ඉන්දියානු COVID වසංගතයට එරෙහිව ක්‍රිකට් ප්‍රජාව පෙළ ගැසෙයි

163

දිනකට ලක්ෂ 4කට ආසන්න COVID-19 ආසාදිතයින් ගණනක් වාර්තා වෙන ඉන්දියාව මේ දිනවල දැඩි සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දෙමින් සිටිනවා. රෝගීන්ට අවශ්‍ය සායනික ඔක්සිජන් නොමැතිකමින් ඉන්දීය ජනයා මහා මඟ මියැදෙද්දී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියත් අතර මඟ නවත්වා දැමීමට සංවිධායකයින්ට සිදු වුනා.

ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන්ම ක්‍රීඩාවට සම්බන්ධ විවිධ පාර්ශවයන් ඉන්දියාවේ පවතින COVID-19 වසංගතයෙන් ඔවුන් මුදවා ගැනීම සඳහා නන් අයුරින් දායක වී තිබුණා.

Kolkata Knight Riders කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක Pat Cummins පසුගිය මස ඇමරිකානු ඩොලර් 50,000ක මුදලක් ඉන්දියාවේ PM-CARES අරමුදලට ලබා දෙන බවට ප්‍රකාශ කර තිබුණේ ලොව පුරා ක්‍රිකට් ප්‍රජාවගේ අවධානය ඉන්දියාවට යොමු කරමිනුයි.

කෙසේ වෙතත් ඔහුගේ ඒ මුදල ඕස්ට්‍රේලියානු UNICEF ආයතනය පිහිටුවා තිබෙන ‘India COVID-19 Crisis Appeal’ අරමුදලට ලබා දීමට පසුව තීරණය කර තිබුණා.

තවත් ක්‍රිකට් පුවත්:

Pat Cumminsගේ පරිත්‍යාගයෙන් පසුව ඕස්ට්‍රේලියානු හිටපු වේගපන්දු යවන ක්‍රීඩක Brett Lee ද ඉන්දියාව පුරා රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් ලබා ගැනීමට සිය දායකත්වය ලබා දී තිබුණා. ඉන්දීය රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා bitcoin 1ක ඉලෙක්ට්‍රොනික මුදලක් ඔහු ඒ සඳහා පරිත්‍යාග කර තිබුණා. 

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයත් ඉන්දියාවට සහය දීමට ඉදිරිපත්ව සිටිනවා. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය හා ඕස්ට්‍රේලියාවේ UNICEF ආයතනය එක්ව ආධාර එකතු කිරීමේ වැඩසටහනක් සංවිධානය කර තිබෙනවා. 

දැඩි ඔක්සිජන් අවශ්‍යතාවයක් පවතින රෝහල්වලට ඔක්සිජන් නිපදවීමට අවශ්‍ය උපකරණ ලබා දීම, රෝගය හඳුනා ගැනීමට අවශ්‍ය උපකරණ ලබා දීම, COVID-19 එන්නත් සඳහා එම අරමුදලේ මුදල් වැය කිරීමට නියමිතයි. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මූලික වශයෙන් ඩොලර් 50,000ක මුදලක් එම අරමුදලට ලබා දී තිබුණා.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් ද COVID-19 වසංගතයෙන් සිය රට මුදවා ගැනීම සඳහා සිය දායකත්වය ලබා දී තිබෙනවා. Shikhar Dhawan ඉන්දීය රුපියල් ලක්ෂ 20ක මුදලක් ‘Mission Oxygen’ අරමුදලට පරිත්‍යාග කර තිබුණා. IPL තරගාවලියේ තරගවලින් දස්කම් දැක්වූ පසුව ලබා දුන් ත්‍යාග මුදල් ද ඔහු මෙම අරමුදලට පරිත්‍යාග කරන බව පවසා තිබෙනවා. මේ පරිත්‍යාගයන් ඔහු සිය රසිකයින්ට පුද කර සිටිනවා.

Pandya සහෝදරයින් ඔක්සිජන් ආධාරක (Oxygen ventilators) උපකරණ 200ක් ඉන්දියාවේ දුෂ්කර ප්‍රදේශවලට බෙදා හරින්නට කටයුතු කර තිබෙනවා. Pandya පවුලම මේ සඳහා දායක වී තිබෙන අතර කොරෝනා නිසා පීඩාවට පත්ව සිටින හා රෝගීන්ට ප්‍රතිකාර කරන්නට අසීමිතව මහන්සි වන පුද්ගලයින් වෙනුවෙන් තමන් මේ ආධාරය කළ බව Pandya සහෝදරයින් පවසා සිටිනවා. 

Irfan Pathan හා Yousuf Pathan සහෝදරයින් හා ඔවුන්ගේ පියා COVID වසංගතයෙන් පීඩා විඳින ජනතාවට නොමිලේ ආහාර ලබා දීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. Vadodara ප්‍රදේශයේ Mehmood Khan Charitable Trust නම් අරමුදලක් හරහා මේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන අතර Irfan Pathan, Twitter ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ ආහාර අවශ්‍යතාවයකින් සිය රසිකයින් පෙළෙන්නේ නම් වහා තමාව සම්බන්ධ කර ගන්නා ලෙසයි.

Rajasthan Royals ක්‍රීඩක Jaydev Unadkat, IPL තරගාවලිය ක්‍රීඩා කර ලැබුණු ආදායමෙන් 10%ක කොටසක් COVID-19 වෙනුවෙන් පිහිටවූ අරමුදලක් වෙත පරිත්‍යාග කර තිබෙනවා. එමෙන්ම Ajinkya Rahane ද ‘Mission Vayu’ නම් සංවිධානයකට ඔක්සිජන් සිලින්ඩර් 30ක් ලබා දී තිබුණේ Maharashtra ප්‍රාන්තයේ සායනික ඔක්සිජන් නොමැතිව පීඩා විඳින ජනතාවට ලබා දීමේ අරමුණිනුයි.

ඉන්දීය නායක Virat Kohli හා ඔහුගේ බිරිඳ වන Bollywood නිළි Anushka Sharma, COVID-19 වසංගතය මර්දනය සඳහා ඉන්දීය කෝටි දෙකක දැවැන්ත මුදලක් පරිත්‍යාග කර තිබෙනවා. ඔවුන්ගේ ඉලක්කය ඉන්දියාවේ මෙන්ම වෙනත් රටවල සංවිධාන හා ජනතාව එකතු කර ගනිමින් කෝටි 7ක මුදලක් එකතු කිරීමයි.   

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<