ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට යන ඉන්දීය සංචිතය

167
BCCI named indian squad

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සහ එංගලන්ත ඉන්දීය දීර්ඝ තරගාවලියට සහභාගී වන ඉන්දීය සංචිතය පසුගිය දා නම් කෙරුණා. එයට ක්‍රීඩකයන් 20 දෙනෙකු ඇතුළත්.

ඉන්දියාව සහ නවසීලන්තය ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා. ඒ අනුව ඉන්දීය කණ්ඩායම ටෙස්ට් අවසන් තරගය සහ එංගලන්ත තරගාවලිය සඳහා ජුනි මාසයේ දී එංගලන්තය බලා යාමට නියමිතයි. එහි දී ඉන්දීය කණ්ඩායම මාස 4ක කාලයක් එංගලන්තය තුල රැඳී සිටිනවා. එංගලන්තය සමඟින් ටෙස්ට් තරග 5ක් සඳහා ද ඔවුන් සහභාගී වීමට නියමිතයි.

පසුගිය දා නම් කළ ඉන්දීය සංචිතය සඳහා වෙනස්කම් කීපයක් සිදු කර තිබෙනවා. තුන් ඉරියව් ක්‍රීඩක Ravindra Jadeja ද එම සංචිතය සඳහා ඇතුළත් කර තිබීම විශේෂත්වයක්. ඔහු සහ Hanuma Vihari හට මෙම වසරේ ඉන්දියාවේ පැවති එංගලන්ත ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීමට හැකි වුනේ නැහැ. ඒ ආබාධයකට ලක්වීම හේතුවෙන්.

මීට අමතරව ඉන්දීය ක්‍රිකට් ආයතනය අතිරේක ක්‍රීඩකයන් සිව්දෙනෙකු ද නම් කර තිබුණා. එයට Abhimanyu Easwaran, Prasidh Krishna, Avesh Khan සහ Arzan Nagwaswalla ඇතුළත් වුනා.

“ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ජ්‍යේෂ්ඨ තේරීම් කමිටුව ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය සඳහා සහභාගී වන ඉන්දීය සංචිතය තෝරාගත්තා. ඉන්දීය කණ්ඩායම එංගලන්ත ළඟා වුනාම ඔවුන් මුලින්ම යන්නේ සවුත්හැම්ප්ටන් වෙත. එහි දී ඔවුන් නවසීලන්තය සමඟින් අවසන් තරගයට ක්‍රීඩා කරනවා” ඉන්දීය ක්‍රිකට් ආයතනය නිල නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියා.

ඉන්දියාව සහ එංගලන්තය අතර පැවති ටෙස්ට් තරගාවලිය 4-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුනා. ඒ සමඟින් ඔවුන් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේ ලකුණු ප්‍රතිශතය 72.2ක් ලෙස සටහන් කරමින්. 

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තරගාවලිය අතරතුර Jadeja ආබාධයකට ලක්වුනා. මේ නිසා ඔහුට ඉන්දීය එංගලන්ත ටෙස්ට් තරගාවලියෙන් සහ එක්දින තරගාවලියට සහභාගී වීමට හැකි වුනේ නැහැ. 

මාස කීපයක විරාමයකින් අනතුරුව Ravindra Jadeja පසුගිය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වුනා. එහි දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට ඔහු සමත් වුනා. පැවති තරගවල දී ඔහු ලකුණු 131ක් වාර්තා කළ අතර කඩුලු 6ක් ද දවාගෙන තිබුණා. 

තවත් ක්‍රිකට් පුවත්:

ඉන්දීය කණ්ඩායමේ එංගලන්ත සංචාරය සඳහා වේගපන්දු යවන ක්‍රීඩක Mohammed Shami ද එක් කර තිබෙනවා. ඔහු ද ඕස්ට්‍රේලියා තරගාවලිය අතරතුර ආබාධයකට ලක්වුනා. මාස 4ක කාලයකට පසු ඔහු නැවත ක්‍රීඩා කළේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දීයි. 

කෙසේ වෙතත් නම් කළ ඉන්දීය සංචිතයට තරුණ ක්‍රීඩක Prithvi Shaw ඇතුළත් කර නැහැ. ඒ සංචිතය සඳහා ආරම්භක පිතිකරුවන් තිදෙනෙක් නම් කර තිබීම හේතුවෙන්. Rohit Sharma, Shubman Gill සහ Mayank Agrawal ආරම්භක පිතිකරුවන් ලෙස සංචිතයට ඇතුළත්ව සිටිනවා. සංචිතය සඳහා KL Rahul ද ඇතුළත් වුවත් ඔහුගේ ආබාධය අනුව අවසන් සංචිතය නම් කිරීමට නියමිතයි. 

ඉන්දීය ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ Adelaide තරගයෙන් අනතුරුව Prithvi Shaw කණ්ඩායමෙන් ඉවත් කිරීමට තේරීම් කමිටුව තීරණය කළා. නමුත් ඉන් පසු පැවති Vijay Hazare තරගාවලියේ දී ලකුණු 800ක් වාර්තා කිරීමට Shaw සමත් වුනා. එම දස්කම දැක්වීමට සමත් වූ පළමු පිතිකරුවා වූයේ ඔහුයි.

මෙම සංචිතය සඳහා Hardik Pandya සහ Kuldeep Yadav ඇතුළත් නොවන අතර එංගලන්ත තරගාවලිය තුල දස්කම් දැක්වූ Axar Patel සංචිතයට ඇතුළත් වනවා. 

තරගාවලිය සඳහා නම් කළ ඉන්දීය සංචිතය: Rohit Sharma, Shubman Gill, Mayank Agarwal, Cheteshwar Pujara, Virat Kohli (නායක), Ajinkya Rahane (උප නායක), Hanuma Vihari, Rishabh Pant (කඩුලු රකින ක්‍රීඩක), R. Ashwin, Ravindra Jadeja, Axar Patel, Washington Sundar, Jasprit Bumrah, Ishant Sharma, Mohammed Shami, Md. Siraj, Shardul Thakur, Umesh Yadav, KL Rahul (යෝග්‍යතා පරීක්ෂණයට යොමුකර ඇත), Wriddhiman Saha (යෝග්‍යතා පරීක්ෂණයට යොමුකර ඇත).

අතිරේක ක්‍රීඩකයන්: Abhimanyu Easwaran, Prasidh Krishna, Avesh Khan, Arzan Nagwaswalla

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<