මයිලෝ සභාපති කුසලාන පාසල් රග්බි තරගාවලියේ අවසන් මහා තරගය අද (23) කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය හා කොළඹ කේරි විද්‍යාලය අතර, කොළඹ සුගතදාස පිටියේ දී පැවැත්වූ අතර, එම තරගයෙන් ලකුණු 15-13ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කරමින් සභාපති කුසලානය කුරුණෑගලට රැගෙන යන්නට සාන්ත ආනාවෝ සමත් වූහ.

සුපිරි ජයක් සමඟින් මලියදේවය අවසන් සටනට

මයිලෝ අගමැති කුසලාන රග්බි තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද (18) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී…

තල්දූව බෞද්ධ විද්‍යාලය පරාජයට පත්කරමින් කේරි විද්‍යාලය අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත් අතර, මොරටුව මොරටු විද්‍යාලය අවසන් පූර්ව තරගයේ දී පරාජයට පත්කරමින් සාන්ත ආනා විද්‍යාලය අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදි.

සවස 2.10ට පමණ සුගතදාස පිටියට පැමිණි සිටි ප්‍රේක්ෂකයන්ගේ උණුසුම් ඔල්වරසන් හඬ මධ්‍යයේ කේරි විදුහලේ එස්. ගර්ශාන් තරගය ආරම්භ කළේය. එතැන් සිට තරගයේ මුල් මිනිත්තු කිහිපය තුල තරගයේ වැඩි ආධිපත්‍යය පතුරුවා ‍ගැනීමට කේරි විදුහල් ක්‍රීඩකයින් සමත් වූ අතර, තරගයේ 20 වැනි මිනිත්තුවේ දී කේරි විද්‍යාලය වෙනුවෙන් පළමු උත්සාහක දිනුම සාර්ථක කර ගැනීමට ගර්ශාන් සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ඔවුන් අපොහොසත් විය. (සාන්ත ආනා 00 – 05 කේරි)

29 වැනි මිනිත්තුවේ දී සාන්ත ආනා විද්‍යාලය වෙනුවෙන් ආර්. එල්. නවරත්න උත්සාහක දිනුමක් ලබා ගැනීම සඳහා ධවල රේඛාව අසලට පැමිණිය ද, කේරි විද්‍යාලයේ පසුපෙල විසින් එම ප්‍රයත්නය සාර්ථකව ව්‍යර්ථ කරන ලදි.

එයින් නොනැවතුනු සාන්ත ආනා ක්‍රීඩකයින් වෙනුවෙන් පී. ඩී. සෙනෙවිරත්න වේගයෙන් දිවගොස් ප්‍රතිවාදීන් හා උරෙන්උර ගැටෙමින් තම විද්‍යාලයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. තරගයේ 32 වැනි මිනිත්තුවේ දී වාර්තා වූ එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය අසාර්ථක විය. (ආනා 05 – 05 කේරි)

තරගයේ 38 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ ඩී. වාසලමුදලි, කේරි විද්‍යාලයට පළමු අර්ධයේ වැඩි වාසිය හිමි කර දෙමින් සිය පළමු උත්සාහක දිනුම සාර්ථක කර ගත්තේ, කේරි විද්‍යාලයේ දෙවන උත්සාහක දිනුම ලෙසයි. එහි ප්‍රවර්තනයත් අසාර්ථකයි. (සාන්ත ආනා 05 – 10 කේරි)

