කුසල් මෙන්ඩිස්ගේ මංගල ශතකයෙන් John Keels ජයග්‍රහණයට

28 වැනි වෙළඳසේවා ක්‍රිකට් තරගාවලිය 2021

243

වෙළඳසේවා එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (27) කොළඹ දී ක්‍රියාත්මක වුනු අතර එම තරගවලින් John Keels සහ Hayleys කණ්ඩායම් ජයග්‍රහණ තහවුරු කරගත්තා. 

එසේම John Keels කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් සහ CDB Finance කණ්ඩායමේ මුදිත ලක්ෂාන් ශතක වාර්තා කරගනිමින් දිනය වර්ණවත් කරද්දී, Hayleys කණ්ඩායමේ දකුණතින් පිට දඟපන්දු යවන දිල්රුවන් පෙරේරා කඩුලු 5ක් දවා ගන්නට සමත් වුනා.

John Keels සහ CDB Finance

NCC පිටියේ දී පැවති මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් John Keels නායක භානුක රාජපක්ෂ පළමුව පන්දුවට පහර දීම සඳහා තීරණය කළා.

කුසල් මෙන්ඩිස් 4 පහර 8ක් සහ 6 පහර තුනක් එල්ල කරමින් පන්දු 106ක දී අගනා ලකුණු 110ක් ලබා ගත් අතර එම ශතකය මෙවර වෙළඳසේවා ක්‍රිකට් පිටියේ දී වාර්තා වූ පළමු ශතකය බවට පත්වුනා. 

මෙන්ඩිස් සමඟින් එක්වූ භානුක තුන්වන කඩුල්ල සඳහා පන්දු 85ක් තුල ලකුණු 101ක වේගවත් සබඳතාවයක් ගොඩනංවමින් ලකුණු 314ක් දක්වා යාමට අවශ්‍ය මූලික අඩිතාලම සකස් කළා. 

4 පහර 4ක් සහ 6 පහර 5ක් එල්ල කරමින් භානුක පන්දු 49ක් තුල වේගවත් ලකුණු 71ක් ලබාගෙන සිටිය දී ලහිරු ගමගේ විසින් දවා ගැනීමට සමත් වුනා.

අනතුරුව පිටියට පැමිණි අශේන් බණ්ඩාර සමඟින් පිටියේ එක්වූ මෙන්ඩිස් 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 55ක් තුල ලකුණු 70ක වේගවත් සබඳතාවයක් ගොඩනැංවූයේ CDB Finance පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් දියත් කරමිනි. 

අවසානයේ දී අශේන් බණ්ඩාර ලකුණු 41කට දැවී ගියා. පන්දු යැවීමේ දී මදුශාන් රවිචන්ද්‍රකුමාර් ලකුණු 62කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

John Keels ලබා ගත් ලකුණු 314ට පිළිතුරු ලෙස CDB Finance වෙනුවෙන් ක්‍රියාත්මක වුනු මුදිත ලක්ෂාන් දැනට තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමින් ලකුණු 104ක් ලබා ගත්තේ පන්දු 115ක් තුලයි. 20 හැවිරිදි මුදිතගේ මේ ඉනිම සඳහා 4 පහර 5ක් ඇතුලත් වුනා. 

ඊට අමතරව පසුගිය තරගයේ දී අර්ධ ශතකයක් ලබා ගත් කඩුලු රකින පිතිකරු ලහිරු උදාර මේ තරගයේ දී ලකුණු 47ක් ලබාගෙන දස්කම් අතරට පැමිණියත් ඔවුන් දෙදෙනාගේ වෑයම සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් වුනේ නැහැ. 

අවසානයේ දී පන්දුවාර 45කුත් පන්දු 5ක් අවසානයේ දී CDB Finance ඉනිම ලකුණු 260කට සීමා වුනා. CDB Finance ඉනිම සුන් කළ ඉශාන් ජයරත්න කඩුලු 4ක් දවා ගනිමින් දස්කම් දක්වන විට නායක භානුක කඩුලු 3ක් තමන් සතු කරගත්තා.

John Keels – 314/8 (50.0): කුසල් මෙන්ඩිස් 110, භානුක රාජපක්ෂ 71, අශේන් බණ්ඩාර 41, මදුශාන් රවිචන්ද්‍රකුමාර් 3/62.

