ගාල්ල සහ කොළඹ දකුණ අවසන් මහා තරගයට අසුන් වෙන්කර ගනී

U 17 Sri Lanka Youth League Tournament 2026

2

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා ගාල්ල සහ කොළඹ දකුණ කණ්ඩායම් අද (27) සමත් වුණා.  

තරගාවලියේ අවසන් පූර්ණ වටයේ තරග අද අනුරාධපුරයේ දී නිමා වූ අතර එහි දී ගාල්ල කණ්ඩායම මහනුවර කණ්ඩායමට එරෙහි ව ජයග්‍රහණය කරමින් ද සහ කොළඹ දකුණ කණ්ඩායම දඹුල්ල කණ්ඩායම පරාජය කරමින් මෙම අවස්ථාවට සුදුසුකම් ලබා ගත්තා.  

එම තරගවල දී කොළඹ දකුණ කණ්ඩායමේ දුශේන් උඩවෙල සහ චෙනුක දොඩංගොඩ දඹුල්ල කණ්ඩායමට එරෙහි ව ශතක ලබා ගනිද්දී මහනුවර කණ්ඩායමේ යෙනුල හේවාවිතාරණ ද ශතක ලබා ගත්තා.  

එහි දී දුශේන් උඩවෙල පන්දු 127කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 106ක් ලබා ගත් අතර චෙනුක දොඩංගොඩ පන්දු 87කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 109ක් ලබා ගත්තා.  

මේ අතර මහනුවර කණ්ඩායමේ යෙනුල හේවාවිතාරණ ගාල්ල කණ්ඩායමට එරෙහි ව පන්දු 130කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සමඟින් ලකුණු 110ක් ලබා ගත්තා.  

ඔවුන්ට අමතර ව මුරලිතරන් අනීශ් (84), ගාල්ල කණ්ඩායමේ ගෙසඳු බිසස් (56), මානිත රාජපක්ෂ (72), මහනුවර කණ්ඩායමේ චනුල් කොඩිතුවක්කු (69) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.  

මේ අතර පන්දු යැවීමේ දී දඹුල්ල කණ්ඩායමේ උදයකුමාර් ශෙනෝන් (4/51), කොළඹ දකුණ කණ්ඩායමේ අදීශ ලක්ෂාන් (4/31), තිනුලක රාජපක්ෂ (4/53) දක්ෂ පන්දු යැවීම් හී නිරත වුණා.  

පැවැති තරගවල කෙටි ලකුණු පුවරු 

මහනුවර සහ ගාල්ල අතර තරගය අනුරාධපුර සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.  

  • මහනුවර වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – කඩුලු 8ක් දැවී 279 (50.0) යෙනුල හේවාවිතාරණ 110, චනුල කොඩිතුවක්කු 69, ශෂිත් බණ්ඩාර 27, රවීන් සචින්ත 3/39, චෙනුල් මින්ලක 3/39
  • ගාල්ල වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – කඩුලු 9ක් දැවී 280 (47.2) ලසිර ලක්දිනු 26, සඳරු මල්ශාන් 41, ගෙසඳු බිසස් 56, මානිත රාජපක්ෂ 72, රවින් සචින්ත නොදැවී 21, තිනුලක රාජපක්ෂ 4/53, යුමාල් එගොඩගේ 2/36 

ගාල්ල වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමට කඩුල්ලක ජයක්.  

කොළඹ දකුණ සහ දඹුල්ල අතර තරගය අනුරාධපුර සමාධී ක්‍රීඩාංගණයේ දී. 

  • කොළඹ දකුණ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 325 (50.0) දුශේන් උඩවෙල 106, ස්ටෙවෝන් පෙරේරා 20, චෙනුක දොඩංගොඩ 109, චමෝද් ප්‍රබාශ 2/37, කලිඳු සචින්තන 3/56, උදයකුමාර් ශෙනෝන් 4/51
  • දඹුල්ල වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – කඩුලු 8ක් දැවී 182 (50.0) මුරලිතරන් අනීශ් 84, අමල් පෙරේරා 36, කලිඳු සචින්තන 25, අදීශ ලක්ශාන් 4/31, සනුග දුල්මික 2/32

කොළඹ දකුණ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමට ලකුණු 143ක ජයක්.  

ගාල්ල සහ කොළඹ දකුණ කණ්ඩායම් අතර පැවැත්වෙන අවසන් මහා තරගය මේ මස 29 වැනිදා අනුරාධපුර සමාධී ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.  

වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<