විරෝධතා සියල්ල කුණු කූඩයට විසිකර පාපන්දුව ප්‍රජාතන්ත්‍රවාදී ජන්දයකට සැරසෙයි

109

ලබන 23 වැනිදා පැවැත්වීමට නියමිත පාපන්දු සම්මේලන නිලවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්‍ෂකයන්ගේ නාම යෝජනාවල වලංගුභාවය පරීක්‍ෂා කිරීම වෙනුවෙන් පෙරේදා (16දා) පැවැති පාපන්දු සම්මේලන විශේෂ විධායක කමිටු රැස්‌වීම අවසානයේ වෙනස්‌ම මුහුණුවරක්‌ ගනිමින් දෙපාර්ශ්වයේම විරෝධතා පසෙක දමා සියලු අපේක්‍ෂකයන්ට ඡන්දය සඳහා ඉදිරිපත්වීමට අවස්‌ථාව සලසාදිය යුතු බවට තීරණය වී තිබේ.

අදාළ නාමයෝජනා ක්‍රීඩා අමාත්‍යංශයෙදී ඉකුත් දා විවෘත කිරීමෙන් පසු පාපන්දු සම්මේලනයේ විශේෂ කමිටු රැස්‌වීමක්‌ එහි වලංගු අවලංගුභාවය තීරණය කරගන්නා මෙන් උපදෙස්‌ ලැබුණු අතර ඒ අනුව පෙරේදාට යෙදුණු අදාළ විශේෂ විධායක කමිටු රැස්‌වීම මේ සඳහා වේදිකාව බවට පත්විය. ප්‍රධාන දෙපාර්ශ්වයක්‌ අතර තරගයක්‌ බවට පත්වන මෙවර නිලවරණය සඳහා සැබෑ සුදුස්‌සන් කවරේද යන්න තීරණය වීමට නියමිත වූ මෙම රැස්‌වීම ඉතාම උණුසුම් සහගත ස්‌වරූපයක්‌ ගනු ඇතැයි ක්‍ෂේත්‍රයේ සියලුදෙනා විශ්වාස කළේය.

මෙම රැස්‌වීම ඇරඹී මුල් කාලය එලෙස වාද විවාද තර්ක විතර්ක අතරින් ගෙවී යද්දී නැගී සිටි ඡේHෂ්ඨ පොලිස්‌ අධිකාරී පත්මසිරි මුණසිංහ මහතා සැම විටම දෙපාර්ශ්වයකට බෙදී ගැටුම් ඇතිකරගනු වෙනුවට, මෙහි ඉදිරිපත්ව සිටින සියලුදෙනා පාපන්දු ක්‍රීඩාව සම්බන්ධයෙන් යෙදීමක්‌ ඇති අය බැවින් ඒ පිළිබඳව සැලකිල්ලට ගෙන සියලු විරෝධතා ඉවත දමා ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයක්‌ වෙත යා යුතු බවට යෝජනාවක්‌ ඉදිරිපත් කර තිබේ. 

අදාළ යෝජනාවට පක්‍ෂව ඡන්ද 18ක්‌ද විපක්‍ෂව ඡන්ද 5ක්‌ ද, එක්‌ අයෙක්‌ ඡන්දය දීමෙන් වැළකීද සිටි අතර ඒ අනුව වසර 19කට පසුව ඡන්දයකින් පාපන්දු සම්මේලනයේ නිලතල තීරණය වීමක්‌ සිදුවනු ඇත.

‘ඇත්තෙන්ම මම ඉතාම සතුටු වෙනවා මේ තීරණය ගැන. ගෙවුණු අවුරුදු 19ක කාලයේදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තුළ සිදුවුනේ එක්‌තරා ඒකාධිපති පාලනයක්‌ විසින් තමන්ගේ කැමැත්ත අනුව තනතුරු බෙදා දෙන ක්‍රමයක්‌. විරෝධතා ඉදිරිපත් කරමින් ප්‍රතිවාදීන් අවලංගු කර නිතරග ජයකට යැමත්, එක්‌ අයෙකුට අවශ්‍ය විදිහට තනතුරු බෙදාදීමත් යන දෙආකාරයෙන් තොරව, බහුතර කැමැත්තෙන් නිලතල වලට පත්වීම සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තුළ අවස්‌ථාව උදාවුණා. මෙය ශ්‍රී ලංකා පාපන්දුව වගේම පෞද්ගලිකව මගේත් ජයග්‍රහණයක්‌ ලෙස මම දකිනවා’ යි මේ සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌වූ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රොද්‍රිගූ මහතා ‘දිවයින’ට පැවසීය.

‘ඒ විතරක්‌ නොමෙයි. 2007 දී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ඡන්ද අයිතිය නොමැති සාමාජිකයෙකු ලෙසින් එක්‌වූ සිවිල් ආරක්‍ෂක බළකායට ඡන්ද අයිතිය ලබාදිය යුතුද යන්න තීරණය කිරීම සඳහා මේ දක්‌වා අප කොන්ග්‍රසයකට යෝජනාවක්‌ ඉදිරිපත් ව නෑ. නමුත් ලබන 23 වැනිදා පැවැත්වෙන අප කොන්ග්‍රසයේදී න්‍යාය පත්‍රය සංශෝධනයකට ලක්‌කරලා එම ක්‍රීඩා සමාජයට ඡන්ද අයිතිය ලබාදීම සඳහා අවශ්‍ය වටපිටාව සකස්‌ කරන්න මම තීරණය කරලා තියෙනවා. මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. සටන් නොකර නිතරග ජයක්‌ ලබනවාට වඩා සටනකින් තමයි හැකිවෙන්නේ සැබෑ ශක්‌තිවන්තයා කව්ද කියලා හරියටම තීරණය කරන්න. දැන් එයට අවස්‌ථාව උදා වෙලා තිබෙනවා’ යෑයි රොද්‍රිගූ මහතා වැඩිදුරටත් පවසන ලදි. 

මේ අනුව ලබන 23 වැනිදා පැවැත්වීමට නියමිත නිලවරණයේදී රූමී පකීර් අලී සහ අනුර ද සිල්වා සභාපති තනතුර සඳහා තරග වදිනු ඇත. මේ දෙදෙනාම ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායම නියෝජනය කළ සහ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ පරිපාලන අත්දැකීම් සහිත අය වෙති.