චාමිකටත් ඕස්ට්‍රේලියානු සංචාරය අහිමි වීමේ අවදානමක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරය 2022

2147

ඕස්ට්‍රේලියාව සමඟින් පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලියට නම් කළ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න හට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙනවා.

තරගාවලියට සහභාගි වීම සඳහා 20 දෙනෙකුගෙන් යුත් සංචිතයක් පසුගිය දා නම් කළ අතර ඔවුන් ඕස්ට්‍රේලියාව බලා පිටත් වීමට දිනයකටත් වඩා අඩු කාලයක් තිබිය දී චාමික කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගෙන තිබෙනවා.

චාමික මේ වන විට නිරෝධායනය සඳහා යොමු කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන අතර මෙම තහවුරු වීමත් සමඟ ඕස්ට්‍රේලියාව බලා යෑමට සූදානම්ව සිටි ශ්‍රී ලංකා සංචිතය තුළින් හඳුනා ගත් ආසාදිතයන් ගණන හතරක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

චාමිකට පෙර වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර, වැඩ බලන පුහුණුකරු රුමේෂ් රත්නායක සහ ඩිල්ෂාන් ෆොන්සේකා යන අයවලුන් කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී තිබුණා.

මීට අමතරව මේ දිනවල පැවැත්වෙන 2022 National Super League එක්දින ක්‍රිකට් තරගාවලියේ නුවර කණ්ඩායමේ නායක කමිඳු මෙන්ඩිස් හට ද කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඊයේ (01) සිදු කළ පරික්ෂාවක දී ඔහුට වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබූ අතර ඉන්පසු ඉතා ඉක්මනින් ඔහුව නිරෝධායනය සඳහා යොමුකර තිබුණා.

විස්සයි විස්ස තරග පහකින් යුත් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ආරම්භ වීමට නියමිත තරගාවලිය පෙබරවාරි 11 වැනිදා සිට 20 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<