මැතිව් වේඩ් ගඟට ඉනි කපද්දී එංගලන්තය තරගාවලිය සම කරති!

92

ඕස්ට්‍රේලියානු මැදපෙළ පිතිකරු මැතිව් වේඩ් සිව්වැනි ඉනිමේ ලබා ගත් විශිෂ්ට ශතකය ඵල රහිත කරමින් ඊයේ (15) ලන්ඩන් නුවර කෙනිංටන් ඕවල් හිදී පැවති පස්වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. ඒ තරගය නිමා වීමට තවත් සම්පූර්ණ දිනයක් ඉතිරිව තිබිය දී ම ලකුණු 135ක පහසු ජයක් වාර්තා කරමිනි. 

කෙසේ වෙතත් මෙවර අළුබඳුන තරගාවලිය 2-2ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වීම නිසා තවදුරටත් කුසලානය තමන් සන්තකයේ තබා ගැනීමට ගියවර ජයග්‍රාහකයින් බවට පත්වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට වරම් හිමිවී ඇත.

ස්මිත්ගේ අසාමාන්‍ය දස්කම් නිසා මෙවරත් අළු බඳුන කැන්ගරුවන් අතට!

සාමාන්‍ය ටෙස්ට් තරගාවලියකට වඩා අතිශයින්ම……

මේ අයුරින් අළුබඳුන තරගාවලියක් ජය පරාජයෙන් තොරව අවසන් වන්නේ වසර 47කට පසුව, එනම් 1972 වර්ෂයෙන් අනතුරුව වීම විශේෂත්වයකි. ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එහි දී සිව්වැනි ඉනිමේ දැවැන්ත ලකුණු 399ක ඉලක්කයක් හඹා යාමට සිදු වූ අතර ඒ සඳහා සම්පූර්ණ දින දෙකක් ඉතිරිව පැවතුණි. 

නමුත් එංගලන්ත තණතිල්ලක මෙම වික්‍රමය සිදු කිරීමට තරම් ඕස්ට්‍රේලියානු පිතිකරණ බල ඇණිය ශක්තිමත් වූයේ නැත. එම කාර්යය ඔවුන්ට තවත් අසීරු වූයේ සිව්වැනි ඉනිම ආරම්භයේ දී ම මාර්කස් හැරිස් සහ ඩේවිඩ් වෝනර් යන ආරම්භක පිතිකරුවන් දෙදෙනාම අඩු ලකුණකට දවා ගැනීමට ස්ටුවර්ට් බ්‍රෝඩ් සමත් වීම හේතුවෙනි.

ඒ අනුව නැවතත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් තරගය දිනවා දීමේ වගකීම ස්ටීව් ස්මිත් වෙත පැවරුණු අතර ඊයේ දිනයේ ඔහු ලකුණු 23කට දැවී ගියේ බෙන් ස්ටෝක්ස් තම වම් පසට පනිමින් රැක ගත් වටිනා උඩපන්දුවක් නිසාවෙනි. 

සැබවින්ම ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙවර අළුබඳුන සංචාරයේ දැක්වූ දස්කම්වල මහා පොදු සාධකය ලෙස අවිවාදයෙන්ම හැඳින්විය හැකි ස්මිත් තරගාවලිය පුරාවට ලකුණු 774ක් රැස් කළේ අළුබඳුන ඉතිහාසයේ තරගාවලියක වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර පස්වැන්නා බවට පත් වෙමිනි. එම ලැයිස්තුවේ අංක 1ට සිටින්නේ ඩොන් බ්‍රැඩ්මන් (974) නම් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පුරාවෘත්තයයි.

ස්මිත්ගේ දැවී යාමෙන් පසු මැතිව් වේඩ් තම හුදකලා සටන ආරම්භ කරන්නේ ජොෆ්රා ආචර්ගේ පැයට කිලෝමීටර 150 ඉක්මවූ හී සැර වන් පන්දු යැවීම හමුවේයි. කෙසේ වෙතත් එම අභියෝගය ජය ගැනීමට සමත් වන ඔහු තම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව 117ක් දක්වා ඉහළ නංවා ගැනීමට සමත් විය. 

