13 වැනි කාන්තා ලෝක කුසලාන තරගාවලියට අතපොවන මානයේ සිටිය දී මේ සටහන් තැබෙන්නේ එහි ඉතිහාසයේ සුවිශේෂී වූ කරුණු කාරණා කිහිපයක් ගැනයි.
1 වැනි ලෝක කුසලානය – 1973 එංගලන්තය
ශූරතාව – එංගලන්තය
1973 ජුනි මස 20 වැනිදා සිට ජුලි මස 28 වැනිදා දක්වා පැවැති පළමු ලෝක කුසලාන තරගාවලිය එංගලන්තයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙනවා. මෙම තරගාවලිය සඳහා සත්කාරක එංගලන්තය සමඟ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ, ජැමෙයිකාව යන රටවල් නියෝජනය කළ අතර ඊට අමතර ව ලෝක XI කණ්ඩායම සහ එංගලන්ත යොවුන් කණ්ඩායම ලෙසින් කණ්ඩායම් ද්විත්වයක් ද ඊට එක් කර ගන්නවා.
තරගාවලියේ දී එක් එක් කණ්ඩායම අනෙක් සෑම කණ්ඩායමක් සමඟ ම තරගය බැගින් ක්‍රීඩා කළ අතර තරගාවලියේ ශූරයන් සහ අනුශූරයන් තීරණය කෙරුණේ ලබා ගත් ප්‍රසාද ලකුණු පුවරුවේ අනු පිළිවෙළ අනුවයි. ඒ අනුව තරග 6කට සහභාගී වෙමින් තරග 5ක් ජයග්‍රහණය කරමින් එක් තරගයක් පරාජය වූ එංගලන්තය ප්‍රසාද ලකුණු 20ක් ලබා ගනිමින් තරගාවලියේ ජයග්‍රාහකයන් බවට පත් වුණා.
තරගාවලියේ අනුශූරයන් බවට පත් වූයේ ඕස්ට්‍රේලියාවයි. ඔවුන් තරග 6කට සහභාගී වෙමින් තරග 4ක් ජයග්‍රහණය කරන ලද අතර එක් තරගයක් නොවිසඳුණ තරගයක් සහ අනෙක් තරගය පරාජිත තරගයක් ලෙසින් අවසන් කරනවා. ඒ අනුව ඔවුන් ලද ප්‍රසාද ලකුණු ප්‍රමාණය 17ක්.
- ලෝක කුසලාන තරග ඉතිහාසයේ මංගල තරගය ජැමෙයිකාව සහ නවසීලන්ත කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත ව තිබුණ ද එය වර්ෂාව හේතුවෙන් පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට සංවිධායකයන්ට සිදු වෙනවා.
- ඒ අනුව ලෝක කුසලාන තරග ඉතිහාසයේ ක්‍රීඩා කළ පළමු තරගය බවට පත් වෙන්නේ ඉන් අනතුරු ව පැවැති ඕස්ට්‍රේලියාව සහ එංගලන්ත යොවුන් කණ්ඩායම අතර තරගයයි.
- ලෝක කුසලාන තරගාවලියේ කඩුලු 5ක් දවා ගත් පළමු පන්දු යවන්නිය වූයේ ඕස්ට්‍රේලියාවේ දකුණතින් මඳ වේග පන්දු යැවූ Tina Macpherson. ඇය එංගලන්ත යොවුන් කණ්ඩායමට එරෙහි ව ලකුණු 14කට කඩුලු 5ක් දවා ගනිමින් මෙම දක්ෂතාව දක්වනවා. ඇය දැක් වූ එම දක්ෂතාව මෙම තරගාවලියේ පන්දු යවන්නියක පෑ ඉහළ ම දක්ෂතාව බවට ද පත් වූවා.
- ලෝක කුසලාන තරගාවලියක මංගල ශතකය රැස් කිරීමේ ගෞරවය හිමි වෙන්නේ එංගලන්තයේ Lynne Thomas වෙත. ඇය මෙම දක්ෂතාව සිදු කරන්නේ ලෝක XI කණ්ඩායමට එරෙහිවයි. එය ඇයගේ මංගල එක්දින ජාත්‍යන්තර තරගය වීම ද විශේෂත්වයක්. එහි දී ඇය ලකුණු 134ක් ලබා ගන්නා ලද අතර එය මෙම තරගාවලියේ පිතිකාරිනියක් විසින් රැස් කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වූවා.
- තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකාරිනිය බවට පත් වූයේ එංගලන්ත කණ්ඩායමේ Enid Bakewell. ඇය තරග 6ක ඉනිම 4ක දී ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 264ක් ලබා ගන්නවා.
- තරගාවලියේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නිය බවට පත් වූයේ එංගලන්ත යොවුන් කණ්ඩායම නියෝජනය කළ Rosalind Heggs. ඇය තරග 6ක දී ලබා ගත් කඩුලු සංඛ්‍යාව 12ක්.
2 වැනි ලෝක කුසලානය – 1978 ඉන්දියාව
ශූරතාව – ඕස්ට්‍රේලියාව
1978 ජනවාරි මස 1 වැනිදා සිට 13 වැනිදා දක්වා ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැති මෙම තරගාවලිය සඳහා සහභාගී වෙන්නේ කණ්ඩායම් 4ක් පමණයි. ඒ සත්කාරක ඉන්දියාව සමඟින් ඕස්ට්‍රේලියාව, එංගලන්තය සහ නවසීලන්තයයි.
මෙවර තරගාවලිය ද එක් එක් කණ්ඩායම අනෙක් කණ්ඩායම් සමඟින් තරගය බැගින් ක්‍රීඩා කළ අතර තරගාවලිය අවසානයේ දී එක් එක් කණ්ඩායම ලබා ගත් ප්‍රසාද ලකුණු මත තරගාවලියේ ජයග්‍රහණය තීරණය කෙරුණා.
ඒ අනුව අපරාජිත ව තරගාවලිය අවසන් කළ ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ තරගාවලියේ ශූරියන් ලෙසත් ප්‍රසාද ලකුණු 4ක් ලබා ගත් එංගලන්තය අනුශූරියන් ලෙසත් නම් කෙරුණා. තරගාවලියට සත්කාරකත්වය දැක් වූ ඉන්දීය කණ්ඩායමට එකඳු හෝ තරගයක් ජයග්‍රහණය කිරීමට හැකි වෙන්නේ නැහැ.
- තරගාවලියේ වැඩිම ලකුණුලාභිනිය වූයේ ඕස්ට්‍රේලියාවේ Margaret Jennings. ඇය තරග 3ක දී එක් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 127ක් ලබා ගත් අතර එහි සාමාන්‍ය 63.5ක් ලෙසින් සටහන් වුණා.
- මෙම තරගාවලියේ දී එකඳු හෝ ශතකයක් වාර්තා නොවූ අතර තරගාවලියේ ඉනිමක වැඩිම ලකුණුලාභිනිය බවට පත් වූයේ ඉන්දීය කණ්ඩායමට එරෙහි ව නොදැවී ලකුණු 67ක් ලබා ගත් නවසීලන්තයේ Barb Bevege.
- තරගාවලියේ වැඩිම කඩුලුලාභිනිය බවට පත් වූයේ ඕස්ට්‍රේලියාවේ Sharyn Hill. ඇය තරග 3 දී කඩුලු 7ක් දවා ගෙන තිබුණා.
- තරගාවලියේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ ඕස්ට්‍රේලියාවේ Sharon Tredrea. ඇය මෙම දක්ෂතාව දක්වන්නේ එංගලන්ත කණ්ඩායමට එරෙහි ව ලකුණු 25කට කඩුලු 4ක් දවා ගනිමිනුයි.
- වාර්තා රැසක් සහිත වූ ඉන්දු – පාකිස්තාන අඩව්ව
- පැතුම් නැවතත් විශිෂ්ටයන් අතරට
- කාන්තා ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
3 වැනි ලෝක කුසලානය – 1982 නවසීලන්තය
ශූරතාව – ඕස්ට්‍රේලියාව
1982 වසරේ ජනවාරි මස 10 වැනිදා සිට පෙබරවාරි මස 7 වැනිදා දක්වා පැවැති මෙම තරගාවලිය තරග 35කින් යුක්ත වූවා. මෙවර තරගාවලියට 1978 තරගාවලිය සඳහා එක් වූ කණ්ඩායම්වලට අමතර ව නැවත වතාවක් ලෝක XI කණ්ඩායමක් එක් කර ගන්නවා.
