යාපා රන් දිනද්දී ජේසන් සහ ජනනිගෙන් රිදි සහ ලෝකඩ

ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙල 2021

207

බහරේන් හීදී පැවැත්වෙන ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙලේ ඊයේ (03) දිනය අවසානයේ දී ශ්‍රී ලංකාවට එක් රන් පදක්කමක්, එක් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා දීමට ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

මෙරට පදක්කම් මල්ලට පදක්කම් ලබා දීම ආරම්භ කරමින් වයස අවුරුදු 20න් පහළ කාන්තා T47 කාණ්ඩයේ මීටර් 200 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ජනනි වික්‍රමසිංහට හැකි වුනේ තත්පර 29.36ක කාලයකින් තරගය අවසන් කරමිනුයි.

කුලියාපිටිය සුරදූත බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක වන ජනනි තවමත් තරග වදින්නේ 17න් පහළ කාණ්ඩයේ වූවත් මෙම තරගාවලියේ 20න් පහළ කාණ්ඩයේ වැඩිමහල් ක්‍රීඩිකාවන් සමඟ තරග කරමින් ලබා ගත් මෙම ජයග්‍රහණය ඉතාමත් සුවිශේෂී එකක් වනවා.

එමෙන්ම F40 කාණ්ඩයේ 20න් පහළ යගුලිය විසි කිරීම ඉසව්වේ මීටර් 6,64ක දුරක් වාර්තා කරමින් එහි රිදී පදක්කම දිනා ගැනීමට ගේට්වේ ජාත්‍යන්තර පාසල නියෝජනය කරන ජේසන් ජයවර්ධනට හැකි වූ අතර ඔහු ද තවමත් 17න් පහළ වයස් කාණ්ඩය නියෝජනය කරන ක්‍රීඩකයෙකු වීම විශේෂත්වයක්.

මෙවර ආසියානු යොවුන් පැරා තරගාවලියේ පළමු රන් පදක්කම මෙරටට දිනා දුන්නේ පිහිනුම් ඉසව්ව නියෝජනය කළ යාපා බණ්ඩාරයි. S6-10 කාණ්ඩයේ කාන්තා මීටර් 400 නිදහස් ආර ඉසව්වට සහභාගී වූ ඇය එම ඉසව්ව මිනිත්තු 5:25.27ක කාලයකින් අවසන් කරමින් මෙම ජයග්‍රහණය සඳහා උරුමකම් කීවා.

මීට අමතර S6-10 කාණ්ඩයේ පිරිමි මීටර් 400 නිදහස් ආර ඉසව්ව සඳහා සහභාගී වූ නවීඩ් රශීන් මිනිත්තු 5:20.59ක කාලයකින් එම තරගය තුන්වැන්නා ලෙස අවසන් කරමින් තවත් ලෝකඩ පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා දීමට සමත් වුනා.

ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙල මෙම මස 2 වැනිදා සිට 6 වැනිදා දක්වා බහරේන් හිදී පැවැත්වෙන අතර තරගාවලිය පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com අප සමඟ.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<