ලංකාවට එන ඕස්ට්‍රේලියානුවන්ගෙන්, රංගනට එරෙහිව මෙහෙයුමක්

712
Rangana Herath

ලබන ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පිතිකරුවන් හට රංගන හේරත්ගේ පන්දුවලට මුහුණදීම සඳහා විශේෂ උපක්‍රමශීලී පුහුණුවක් ලබාදීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පුහුණු බලධාරීන් පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

2011 වසරේදී අවසන් වරට ඕස්ට්‍රේලියානු පිතිකරුවන් ශ්‍රී ලංකාව සමඟ ශ්‍රී ලංකාවේදී පැවැති ටෙස්ට් තරගාවලියේදී තරග දෙකකට සහභාගි වූ රංගන හේරත් කඩුලු 16ක් ලබා තිබූ අතර, එයට කඩුලු 5 බැගින් දවාගත් අවස්ථා දෙකක්ද ඇතුළත් වී තිබිණි.

මේ හේතුවෙන් මෙවරද ඕස්ට්‍රේලියානුවන්ගේ ප්‍රබලම ප්‍රතිවාදියා ලෙස ඔවුන් විසින් ඉලක්ක කරනු ලබන රංගනට එරෙහිව දියත් කර ඇති මෙම මෙහෙයුමේ ප්‍රධානියා බවට පත්ව සිටින්නේ මේ වනවිට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙස පත්ව සිටින ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන සිදරන් ශ්‍රීරාම්ය.

ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් ඇකඩමියේ මෙන්ම ඕස්ට්‍රේලියානු “ඒ” කණ්ඩායම හා එක්ව සිටි ශ්‍රීරාම් පසුගිය ලෝක කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම හා එක්විය.

පසුගිය අයි.පී.එල්. තරගාවලියේදීද දිල්ලි ඩෙයා ඩෙවිල්ස් කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස කටයුතු කළ ශ්‍රීරාම් පවසා තිබුණේ තමන් රංගන හේරත් පන්දු යවන ආකාරයේ පන්දු යවමින් ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට පුහුණුවක් ලබාදෙන බවයි.

මේ අතර තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය එළැඹෙන ජූලි 26 වැනිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයෙන් ආරම්භ වීමට නියමිතය.