තරගාවලියේ එක් කණ්ඩායමක් අනෙක් කණ්ඩායම් සමඟ තරග 3ක් බැගින් සහභාගී වූ අතර පළමු වරට තරගාවලිය සඳහා අවසන් මහා තරගයක් එක් කර තිබුණා. ඒ සඳහා එක් කෙරුණේ ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථාන ද්විත්වයට පත් කණ්ඩායම්.
තරගාවලියේ පළමු වටය අවසන් වන විට ඕස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය හිමිකර ගත්තා. ඔවුන් ලබා සිටි ප්‍රසාද ලකුණු ප්‍රමාණය 46ක්. තරග 12කට සහභාගී වූ ඔවුන් ඉන් තරග 11ක් ම ජයග්‍රහණය කර තිබුණ අතර අනෙක් තරගය එංගලන්තය සමඟින් ලකුණු සම කරමින් අවසන් කර තිබුණා.
ඕස්ට්‍රේලියාව සමඟින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නේ තරග 12ක දී තරග 7ක් ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු 32ක් ලබාගත් එංගලන්තයයි.
- තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකාරිනිය බවට පත් වූයේ එංගලන්තයේ Jan Brittin. ඇය තරග 12ක ඉනිම් 12කට සහභාගී වෙමින් ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 391ක් ලබා ගන්නවා.
- තරගාවලියේ ඉනිමක වැඩිම ලකුණු (නොදැවී 138) ලබා ගත් පිතිකාරිනිය බවට පත් වෙන්නේ ද ඇයයි. ඇය මෙම ඉනිම වාර්තා කරන්නේ ලෝක XI කණ්ඩායමට එරෙහිවයි.
- තරගාවලියේ වැඩිම කඩුලුලාභිනිය බවට පත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ Lyn Fullston. ඇය තරග 12ක දී දවා ගන්නා ලද කඩුලු සංඛ්‍යාව 23ක්.
- තරගාවලියේ ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා කිරීමේ ගෞරවය නවසීලන්තයේ Jackie Lord සතු කර ගන්නේ ඉන්දියාවට එරෙහි ව ලකුණු 10කට දවා ගත් කඩුලු 6යි.
4 වැනි ලෝක කුසලානය – 1988 ඕස්ට්‍රේලියාව
ශූරතාව – ඕස්ට්‍රේලියාව
1988 වසරේ නොවැම්බර් මස 29 වැනිදා සිට දෙසැම්බර් මස 18 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේ පැවැති මෙම තරගාවලිය සඳහා ද සහභාගී වෙන්නේ කණ්ඩායම් 5ක් පමණයි.
මෙවර තරගාවලිය සඳහා පෙර තරගාවලිවලට එක් වූ එංගලන්තය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය එක් ව සිටි අතර ඊට අමතර ව පළමු වතාවට අයර්ලන්තය සහ නෙදර්ලන්තය ද එක් ව සිටියා.
මෙවර තරගාවලියේ දී එක් එක් කණ්ඩායම අනෙක් කණ්ඩායම් සමඟ තරග ද්විත්වය බැගින් ක්‍රීඩා කළ අතර සුපුරුදු ලෙසින් ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථාන ද්විත්වය ලබා ගන්නා කණ්ඩායම් අවසන් මහා තරගය සඳහා එක් කර ගත්තා.
ඒ අනුව තරගමාලාවේ පිට පිට 2 වැනි වතාවටත් එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලද අතර මෙවර ද ජයග්‍රහණය කරන්නේ ඕස්ට්‍රේලියාවයි.
ඒ අනුව කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ පිට පිට අවස්ථා 3ක දී ශූරියන් වු ප්‍රථම කණ්ඩායම බවට පත් විමට ඕස්ට්‍රේලියාව සමත් වෙනවා.
- තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකාරිනිය බවට පත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ Lindsay Reeler. ඇය තරග 8ක දී ලකුණු 448ක් රැස් කරන්නේ ශතක 2ක් සහ අර්ධ ශතක 2ක් ද සමඟිනුයි.
