බිග් බෑෂ් ලීගය කොටවෙයි

Big Bash League 2024-25

271

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ප්‍රධානතම විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය වන Big Bash League තරගාවලියේ එක් කණ්ඩායමකට හිමි වන තරග සංඛ්‍යාව 10ක් දක්වා අඩු කිරීමට සංවිධායකයින් කටයුතු කර තිබෙනවා.

තරගාවලියේ විකාශන අයිතිය ඇති ආයතනය සමඟ සිදු කළ සාකච්ඡාවලින් පසුවයි මෙම තීරණය ගෙන තියෙන්නේ.

ඒ අනුව 2024-25 තරග වාරයෙන් තරග 16ක් අඩු වන අතර ඒ සමඟ මෙතෙක් තරග 56ක් පැවති තරගාවලිය 40ක් දවා අඩු වෙනවා. මෙම තරග අඩු කිරීම සමඟ අවසන් වටයේ මෙතෙක් ක්‍රියාත්මක වූ තරග සැකැස්ම ද වෙනස් වෙනවා.

තරගාවලිය දිගු වීමත් සමඟ එයට දැඩි විවේචනයක් එල්ල වූ අතර තරග ගණන අඩු කිරීමත් සමඟ තරගාවලියේ වඩාත් හොඳම කාලය වූ 2017-18 තරගාවලියේ ස්වරූපය ගන්නවා.

තරගාවලිය පැවැත්වෙන දින තවමත් තීරණය කර නොමැති නමුත් තරගාවලිය නත්තල් නිවාඩු කාලසීමාව තුළ සම්පූර්ණයෙන් ක්‍රීඩා කිරීමට සැලසුම් කර ඇති බව ද වාර්තා වෙනවා.

ඕස්ට්‍රේලියා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්ට සහ විදෙස් ක්‍රීඩකයින්ට තරගාවලියේ වැඩි තරග ගණනක් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දීමටයි එම තීරණය ගෙන තියෙන්නේ.

මෙම තීරණය පිළිබඳ පසුගිය වසරේ සිට සාකච්ඡා කිරීමෙන් පසුව මෙම තීරණය ගෙන තිබෙනවා.

“තරගාවලිය කෙටි කිරීම තුළින් වඩාත් නම්‍යශීලී සහ උද්‍යෝගය පිරි තරගාවලියක් ලබා දීමට පුළුවන් කියලා සහතික වෙන්න පුළුවන්. ඒ වගේම ක්‍රීඩකයින්ට ලෝක මට්ටමේ තරගාවලියක් ලබා දීමට අපිට පුළුවන් වෙනවා,” තරගාවලියේ සංවිධායක Alistair Dobson ප්‍රකාශ කළා.

කෙසේ නමුත් කාන්තා බිග් බෑෂ් තරගාවලියේ කිසිදු වෙනසක් මෙතෙක් සිදු කර නැහැ.

මෙම කෙටි තරගාවලිය නිසා විදෙස් ක්‍රීඩකයින්ගේ ආකර්ෂණය තරගාවලියට හිමි වන නමුත්, දේශීය ක්‍රීඩකයින් බොහෝ විට තරග 14ක තරගාවලියක් ක්‍රීඩා කිරීමට වැඩි කැමැත්තක් දක්වන බව වාර්තා වෙනවා.

එමෙන්ම තරගාවලියට සහභාගී වන විදෙස් ක්‍රීඩකයින් සඳහා ගෙවන මුදල වැඩි කිරීමට ද ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

“කාන්තා විස්සයි විස්ස ලීග් ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන නිසා අපේ තරගාවලිය ඉදිරියෙන් පවත්වා ගන්න අපි කටයුතු කරන්න ඕන. අපි ලීගය තවත් වැඩි දියුණු කරමින් ඉදිරියෙන් ම පවත්වා ගන්නයි කටයුතු කරන්නේ,” යැයි Alistair Dobson  වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩකයින් නැවත ගිවිසුම් ගත කිරීමේ කාලය ලබන සතියේ ආරම්භ කරන බව ඔහු සඳහන් කළා.

ලොව පුරා වැඩි අවධානයක් දිනා ගත් ලීග් තරග පිටියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

ESPN Cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<