පන්දු 166කට පමණක් මුහුණ දුන් ඔහු එහි දී හතරේ පහර 17ක් සහ එක් හයේ පහරක් එල්ල කිරීමට සමත් විය. කෙසේ වෙතත් වේඩ් හැරෙන්නට අනෙක් කිසිදු පිතිකරුවෙකු සිව්වැනි ඉනිමේ දී සාර්ථක නොවීම නිසා ඕස්ට්‍රේලියානු ඉනිම අවසන් වූයේ ලකුණු 263කටයි.

සිරිමත් ගති නැති ක්‍රිකට් ක්‍රීඩාවේ හොලිවුඩ් තරුව

රන්වන් හිසකේ ඇති අප කතානායක ඕස්ට්‍රේලියානු …..

ඒ අනුව පස්වැනි සහ අවසන් ටෙස්ට් තරගය ලකුණු 135ක ජයක් එංගලන්තයට හිමිකර දෙමින් නිමා වන විට ස්ටුවර්ට් බ්‍රෝඩ් සහ ජැක් ලීච් කඩුලු 4 බැගින් තමන් අතරේ බෙදාගෙන අවසන්ව තිබුණි. ඒ අතරේ ඕස්ට්‍රේලියානු පිළට අවශ්‍යම කඩුල්ල වූ මැතිව් වේඩ්ව දවා ගැනීමට විශේෂඥ පන්දු යවන්නෙකු නොවන ජෝ රූට් සමත් විය. මේ අනුව වසර 18ක් තිස්සේ එංගලන්තයේ දී අළු බඳුන තරගාවලි ජයක් අපේක්ෂාවෙන් සිටින ඕස්ට්‍රේලියාවට මෙවරත් තම බලාපොරොත්තු බොඳ කර ගැනීමට සිදු විය.

මෙම තරගයේ කාසියේ වාසිය ඕස්ට්‍රේලියාව දිනා ගත් අතර මුලින් පන්දු යැවීමට ගත් තීරණය ද ඔවුන්ට අවාසියක් වූ බව පසුව පෙනෙන්නට තිබුණි. ඒ සිව්වැනි ඉනිමේ දී පීඩනය සහිතව පිතිකරණයේ යෙදෙන්නට ඔවුන්ට සිදුවීමත් සමඟයි. එංගලන්තය එහි දී ලකුණු 294ක් රැස් කරගෙන ඕස්ට්‍රේලියාවට පිතිකරණ අවස්ථාව ලබා දෙද්දී ඔවුන් ලකුණු 225කට තම සියලු කඩුලු අහිමි කර ගත්හ. ස්ටීවන් ස්මිත් එහි දී ලකුණු 80ක් රැස්කර ගනිද්දී ජොෆ්රා ආචර්ගේ වේගය හමුවේ පිතිකරුවන් සය දෙනෙකු මෙල්ල විය.

ඉන් අනතුරුව එංගලන්තය දෙවැනි ඉනිම සඳහා ලකුණු 329ක් රැස් කරගෙන ඕස්ට්‍රේලියාවට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 399ක අති දැවැන්ත ඉලක්කයක් ලබා දුන්හ. එහි දී තම මංගල ටෙස්ට් ශතකය පෙනෙන මානයේ දී දැවී ගිය ජෝ ඩෙන්ලි ලකුණු 94ක් රැස් කිරීමට සමත් විය. 

එංගලන්තය වෙනුවෙන් තරග දිනවන්නෙකු බවට පත්ව සිටින බෙන් ස්ටෝක්ස් දෙවැනි ඉනිමේ දී ලකුණු 67කුත්, පළමු ඉනිමේ දී ලකුණු 70කුත් රැස් කළේය. කෙසේ වෙතත් තරගයේ වීරයා ලෙස කඩුලු 6ක් බිඳ හෙලා එංගලන්තය ජයග්‍රහණයට පාර පෙන්වූ ජොෆ්රා ආචර් සම්මාන දිනා ගත්තේය.