- ඇයගේ එම ලකුණු අතරට නවසීලන්තයට එරෙහි ව නොදැවී ලබා ගත් ලකුණු 143ක් ද ඇතුලත් අතර එය මෙම තරගාවලියේ පිතිකාරිනියක විසින් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වූවා.
- තරගාවලියේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නිය බවට පත් වූයේ ඕස්ට්‍රේලියාවේ Lyn Fullston. ඇය මෙම ස්ථානයට පත් වෙන්නේ කඩුලු 16ක් දවා ගනිමිනුයි.
- ඇය නවසීලන්තයට එරෙහි ව ලකුණු 28කට කඩුලු 5ක් දවා ගන්නා ලද අතර එය මෙවර තරගාවලියේ හොඳම පන්දු යැවීම බවට ද පත් වුණා.
- Mitchell Starc විස්සයි විස්ස පිටියට සමුදෙයි!
- දකුණු අප්‍රිකාවට එරෙහි ව ඔස්ට්‍රේලියානුවන්ගේ Mackay ප්‍රහාරය
- Major පිටිය කැළඹූ ලලනාවෝ
5 වැනි ලෝක කුසලානය – 1993 එංගලන්තය
ශූරතාව – එංගලන්තය
1993 වසරේ ජුලි 20 වැනිදා සිට අගෝස්තු 01 වැනිදා දක්වා පැවැති මෙම තරගාවලිය සඳහා එංගලන්තය 2 වැනි වතාවටත් සත්කාරකත්වය දක්වනවා.
මෙම තරගාවලිය සඳහා පෙර තරගාවලි සඳහා එක් වූ සත්කාරක එංගලන්තය සමඟ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දියාව, අයර්ලන්තය සහ නෙදර්ලන්තය එක් ව සිටි අතර පළමු වරට බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ඩෙන්මාර්කය යන රටවල් ද එක් ව සිටියා.
තරගාවලියේ පළමු වටයේ දී එක් එක් කණ්ඩායම් ප්‍රතිවාදී කණඩායම් සමඟින් එක තරගය බැගින් ක්‍රීඩා කළ අතර එම වටය අවසානයේ සැකසුන ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථාන ද්විත්වය දිනා ගන්නා කණ්ඩායම් අවසන් මහා තරගය සඳහා එක් කර ගැණුනා.
ඒ අනුව අවසන් මහා තරගය සඳහා එක් කර ගැණුනේ අපරාජිතව සිටිමින් ප්‍රසාද ලකුණු 28ක් ලබා ගත් නවසිලන්තය සහ තරග 7කදී තරග 6ක් ජයග්‍රහණය කරමින් තරගයක් පරාජය වෙමින් ප්‍රසාද ලකුණු 24ක් ලබා ගත් එංගලන්තයයි.
පළමු වටයේ දී නවසීලන්තය හමුවේ ලකුණු 25කින් පරාජය වූ එංගලන්ත ක්‍රීඩිකාවෝ අවසන් මහා තරගයේ දී ඔවුන්ට එරෙහි ව ලකුණු 67ක ජයග්‍රහණයක් ලබා ගනිමින් 5 වැනි ලෝක කුසලාන තරගාවලියේ ශූරියන් බවට පත් වෙනවා. ඔවුන් මෙම ශූරතාවයට හිමිකම් කී 2 වැනි අවස්ථාව මෙයයි.
- තරගාවලියේ වැඩිම ලකුණුලාභිනිය බවට පත් වෙන්නේ තරග 8ක දී ශතක ද්විත්වයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 410ක් ලබා ගත් එංගලන්තයේ Jan Brittin.
- තරගාවලියේ ඉනිමක වැඩිම ලකුණුලාභිනිය බවට පත් වීමේ ගෞරවය හිමි වූයේ එංගලන්තයේ Helen Plimmer (118) වෙත. ඇය මෙම දක්ෂතාව සිදු කරන්නේ අයර්ලන්ත ක්‍රීඩිකාවන්ට එරෙහිවයි.
- තරගාවලියේ වැඩිම කඩුලුලාභිනිය බවට පත් වූයේ තරග 8ක දී කඩුලු 15ක් බැගින් දවා ගත් එංගලන්තයේ Karen Smithies සහ නවසීලන්තයේ Julie Harris.
