ශ්‍රී ලංකා යෞවනයෝ බංග්ලාදේශයට පරාජය වෙයි

2
U19 Men’s Asia Cup 2026

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අද (7) සහභාගී වූ බංග්ලාදේශය හා සමඟ තරගයෙන් ලකුණු 45ක පරාජයකට මුහුණ දීමට සිදු වුණා.

ඕමානයේ Al Amerat ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 245ක් ලබා ගන්නවා.

ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 200ක් පමණයි.

>>ශ්‍රී ලංකා පොඩ්ඩෝ මැලේසියාව පරාජය කරමින් තරගාවලිය ආරම්භ කරයි

අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පෙර තරගය හා එක් වූ සනුල් වීරරත්න සහ ලතෙන්ද්‍ර ආකාශ් වෙනුවට කිත්ම විතානපතිරණ සහ ගිම්හාන් මෙන්ඩිස් එක් කර තිබුණා.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

විරාන් චමුදිත (නායක), රෙහාන් පීරිස්, සෙනුජ වැකුණගොඩ, කිත්ම විතානපතිරණ, ගිම්හාන් රසාංජන, චනිරු සේනාරත්න, ලිත්ම පෙරේරා (කඩුලු රකින්නා), කෞෂික කුමාරසිංහ, විග්නේශ්වරන් ආකාශ්, සෙත්මික සෙනෙවිරත්න සහ ගිම්හාන් මෙන්ඩිස්.

 

බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

Farid Hasan (නායක සහ කඩුලු රකින්නා), Abdullah Al Muhi, SK Jarif Siyam, Alamin Hossain Rony, Ahsan Al Mumin, Rakibul Hossan, Robiul Hasan Anik, Shakil Khan, Rubay Islam Rizon, Sheikh Atiqur Rahman සහ Tafiul Alam Tamim.

පරාජිත එම ඉනිමේ දී වැඩිම ලකුණුලාභියා වූයේ සෙනුජ වැකුණගොඩ. ඔහු පළමු කඩුල්ල දැවී යෑමෙන් පසුව පිටියට පිවිස ඉනිමේ 5 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 95කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 85ක් ලබා සිටියා.

ඔහු තම ඉනිම තුළ දී රෙහාන් පීරිස් (19) හා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 69ක දී ලකුණු 46ක සබඳතාවක් ද, ගිම්හාන් රසාංජන (16) හා එක් ව 4 වැනි කඩුල්ලට පන්දු 53ක දී ලකුණු 44ක සබඳතාවක් ද සහ චනිරු සේනාරත්න (13) හා එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 41ක දී ලකුණු 38ක සබඳතාවක් ද එක් කරනවා.

ඔවුන්ට අමතර ව ලිත්ම පෙරේරා පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 19ක් ලබා ගත්තා.

තවත් පන්දු 23ක් ඉතිරි ව තිබිය දී ශ්‍රී ලංකා ඉනිම නිමා වෙන අතර එහි දී Tafiul Alam Tamim, Sheikh Atiqur Rahman, Rubay Islam Rizon සහ Robiul Hasan Anik කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා. ඊට අමතර ව SK Jarif Siyam ට ද කඩුල්ලක් හිමි වූවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ ඉනිම ආරම්භ කළ Abdullah Al Muhi සහ SK Jarif Siyam එක් ව පළමු කඩුල්ලට පන්දු 40ක දී ලකුණු 41ක සබඳතාවක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ Abdullah Al Muhi ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 30ක් ලබා සිටියා.

බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ Ahsan Al Mumin හා එක් වු SK Jarif Siyam 3 වැනි කඩුල්ලට පන්දු 106ක දී ලකුණු 68ක සබඳතාවක් එක් කරනවා. SK Jarif Siyam පන්දු 83කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 59කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.

 Ahsan Al Mumin ඉනිමේ 6 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 98කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 82ක් ලබා සිටියා. ඔහු ඒ අතර කාලයේ දී නායක Farid Hasan (17) හා එක් ව සිව් වැනි කඩුල්ලට පන්දු 61ක දී ලකුණු 42ක සබඳතාවක් ද සහ Rakibul Hossan (11) හා එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 31ක දී ලකුණු 35ක සබඳතාවක් ද ගොඩ නැගුවා.

කඩුලු දවා ගැනීමේ දී දකුණතින් මඳ වේග පන්දු යැවූ සෙත්මික සෙනෙවිරත්න ලකුණු 52කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව වමතින් මඳ වේග පන්දු යවන ගිම්හාන් මෙන්ඩිස් ලකුණු 55කට කඩුලු 3ක් ද සහ කෞෂික කුමාරසිංහ ලකුණු 40කට කඩුලු 2ක් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 245 (49.4) Abdullah Al Muhi30,SK Jarif Siyam 59, Ahsan Al Mumin 82, සෙත්මික සෙනෙවිරත්න 4/52, ගිම්හාන් මෙන්ඩිස් 3/55, කෞෂික කුමාරසිංහ 2/40
  • ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 200 (46.1)රෙහාන් පීරිස් 19, සෙනුජ වැකුණගොඩ 85, ලිත්ම පෙරේරා 19, Tafiul Alam Tamim2/33, Sheikh Atiqur Rahman 2/28, Rubay Islam Rizon 2/42, Robiul Hasan Anik 2/35

බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 45ක ජයක්.

ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය නොවැම්බර් මස 9 වැනිදා ඇෆ්ගනිස්තානය සමඟින් මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<