බර ඉසිලීමේ පදක්කම් බලාපොරොත්තු කිහිපයක් බිඳ වැටෙයි

Commonwealth Games 2026

2
Commonwealth Games 2026

2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ තෙවැනි දිනයට අදාළ ව තරග ඉසව් රැසක් ඊයේ (26) දිනයේ දී ක්‍රියාත්මක වුනා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ද ක්‍රීඩක, ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු ම ඊයේ තරග බිමට පිවිසුණු නමුත්, ඔවුන්ට පදක්කම් බලාපොරොත්තු ඉටු කර ගැනීමට නම් හැකියාවක් ලැබුණේ නැහැ.

ඊයේ දිනයේ දී කාන්තා මීටර් 100 පිහිනුම් ඉසව්ව නියෝජනය කළ මිනගි රූපසිංහ විසින් තමන් සහභාගී වූ මූලික වටයේ දී මිනිත්තු 1.00.31ක කාලයක් වාර්තා කරමින් පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත් වූ නමුත්, ඉසව්වේ මූලික වටයේ සමස්ත ක්‍රීඩිකාවන් අතරින් ඇයට හිමි වුනේ 35 වැනි ස්ථානයයි.

මේ අතර පිරිමි බොක්සිං Bantamweight 55Kg බර පන්තිය යටතේ Round Of 16 තරගයකට සහභාගී වූ රුක්මල් ප්‍රසන්න විසින් එංගලන්ත ක්‍රීඩක Ellis Trowbridge හමුවේ 0-4ක පරාජයකට මුහුණ දුන්නා.

ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට පදක්කම් බලාපොරොත්තු තබා ගත හැකි බර ඉසිලීම තරග ඉසව් ද ඊයේ දිනයේ ආරම්භ වූ අතර, ඊයේ ශ්‍රී ලංකා නියෝජනයන් තුනක් තරග බිමට අවතීර්ණ වුනා.

පිරිමි 60Kg බර පන්තිය යටතේ අවසන් තරගයට සහභාගී වූ සුපුන් සෝමතිලක විසින් Snatch ක්‍රමය යටතේ 109Kg සහ Clean & Jerk ක්‍රමය යටතේ 135Kg ඔසවමින් සමස්ත බර 244kg එසවීමට සමත් වූ නමුත්, ඔහුට මෙම ඉසව්වේ සිව්වැනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමට සිදු වුනා.

මේ අතර කාන්තා 48Kg අවසන් තරගයට සහභාගී වූ උපමාලිකා ගුණතිලක Snatch ක්‍රමය යටතේ 70Kg ඔසවමින් තරගය ආරම්භ කිරීමට උත්සාහ කළත්, සිය උත්සාහයන් ත්‍රිත්වයම අසාර්ථක වීම නිසා ඇයට තරගය අවසන් කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ.

එමෙන්ම පිරිමි 65Kg අවසන් තරගය ද ඊයේ ක්‍රියාත්මක වූ අතර, එහි දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සඳූ ජයවර්ධන තරගයට අවතීර්ණ වුනා.

මෙහි දී ඔහු විසින් Snatch ක්‍රමය යටතේ 124Kg බරක් සහ Clean & Jerk ක්‍රමය යටතේ 151Kg බරක් ඔසවමින් මුළු බර 275Kg එසවීමට සමත් වූ නමුත්, ඔහුට මෙහි දී හිමි වුනේ 05 වැනි ස්ථානයයි.

ඒ අනුව ඊයේ දිනයේ දී ශ්‍රී ලංකාවට පදක්කමක් කරා යාමට තිබූ අවස්ථාව අහිමි වී යනවා.

තරගාවලියේ සිව්වැනි දිනට අදාළ තරග අද  (27) සවස ආරම්භ වීමට නියමිත අතර, අද දිනයේ සිට මලල ක්‍රීඩා ඉසව් ද ආරම්භ වීමට නියමිතයි.

අද දිනයේ ශ්‍රී ලංකා ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ගේ තරග කාල සටහන

බර එසවීම

  • පිරිමි 71Kg අවසන් තරගය – ඉන්දික දිසානායක – සවස 1.30

බොක්සිං

  • කාන්තා 51Kg – Round of 16 – නදීකා රණසිංහ – රාත්‍රි 10.30
  • පිරිමි 60Kg – Round of 16 – රවිඳු ජයනාත් – රාත්‍රි 11.15

පිහිනුම්

  • පිරිමි මීටර් 100 නිදහස් ආර – F.Muhammad – සවස 3.39

මලල ක්‍රීඩා

පිරිමි මීටර් 100 – සවස 2.40 සිට

  • Round 01 – Heat 03 – දිනෙත් ඉදුවර
  • Round 01 – Heat 08 – චමෝද් යෝධසිංහ

පිරිමි මීටර් 110 කඩුලු පැන දිවීම – සවස 3.55 සිට

  • Round 01 – Heat 01 – රොශාන් රණතුංග

පිරිමි උස පැනීම අවසන් තරගය – රාත්‍රි 11.40 සිට

තරිඳු දසුන්

පිරිමි මීටර් 110 කඩුලු පැන දිවීම අවසන් තරගය – අලුයම 2.15

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<