දක්ෂතාවන් පහේ සාමාන්‍ය ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාවලිය සඳහා යොදා ගනු ලබයි.

ඒ අනුව මෙම නව ක්‍රමවේදය හරහා ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලිවල දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්වන දක්‍ෂතාවලට සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රියා පටිපාටියේ දී ප්‍රමුඛ ස්ථානය හිමි වනු ඇත. කෙසේ නමුත් මෙහි දී ජාතික තලයේ තරගාවලිවල දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්වන දක්‍ෂතාවයන් හරහා ඔවුන් ලබා ගන්නා ලකුණු ශ්‍රේණිගත කිරීම් සඳහා ඉවහල් කර ගනු ලැබුවත් එය සීමා සහිත වන අතර ඒ අනුව ඔවුන් ජාත්‍යන්තර තරගාවලිවල දී දක්වන දක්ෂතාවන් වලට වැඩි වැදගත්කමක් හිමි වේ.

එමෙන්ම මේ යටතේ සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රියාවලිය අවසන් වන දින සිට මාස 9ක කාලයකට වඩා පැරණි ක්‍රීඩක ක්‍රීඩිකාව දක්වා ඇති දක්‍ෂතාවයන් සඳහා ලකුණු අඩු කිරීමේ ක්‍රමවේදයක් ද ක්‍රියාත්මක වන නිසා ඔවුන් සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රියාවලිය පුරාවට ඉහළ දක්‍ෂතා අතර සිටීම අත්‍යාවශ්‍ය අනු ඇත. තවදුරටත් මේ යටතේ යම්කිසි ක්‍රීඩා ඉසව්වක් සඳහා එකඳු ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් වූ රටවල් සඳහා ලබා දෙන ‘wild card’ අවස්ථාවන් පිරිනැමීම ද සිදු නොවේ.

කෙසේ නමුත් මෙම නව සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රියා පටිපාටිය හරහා ශ්‍රී ලාංකික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තරගාවලි සඳහා සුදුසුකම් ලබා ගැනීමේ දී ඔවුන්ට විශාල බලපෑමක් එල්ල වනු ඇත.

ඒ අනුව 2016 වසරේ දී පැවති පසුගිය රියෝ ඔලිම්පික් තරගාවලිය පිළිබඳව සලකා බැලූ විට එහි ජවන හා පිටිය ඉසව් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 3කි. ඒ මැරතන් ධාවන ක්‍රීඩක අනුරාධ කුරේ සහ මැරතන් ධාවන ක්‍රීඩිකා ගීතානි රාජපක්ෂ සහ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක සුමේධ රණසිංහ යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ය. එම ඔලිම්පික් තරගාවලියේ පිරිමි මැරතන් ධාවන ඉසව්ව සඳහා සුදුසුකම් ලබා ගැනීමට නිර්දේශ කර තිබූ කාලය පැය 2:19.00ක් වන අතර කාන්තා මැරතන් ධාවන ඉසව්ව සඳහා එය පැය 2:45.00ක් විය. එහි පිරිමි මැරතන් ධාවන ඉසව්ව සඳහා සහභාගී වූ අනුරාධ ඉන්ද්‍රජිත් ලන්ඩන් මැරතන් ධාවන තරගාවලියට සහභාගී වෙමින් එහි දී පැය 2:13.47ක කාලයක් වාර්තා කරගනිමින් එම ඉසව්ව සඳහා එස්. එල්. බී. රෝසා විසින් පිහිටුවා තිබූ වසර 40ක් පැරණි ශ්‍රී ලංකා ජාතික වාර්තාව ද බිඳ දමමින් ඔලිම්පික් තරගාවලිය සඳහා සිය සුදුසුකම තහවුරු කරගන්නට සමත් විය.

දිගුදුරෙන් ජාත්‍යන්තරය උඩු යටිකුරු කළ රුවන්පුරේ “නිලානි”

යුරෝපයේ නම් මලල ක්‍රීඩකයෙකු යැයි කතාබහ කළ සැණින් සිහිවන්නේ ඉස්තරම්…

අනෙක් පසින් ගීතානි රාජපක්ෂ 2015 වසරේ හොංකොං මැරතන් ධාවන තරගාවලියේ දී පැය 2:40.07ක කාලයක් වාර්තා කර ගනිමින් ඒ වන විට එම ඉසව්ව සඳහා පැවති ජාතික වාර්තාව ද තමන් සතුකර ගනිමින් ඔලිම්පික් තරගාවලිය සඳහා අවශ්‍ය සුදුසුකම තහවුරු කර ගත්තේ ඔලිම්පික් තරගාවලියක දී කාන්තා මැරතන් ධාවන ඉසව්වක් සඳහා සහභාගී වූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙස ඉතිහාසයට එක්වෙමිනි.