- තරගාවලියේ හොඳම පන්දු යැවීමේ ගෞරවය හිමි වූයේ ලකුණු 5කට කඩුලු 5ක් දවා ගත් නවසීලන්තයේ Jennifer Turner. ඇය මෙම දක්ෂතාව සිදු කරන්නේ නෙදර්ලන්තයට එරෙහිවයි.
6 වැනි ලෝක කුසලානය – 1997 ඉන්දියාව
ශූරතාව – ඕස්ට්‍රේලියාව
1997 දෙසැම්බර් මස 9 වැනිදා සිට 29 වැනිදා දක්වා ඉන්දියාවේ දී පැවැති මෙම තරගාවලිය තරග 33කින් සමන්විත වූ අතර කණ්ඩායම් 11ක් ඊට එක් වුණා. ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වරට කාණ්ඩ 2ක් යටතේ තරගාවලිය ක්‍රියාත්මක වෙන්නේ මේ වසරේදීයි.
එමෙන් ම තරගාවලිය සඳහා එක් වූ නවක කණ්ඩායම් අතරට ශ්‍රී ලංකාව ද එක් වෙනවා. ඒ වැනේසා ද සිල්වා ගේ නායකත්වයෙනුයි.
A කාණ්ඩය : ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, අයර්ලන්තය, ඩෙන්මාර්කය සහ පාකිස්තානය
B කාණ්ඩය : නවසීලන්තය, ඉන්දියාව, නෙදර්ලන්තය, ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්.
තරගාවලියේ පළමු වටයේ ප්‍රසාද ලකුණු පුවරුවේ එක් එක් කණ්ඩායම් ලබා ගත් ලකුණු අනුව පළමු ස්ථාන 4 දිනා ගත් කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමේ වරම් දිනා ගත්තා.
ශ්‍රී ලංකාව ද මෙම ගොඩට වැටුණ අතර 2 වැනි අර්ධ අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කළ ඔවුන් එංගලන්තය හමුවේ කඩුලු 9ක පරාජයක් ලබමින් තමන් සහභාගී වූ පළමු ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට වීසි වෙනවා.
කෙසේ වෙතත් ඔවුන් මෙම තරගාවලියේ දී මේ දක්වා පැමිණි ගමන කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් පැමිණි වැඩිම දුර ලෙසින් ඉතිහාසයට එක් වෙනවා.
තරගාවලියේ අවසන් මහා තරගය නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති අතර එහි දී කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ සිව් වැනි වතාවටත් කාන්තා එක්දින ලෝක කුසලානය තමන් ගේ රටට ගෙන ගියා.
- තරගාවලියේ වැඩිම ලකුණුලාභිනිය වූයේ තරග 7ක දී ශතක ද්විත්වයක් සහ අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 456ක් ලබා ගත් නවසීලන්තයේ Debbie Hockley.
- තරගාවලියේ හොඳම ඉනිම වාර්තා කිරීමේ ගෞරවය හිමි වූයේ ඕස්ට්‍රේලියාවේ Belinda Clark වෙත. ඇය ඩෙන්මාර්කයට එරෙහි ව පන්දු 155කට මුහුණ දෙමින් හතරේ පහර 22ක් සමඟින් නොදැවී ලකුණු 229ක් ලබා ගනිමින් මෙම ලැයිස්තුවේ පළමු වැනියා බවට පත් වෙනවා.
- ඇය විසින් ලබා ගන්නා ලද මෙම ද්විත්ව ශතකය කාන්තා ලොක කුසලාන ඉතිහාසයේ එතෙක් මෙතෙක් වාර්තා කරන ලද එක ම ද්විත්ව ශතකයයි.
- තරග 7ක දී කඩුලු 13ක් දවා ගත් නවසීලන්තයේ Katrina Keenan තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නිය බවට පත් වුණා.
- තරගාවලියේ හොඳම පන්දු යැවීමේ වාර්තාව සතු වූයේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ව ලකුණු 21කට කඩුලු 5ක් දවා ගත් ඉන්දියාවේ Purnima Choudhary.
කාන්තා ලෝක කුසලාන තරග ඉතිහාසයේ 7 වැනි තරගාවලියේ සිට 12 වැනි තරගාවලිය දක්වා තොරතුරු තවත් ලිපියකින් බලාපොරොත්තු වන්න.
කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<