සංචාරක ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකාව වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පළමු සිව් දින යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ 2 වැනි දිනය අවසානයේ දී තම පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය යෞවනයෝ කිසිවෙක් නොදැවී ලකුණු 186ක් ලබා සිටියා.
ඒ සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු 424ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමිනුයි.
මෙම තරගය අද ආරම්භ වෙද්දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 344ක් ලබා සිටියා. ඒ වෙද්දී සෙනුජ වැකුණගොඩ නොදැවී ලකුණු 203ක් ද සහ චාමික හීනටිගල නොදැවී ලකුණු 33ක් ලබා සිටියා. ඔවුන් දෙදෙනා එක් ව එතෙක් 5 වැනි කඩුල්ලට පන්දු 129කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 70ක සබඳතාවක් එක් කර තිබූ අතර එය අද පෙරවරුවේ දී තවත් ලකුණු 41ක් එක් වෙද්දී නිමා වූවා.
දිනයේ පළමු ගොදුර බවට පත් වූයේ ද්විත්ව ශතකලාභී සෙනුජ වැකුණගොඩ. ඔහු දැවී යන විට පන්දු 267කට මුහුණ දෙමින් හතරේ පහර 33ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 233ක් ලබා සිටියා.
එය මෙරට යොවුන් ටෙස්ට් තරග ඉතිහාසයේ පිතිකරුවෙක් විසින් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් ඉතිහාසයට එක් වුණා. ඊට පෙර මෙම වාර්තාවේ හිමිකාරීත්වයේ සිටියේ යශෝධ ලංකා.
ඔහු 2011 වසරේ දී කොළඹ P. Sara Oval ක්‍රීඩාංගණයේ දී එංගලන්තයට එරෙහි ව පන්දු 297කට මුහුණ දෙමින් හතරේ පහර 24ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 213ක් ලබා ගනිමින් එතෙක් එම වාර්තාවේ රැඳී සිටියා.
සෙනුජ වැකුණගොඩ ගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ තෙවැනි පන්දුවේ දී චාමික හීනටිගල ද තම ඉනිම හැර යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 100කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 45ක් ලබා සිටියා.
ඔහු දැවී යද්දී ශ්‍රී ලංකා ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 387ක් ව තිබූ අතර ඊට පසුව ශ්‍රී ලංකා ඉනිමට එක් ලකුණක් පමණක් එක් වෙද්දී තවත් කඩුලු 3ක් බිඳ වැටෙනවා. ඊට රමිරු පෙරේරා (1), ජේසන් ප්‍රනාන්දු (0) සහ ලතෙන්ද්‍ර ආකාශ් (0) ඇතුලත් වුණා.
ඔවුන්ගේ දැවී යෑමෙන් අනතුරු ව පන්දු 22ක දී ලකුණු 36ක නොබිඳුණු සබඳතාවක් එක් කිරීමට දිමත් අබේසිංහ (නොදැවී 0) සහ ඔෂද මනහර සමත් වෙනවා. ඉන් ලකුණු 31ක් ම ලබා ගන්නේ අවසන් පිතිකරු ලෙසින් පිටියට පිවිසි ඔෂද මනහර වීම කැපි පෙණුණා. ඔහුගේ එම ඉනිම පන්දු 12කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් ඇතුලත් වුණා.
කඩුලු දවා ගැනීමේ දී Jeganathan Hemchudeshan ලකුණු 107කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව Priyanshu Singh සහ Kavya Paresh Patel කඩුලු 2ක් බැගින් ද, Yashbardhan Chauhan සහ Pranav Ragavendra කඩුල්ල බැගින් දවා ගත්තා.
- සෙනුජ වැකුණගොඩගෙන් ද්විත්ව ශතකයක්
- පියයුරු පිළිකාවට එරෙහි ජාතික හඬක් බවට පත් වන ක්‍රිකට් තරගය LPL Pink Match
තරගය 2 වැනි දිනයට නතර වෙද්දී Lakshya Raichandani පන්දු 136කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 93ක් ද සහ Sagar Virk පන්දු 215කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් නොදැවී ලකුණු 87ක් ලබා සිටියා.
ඔවුන් දෙදෙනාගේ සබඳතාව බිඳ දැමීමට ශ්‍රී ලංකා නායකයා පන්දු යවන්නෝ 7 දෙනෙක් ම යොද ගත්ත ද ඒ කිසිවෙක්ට සාර්ථක වීමට හැකි වෙන්නේ නැහැ.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 424 (106.4)සෙනුජ වැකුණගොඩ 233, විමත් දින්සර 52, කවිජ ගමගේ 49, චාමික හීනටිගල 45, ඔෂද මනහර නොදැවී 31, Kavya Paresh Patel2/67, Jeganathan Hemchudeshan 3/107, Priyanshu Singh 2/66
- ඉන්දීයවයස අවුරුදු 19න් පහළ කණ්ඩායම– පළමු ඉනිම කිසිවෙක් නොදැවී 186 (58.0) Lakshya Raichandani නොදැවී 93, Sagar Virk නොදැවී 87
ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 238ක් පිටුපසින්.
මෙම තරගය හෙට (15) 3 වැනි දිනයටත් පැවැත්වීමට නියමිතයි.
ඉන්දීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ මෙරට සංචාරයේ තවත් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















