ඕස්ට්‍රේලියා යෞවනියෝ ඇප නැතිව ගෙදර යයි

Australia U 19s Women tour of Sri Lanka

90
Australia U 19s Women tour of Sri Lanka

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති අවසන් යොවුන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.

ඒ අනුව දෙරට අතර තරග 5කින් පැවැති යොවුන් විස්සයි විස්ස තරගාවලිය 5-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත් වෙන අතර ඊට අමතර ව දෙරට අතර පැවැති එක ම එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයෙන් ද ඔවුන් ජයග්‍රහණය කරමින් තරග සංචාරයේ සෑම තරගයක් ම ජයග්‍රහණය කරනවා.

අද (30) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ අවසන් විස්සයි විස්ස තරගයේ දී කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් සංචාරක ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ කඩුලු 6ක් දැවී ලකුණු 114ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එම ඉලක්කය පන්දු 15ක් ඉතිරි කර ගනිමින් කඩුලු 4ක් පමණක් දැවී සපුරා ගත්තා.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

මනුදි නානායක්කාර (නායිකාව), සංජනා කාවින්දි, විමෝක්ෂා බාලසූරිය, හිරුණි හංසිකා, නෙතගි ඉසුරාංජලී (කඩුලු රකින්නිය), ශෂිනි ගිම්හානි, ලිමංසා තිලකරත්න, රශ්මිකා සෙව්වන්දි, දනෝද්‍යා සෙව්මිණි, අසෙනි තලගුණේ සහ චමෝදි ප්‍රබෝධා.

ඕස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

Samara Dulvin (නායිකාව), Shiloh Julien, Eva Baird, Emily Powell, Lucy Finn, Ayaka Kato-Stafford, Indira Panelli, Ira Aery, Chelsea Sonter (කඩුලු රකින්නිය), Sara Kennedy, Jasmine Kamboj.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියා ඉනිම වෙනුවෙන් Emily Powell සහ Lucy Finn එක් ව 3 වැනි කඩුල්ලට ලකුණු 53ක සබඳතාවක් එක් කරනවා. එහි දී Lucy Finn පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 35ක් ලබා ගන්නා ලද අතර Emily Powell පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 33ක් ලබා ගත්තා.

ඊට අමතර ව ඕස්ට්‍රේලියා ඉනිම අවසන් වන විට Indira Panelli පන්දු 10කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 10ක් ලබා සිටියා. අනෙක් කිසිදු ක්‍රීඩිකාවක් ලකුණු 10 සීමා ව ඉක්මවා ගියේ නැහැ.

කඩුලු දවා ගැනීමේ දී චමෝදි ප්‍රබෝධා ලකුණු 16කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව ලිමංසා තිලකරත්න සහ අසෙනි තලගුණේ කඩුල්ල් බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ නායිකා මනුදි නානායක්කාර. ඇය ඉනිම අවසන් වන විට පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 34ක් ලබා සිටියා. ඇය 5 වැනි කඩුල්ල වෙනුවෙන් ශෂිනි ගිම්හානි සමඟින් ලකුණු 38ක සබඳතාවක් ද එක් කරනවා.

ශෂිනි ගිම්හානි පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 19ක් ලබා සිටියා.  ඊට අමතර ව හිරුණි හංසිකා (16), නෙතගි ඉසුරාංජලී (14) සහ විමෝක්ෂා බාලසූරිය (12) ලකුණු අතර සිටි අතර අද තරගයේ දි සංජනා කාවින්දිට කිසිදු ලකුණක් ලබා ගැනීමට හැකි වෙන්නේ නැහැ.

කඩුලු දවා ගැනීමේ දී Shiloh Julien ලකුණු 20කට කඩුලු 2ක් දවා ගත් අතර Lucy Finn කඩුල්ලක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ඕස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 6ක් දැවී 114 (20.0)Emily Powell33, Lucy Finn 35, චමෝදි ප්‍රබෝධා 3/16
  • ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 4ක් දැවී 115 (17.3) මනුදි නානායක්කාර නොදැවී 34, ශෂිනි ගිම්හානි නොදැවී 19, Shiloh Julien2/20

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<