දෙපසට දෝලනය වූ යොවුන් ආසියානු කුසලානය ඉන්දියාව ළඟ නතර වෙයි!

පෙරළිකාර සිදුවීම් රැසකින් සමන්විත වූ මෙවර යොවුන් ………

තරගාවලියේ වීරයා ලෙස කණ්ඩායම් දෙකෙන්ම ක්‍රීඩකයින් දෙදෙනෙකු නම් වූ අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් එම ගෞරවයට හිමිකම් කීමට තරග 4ක දී ඉනිම 7ක් පමණක් ක්‍රීඩා කරමින් ලකුණු 774ක් රැස් කළ ස්ටීවන් ස්මිත් සමත් විය. 

එංගලන්තය වෙනුවෙන් තරගාවලියේ වීරයා බවට පත්වූයේ ලීඩ්ස් හිදී පැවති තෙවැනි ටෙස්ට් තරගයේ දී සිව්වැනි ඉනිමේ ශතකයක් සමඟින් එංගලන්තයට එක් කඩුල්ලක තියුණු ජයක් හිමිකර දුන් බෙන් ස්ටෝක්ස්ටයි. 

මේ අනුව සමස්ත ක්‍රිකට් ලෝකයේම අවධානයට පාත්‍ර වූ, රසවත් සිදුවීම් රැසකින් සමන්විත අළුබඳුන ටෙස්ට් තරගාවලිය අවසන් වන විට ලෝක ටෙස්ට් ශූරතාවයේ ලකුණු 56 බැගින් ලබාගෙන සිව්වැනි සහ පස්වැනි ස්ථානවල රැඳී සිටින්නට ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය සමත්ව සිටියි. 

එම සටහනේ දෙවැනි සහ තුන්වැනි ස්ථාන ලකුණු 60 බැගින් හිමි කරගෙන සිටින නවසීලන්තයට සහ ශ්‍රී ලංකාවටත්, පළමු ස්ථානය ලකුණු 120ක් ලබා සිටින ඉන්දියාවටත් හිමිවී ඇත.

එංගලන්ත (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 294 (පන්දුවාර 87.1): ජෝස් බට්ලර් 70, ජෝ රූට් 57, රෝරි බර්න්ස් 47, ජොනී බෙයාස්ටෝ 22, මිචෙල් මාශ් 5/46, පැට් කමින්ස් 3/84, ජෝස් හැස්ල්වුඩ් 2/76.

ඕස්ට්‍රේලියා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 225 (පන්දුවාර 68.5): ස්ටීවන් ස්මිත් 80, මාර්නස් ල’බුශේන් 48, නේතන් ලයන් 25, මැතිව් වේඩ් 19, පීටර් සිඩ්ල් 18, ජොෆ්රා ආචර් 6/62, සෑම් කරන් 3/46.

එංගලන්ත (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 329 (පන්දුවාර 95.3): ජෝ ඩෙන්ලි 94, බෙන් ස්ටෝක්ස් 67, ජෝස් බට්ලර් 47, ජෝ රූට් 21, රෝරි බර්න්ස් 20, සෑම් කරන් 17, නේතන් ලයන් 4/69, මිචෙල් මාශ් 2/40, පීටර් සිඩ්ල් 2/52.

ඕස්ට්‍රේලියා (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 263 (පන්දුවාර 77): මැතිව් වේඩ් 117, මිචෙල් මාශ් 24, ස්ටීවන් ස්මිත් 23, ටිම් පේන් 21, මාර්නස් ල’බුශේන් 14, ජැක් ලීච් 4/49, ස්ටුවර්ට් බ්‍රෝඩ් 4/62, ජෝ රූට් 2/26.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<