පළමු අර්ධය: සාන්ත ආනා විදුහල 05 – 10 කේරි විදුහල

තරගයේ දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු කිහිපයක් ගත වෙද්දි කේරි විද්‍යාලයේ ඒ. චමුද් හට විනිසුරුතුමා විසින් කහ කාඩ්පතක් ලබා දෙන ලදි. 44 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ ජී. ඒ. සිංහබාහු කේරි විද්‍යාලයේ හිදැස් අතරින් රිංගා ගොස් ධවල රේඛාවෙන් ඔබ්බට පන්දුව රැගෙන යමින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. එම උත්සාහක දිනුම ද සමඟින් සාන්ත ආනා විද්‍යාලය නැවත වරක් තරගයට අවතීර්ණ වූයේ ලකුණු මට්ටම සම කරමිනි. නමුත් එහි ප්‍රවර්තනය ද සිංහබාහුට මඟ හැරුනි. (සාන්ත ආනා 10 – 10 කේරි)

61 වන මිනිත්තුවේ දී කේරි විද්‍යාලයට දඬුවම් පහර අවස්ථාවක් හිමි වුවත්, එය සාර්ථක කර ගැනීමට කේරි විද්‍යාලයේ අංක 15 ක්‍රීඩක එස්. ගර්ශාන් අපොහොසත් වූයේ තරගය තව තවත් උණුසුම් කරමිනි. නමුත් තරගයේ 64 වැනි මිනිත්තුවේ දී නැවත වරක් ගර්ශාන් හට දඬුවම් පහරක් හිමි වූ අතර, ඔහු එය දක්ෂ ලෙස ගෝල ලකුණු අතරින් යොමු කළේ කේරි විද්‍යාලය පෙරමුණට ගෙන එමිනි. (සාන්ත ආනා 10 – 13 කේරි)

අවසන් මිනිත්තු 10 තුල කේරි විද්‍යාලය හා සාන්ත ආනා විද්‍යාලය කරට කර සටනක නිරත වෙමින් තියුණු තරගයක ආශ්වාදය ප්‍රේක්ෂකයන් හට ලබා දුන් අතර, තරගයේ තියුණු බව තව තවත් විදහාලමින් ශාන් මේනුක සාන්ත ආනා විද්‍යාලයේ ජයග්‍රාහී උත්සාහක දිනුම වාර්තා කළේ කේරි විද්‍යාලයේ සියලුම ප්‍රතිරෝධයන් සුනුවිසුනු කරමින් ඉදිරියට ඇදි යමිනි. එහි ප්‍රවර්තන අවස්ථාව අසාර්ථක වුවත් ජයග්‍රහණය සාන්ත ආනා විද්‍යාලය සතු විය. (සාන්ත ආනා 15 – 13 කේරි)

තරගයට පසුව සාන්ත ආනා ක්‍රීඩකයින් කේරි විද්‍යාලයේ ක්‍රීඩකයින්ට අතට අත දීමට යාමේ දී කේරි විද්‍යාලයේ ක්‍රීඩකයින් එය ප්‍රතික්ෂේප කළ නිසාවෙන් තරගය අවසානයේ යම් උණුසුම්කාරී වට පිටාවක් ගොඩනැගුනත්, එය ඉක්මනින්ම සමථයකට පත් කිරීමට තරග සංවිධායකයින්ට හැකි විය.

අවසන් ලකුණු තත්වය: සාන්ත ආනා විදුහල 15 – 13 කේරි විදුහල

ThePapare.com තරගයේ වීරයා – ශාන් මේනුක (සාන්ත ආනා විද්‍යාලය)

ලකුණු ලබා ගැනීම,

සාන්ත ආනා – (15) උත්සාහක දිනුම් 3

  • උත්සාහක දිනුම් – පී. ඩී. සෙනෙවිරත්න 1, ජී. ඒ. සිංහබාහු 1, ශාන් මේනුක 1,

කේරි විද්‍යාලය – (13) උත්සාහක දිනුම් 2, දඬුවම් පහර 1

  • උත්සාහක දිනුම් – එස්. ගර්ශාන් 1, ඩී. වාසලමුදලි 1
  • දඩුවම් පහර – එස්. ගර්ශාන් 1

කහ කාඩ්පත් – ඒ. චමුද් (කේරි විද්‍යාලය)

>>තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න  රග්බි ක්‍රීඩා පිටුවට<<