එමෙන්ම ඔලිම්පික් තරගාවලියක පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්ව සඳහා සහභාගී වූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක්වූ සුමේධ රණසිංහ දියගම දී පැවති ජාතික තලයේ සුදුසුකම් ලබා ගැනීමේ තරගයක දී මීටර 83.04ක දක්ෂතාවයක් වාර්තා කරගනිමින් සිය සුදුසුකම සපුරා ගත්තේ ඔලිම්පික් තරගාවලියේ එම ඉසව්වට සුදුසුකම් ලබාගැනීම සඳහා නිර්දේශ කර තිබූ මීටර 83.00ක පසුකර යමිනි.

ඒ අනුව 2016 රියෝ ඔලිම්පික් තරගාවලියේ මලල ක්‍රීඩා ඉසව්වල දී ශ්‍රී ලංකාව නියෝජනය කළ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනාම ඒ සඳහා සුදුසුකම් ලබා ගනු ලැබුවේ ඒ සඳහා සුදුසුකම් ලබා ගැනීමට ලබා දී තිබූ කාල සීමාව වූ 2016 ජනවාරි මස 01 වන දින සිට 2016 ජූලි මස 11 වන දින දක්වා කාල සීමාවේ දී එම අදාළ ඉසව් සඳහා නිර්දේශ කර තිබූ දක්ෂතාවය සාර්ථකව වාර්තා කර ගැනීම හරහා ය.

එහි දී මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ජවන හා පිටිය ඉසව් වලට සුදුසුකම් ලබා ගැනීමට නම් ‘IAAF’ අනුමැතිය ලත් ඕනෑම එළිමහන් තරගයක දී අදාළ ඉසව්ව සඳහා නිර්දේශ කර තිබූ දක්ෂතාවය දැක්වීමට අවස්ථාව ලබා දී තිබූ අතර මැරතන් තරග ඉසව් සඳහා සුදුසුකම් ලබා ගැනීමට නම් ‘IAAF Gold Label’ තත්වයේ ඕනෑම මැරතන් ධාවන තරගයක දී ඒ සඳහා නිර්දේශ කර තිබූ දක්ෂතාවය වාර්තා කර ගැනීමට අවස්ථාව ලබා දී තිබුණි. නමුත් හඳුන්වා දෙනු ලබන නව සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රියා පටිපාටිය ඒ වන විට ක්‍රියාත්මක වූවා නම් ඔවුන් අතරින් කිසිවෙකු හට එම ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමිවන්නේ නැත. ඒ මන්ද යත් ඔවුන් එම අදාළ ඉසව් සඳහා සුදුසුකම් ලබා ගැනීමට නිර්දේශ කර තිබූ දක්‍ෂතාවයන් එකක් පමණක් වාර්තා කර ගැනීමට සමත්ව තිබීමයි.

තුන් පිම්මට උපන් හපන් “ලොක්කී” සහ “පොඩ්ඩි”

එක මව් කුසින් මෙලොව එළිය දුටු, බොහෝ අවස්ථාවල දී හැඩරුවින් එක සමාන…

ඒ අනුව මෙම නව සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රියා පටිපාටිය යටතේ ශ්‍රී ලාංකික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලි සඳහා සුදුසුකම් ලබා ගැනීම ඉතා විශාල අභියෝගයක් වනු ඇති බව නොඅනුමාන ය.

ජාත්‍යන්තර තරගාවලි සඳහා සිය සුදුසුකම් ලබා ගැනීම තහවුරු කර ගැනීමට නම් ලබා දෙන සුදුසුකම් ලබා ගැනීමේ කාල සීමාව පුරාවට ඔවුන් අඛණ්ඩව ඉහළ මට්ටමේ දක්‍ෂතා ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය වනු ඇත.

එමෙන්ම මෙම නව ක්‍රමවේදය යටතේ ජාතික තලයේ තරගාවලිවල දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්වන දක්‍ෂතාවයන් සඳහා ලබා දෙන ලකුණු ප්‍රමාණය ඉතා සීමිත බැවින් ශ්‍රී ලාංකික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමුඛ පෙළේ ලෝක මට්ටමේ තරගාවලි සඳහා සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාවන් ඉහළ නැංවීමට නම් ඔවුන්ව වෙනත් රටවල පැවැත්වෙන ‘IAAF’ පිළිගත් ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලි සඳහා සහභාගී කරවීම හෝ ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර තලයේ මලල ක්‍රීඩා තරගාවලි පවත්වා ඔවුන්ට ඒවාට සහභාගී වීමට අවස්ථාව සලසා දීම අත්‍යාවශ්‍ය වනු ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<