CDB Finance – 260/10 (45.5): මුදිත ලක්ෂාන් 104, ලහිරු උදාර 47, දමිත සිල්වා 33, ලහිරු මදුසංක 26, ඉශාන් ජයරත්න 4/31, භානුක රාජපක්ෂ 3/40.

John Keels කණ්ඩායමට ලකුණු 52ක ජයක්

තවත් ක්‍රිකට් පුවත්

Hatton National බැංකුව සහ Hayleys

පී. සරා ඕවල් පිටියේ දී පැවති මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් Hatton National බැංකු කණ්ඩායම අපරාජිත Hayleys කණ්ඩායමට එරෙහිව පළමුව පන්දුවට පහර දෙමින් පන්දුවාර 43කුත් පන්දු 3ක් අවසානයේ දී සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 175ක් පමණයි.

මුල්පෙළ පිතිකරුවන් අසාර්ථක වෙද්දී සටන්කාමී ඉනිමක් දියත් කළ ජෙහාන් ඩැනියල් 4 පහර 6ක් සහ 6 පහර 3ක් එල්ල කරමින් පන්දු 95ක දී අගනා ලකුණු 76ක් ලබා ගත්තා. ඊට අමතරව මාධව වර්ණපුර ලකුණු 26ක් ලබාගෙන දස්කම් දක්වමින් ඩැනියල් හට සහය වුනා. 

ඔවුන් දෙදෙනා එක්ව 64/6ක් ලෙස සටහන්ව තිබූ Hatton National බැංකු ලකුණු සටහන ලකුණු 175ක් දක්වා රැගෙන ඒම වෙනුවෙන් 7 වැනි කඩුල්ල සඳහා ලකුණු 64ක සබඳතාවයක් ගොඩනැංවූවා.

පන්දු යැවීමේ දී දිල්රුවන් පෙරේරා ලකුණු 33කට කඩුලු 5ක් දවා ගනිමින් දස්කම් දක්වද්දී, වමතින් වේගපන්දු යවන කලන පෙරේරා ලකුණු 19කට කඩුලු 3ක් දවා ගත්තා.

තරග තුනක් ජයග්‍රහණය කරමින් අපරාජිත ගමන් මඟක පැමිණ සිටින Hayleys කණ්ඩායමේ සිව්වැනි ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් පිතිකරණයෙන් දායක වීමට කඩුලු රකින පිතිකරු විශාද් රන්දික සමත් වුනා. 

නිමා වූ තරගයේ දී ඔහු ලකුණු 28කට දැවී ගිය ද මේ තරගයේ දී ලකුණු 63ක් ලබා ගනිමින් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුණේ නුවනිඳු ප්‍රනාන්දු ඇතුළු Hayleys කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක වුනු පසුබිමකයි.

තරගාවලිය පුරාවටම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස සාර්ථක වී සිටි නුවනිඳු හට මේ තරගයේ දී ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කිරීමට Hatton National බැංකු කණ්ඩායමේ මාධව වර්ණපුර සමත් වුවත් රන්දික, කවිෂ්ක අංජුල යන දෙදෙනා කණ්ඩායමේ පසුපෙළ සවිමත් කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීමට සමත් වුනා.

4 පහර 5 ක් එල්ල කරමින් පන්දු 77ක් තුල විශාද් රන්දික එම ලකුණු 63 ලබා ගත් අතර අංජුලගේ ලකුණු 48 ඉනිම සඳහා 4 පහර 2ක් සහ එක් 6 පහරක් ඇතුළත් වුනා. පන්දු යැවීමේ දී දකුණතින් පිට දඟපන්දු යවන මාධව වර්ණපුර මේ තරගයේ දී සිය තුන් ඉරියව් දස්කම් පෙන්නුම් කරමින් ලකුණු 32කට කඩුලු 3ක් දවා ගත්තා.

Hatton National බැංකුව – 175/10 (43.3): ජෙහාන් ඩැනියල් 76, මාධව වර්ණපුර 26, දිල්රුවන් පෙරේරා 5/33, කලන පෙරේරා 3/19.

Hayleys – 176/8 (46.4): විශාද් රන්දික 63, කවිෂ්ක අංජුල 48, අවිශ්ක ප්‍රනාන්දු 26, මාධව වර්ණපුර 3/32.

Hayleys කණ්ඩායමට කඩුලු 2ක තියුණු ජයක්

එසේම රටේ පවතින වත්මන් COVID-19 වයිරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මේ වෙළඳසේවා එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග කිහිපය සහ වෙළඳසේවා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<