“තරග සැලසුම් තාම අත ඇරලා නැහැ” – BCB ප්‍රධාන විධායක නිලධාරි

134

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කිරීමට සූදානමින් සිටි ආසියානු XI කණ්ඩායම හා ලෝක XI කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් තරග ද්විත්වය කොරෝනා වසංගත තත්ත්වය නිසා කල් දැමුණු නමුත් එය අත්හැර දැමීම සඳහා කිසිදු සූදානමක් නොමැති බව බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් පවසා සිටියි.

මෙම තරග මාර්තු මස 21 හා 22 යන දිනවල දී පැවැත්වීමට නියමිතව තිබුණි. එම තරග බංග්ලාදේශයේ ජාතියේ පියා ලෙස හඳුන්වන බංගබන්ධු ශේක් මුජිබර් රහ්මාන්ගේ ජන්ම දිනය සැමරීමට සමගාමීව සංවිධානය කර තිබුණි. 

කෙසේ වෙතත් මෙම කොරෝනා වයිරස් තත්ත්වය නිසා සියලුම සැමරීම් උත්සව හා අනෙකුත් කටයුතු සියල්ල කල් දැමීමට බංග්ලාදේශ බලධාරීන් තීරණය කර අතර එයට මාර්තු 18 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ඒ ආර් රහ්මාන් සංගීත ප්‍රසංගය ද ඇතුළත් වේ.

තවත් ක්‍රිකට් පුවත්:

“අපි තවමත් මේ තරගාවලිය තියන්න ලොකු උත්සහයක් දරමින් ඉන්නවා. මේ කොරෝනා වයිරසයේ බලපෑම නිසාවෙන් මුලින් සැලසුම් කරපු විදිහට අපේ බංග්ලාදේශයේ ජාතියේ පියා ලෙස හඳුන්වන බංගබන්ධු ශේක් මුජිබර් රහ්මාන් මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් අපිට කිසිදු සැමරීමක් කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. හැබැයි අපි කිසිම  වෙලාවක එය අමතක කළේ නැහැ. කවුරුත් හිතපු නැති විදිහට මේ වයිරසයක් ආපු නිසා සැලසුම් ඔක්කොම අවුල් වුනා” බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි Nizamuddin Chowdhury පැවසීය.

බංග්ලාදේශය තුල තවමත් කොරෝනා වයිරසයේ ව්‍යාප්ත වීම පාලනය නොමැති වී තිබෙන පසුබිමක මේ මස 11 වැනිදා සිට බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්ම කණ්ඩායම් තුනකට බෙදී එක්දින තරගාවලියක් පැවැත්වීමට සූදානමින් සිටියි. ඒ බංග්ලාදේශ ක්‍රිකට් සභාපති කුසලානය වෙනුවෙන්.

එම තරගාවලිය සාර්ථකව පවත්වා ගැනීමට බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් හට හැකියාව ලැබුනහොත් ඔවුන් ඔවුන්ගේ දේශීය පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ද සෞඛ්‍ය උපදෙස් අනුව යමින් පැවැත්වීමට සූදානමින් සිටින අතර එම තරගාවලි දෙක සාර්ථකව අවසන් වුවහොත් පසුව ඔවුන් නැවතත් බංග්ලාදේශය තුල ජාත්‍යන්තර ක්‍රිකට් ආරම්භ කිරීම වෙනුවෙන් සූදානමින් සිටින බව ද වාර්තා වේ.

එය එසේ වුවහොත් එළඹෙන ජනවාරි මාසයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම බංග්ලාදේශය බලා පිටත්ව යාමට වැඩි ඉඩක් තිබෙන අතර එම තරගාවලිය සඳහා විස්සයි විස්ස තරග දෙකක්, ටෙස්ට් ක්‍රිකට් තරග තුනක් සහ එක්දින තරග කිහිපයක් ඇතුළත්ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<