ප්‍රංශය සහ මොරොක්කෝව අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

FIFA 2026

11
FIFA 2026

2026 පාපන්දු ලෝක කුසලානයේ 24 වැනි දිනයට අදාළ ව තරග ද්විත්වයක් ඊයේ (04) රාත්‍රියේ සහ අද (05) උදෑසන ක්‍රියාත්මක වුනා.

කණ්ඩායම් 16 තරග වටයට අදාළ තරග 08න් තරග ද්විත්වයක් මෙසේ ක්‍රියාත්මක වූ අතර, ඒවායින් ජය ලබා ගැනීමට ප්‍රංශය සහ මොරොක්කෝව සමත් වුනා.

මොරොක්කෝව සහ කැනඩාව

කැනඩාව තරගාවලියේ සත්කාරක දේශයක් ලෙස සිය උපරිමය ලබා දීමේ අරමුණින් පිටියට පිවිසෙමින් තරගයේ පළමු අර්ධය සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කිරීමට සමත් වුනා. පළමු අර්ධය තුළ මොරොක්කෝව තරමක පසුබෑමක් පෙන්නුම් කළ නමුත්, තරගයේ දෙවැනි අර්ධය අරම්භ වීමත් සමඟ මොරොක්කෝව සිය ප්‍රහාරය තවත් වේගවත් සහ ආක්‍රමණශීලී කිරීමට පියවර ගත් අතර, ඒත් සමඟම කැනඩාවේ බලය බිඳී යන අයුරු ද දක්නට ලැබුණා.

තරගයේ 50 වැනි මිනිත්තුවේ දී මොරොක්කෝව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට Azzedine Ounahi සමත් වූ අතර, තරගයේ 82 වැනි මිනිත්තුවේ දී ඔහු නැවතත් ක්‍රියාත්මක වෙමින් කණ්ඩායම වෙනුවෙන් සිය දෙවැනි ගෝලය ද වාර්තා කිරීමට සමත් වුනා. ඒත් සමඟ කැනඩාව තරගය නැවත සම කර ගැනීමට හෝ තම සියලු උත්සාහයක් දරන අවස්ථාවේ එහි වාසිය ලබා ගත් මොරොක්කෝ ක්‍රීඩක තරගයේ 90+8 මිනිත්තුවේ දී තරගයේ තෙවැනි ගෝලයත් වාර්තා කරමින් ජය තහවුරු කර ගැනීමට සමත් වුනා.

ඒත් සමඟින් ම මෙතෙක් ඉතිහාසය තුළ සිය සාර්ථකම ලෝක කුසලාන ගමන පැමිණි කැනඩාවට තරගාවලියෙන් ඉවත්ව යාමට සිදු වූ අතර, මොරොක්කෝව නොකඩවා දෙවැනි වරටත් ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටය දක්වා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

පැරගුවේ සහ ප්‍රංශය

මෙතෙක් තරගාවලිය තුළ ප්‍රංශය විසින් පවත්වා ගෙන ආ ආධිපත්‍යයට එල්ල වූ පළමු අභියෝගය පැරගුවේ කණ්ඩායම විසින් එල්ල කිරීමට සමත් වූ නමුත්, ඔවුන් එහි දී ප්‍රංශය අබිබවා යනවාට වඩා ශාරීරික වශයෙන් ප්‍රංශයට අභියෝග කිරීම තෝරා ගෙන තිබූ බව දක්නට ලැබුණා.

ඒ අනුව මෙම තරගයේ බොහෝ අවස්ථාවල දී ක්‍රීඩක ඇද වැටීම් සහ වාචික ගැටුම් දක්නට ලැබුණු අතර, තරගයේ පළමු අර්ධය තුළ ප්‍රංශයට එල්ල කිරීමට හැකි වුනේ දැල ඉලක්ක කළ එක් පහරක් පමණයි. නමුත් තරගයේ දෙවැනි අර්ධය තුළ ප්‍රංශය තවත් සංවිධානාත්මක ලෙස පැරගුවේ අභියෝගය බාර ගැනීමට සමත් වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස Kylian Mbappe හට තරගයේ 70 වැනි මිනිත්තුවේ දී දඬුවම් පහරක් එල්ල කිරීමට අවකාශය හිමි වුනා.

Mbappe විසින් දඬුවම් පහර සාර්ථක කර ගැනීමත් සමඟ ඔහුගේ සමස්ත ලෝක කුසලාන ගෝල සංඛ්‍යාව 19ක් කරා ඉහළ ගිය අතර, මෙවර තරගාවලිය තුළ ගෝල 07ක් වාර්තා කරමින් Messi හා සම තැන් ගැනීමට ද සමත් වුනා. ලෝක කුසලාන තරගාවලි දෙකක ගෝල 7ක් හෝ ඊට වැඩියෙන් වාර්තා කිරීම සමත් වී ඇත්තේ මොවුන් යුගලය පමණක් වීමත් විශේෂත්වයක්. එමෙන්ම මෙම ගෝලය ප්‍රංශය විසින් ලෝක කුසලාන ඉතිහාසය තුළ වාර්තා කළ 150 වැනි ගෝලය ලෙස ද සටහන් වුනා.

ඒත් සමඟ පැරගුවේ කණ්ඩායමෙන් එල්ල වූ දරුණු අභියෝගය ද මෙල්ල කරමින් තරගය ජය ගැනීමට ප්‍රංශය සමත් වූ අතර, මෙය ඔවුන් මෙවර ලෝක කුසලානය තුළ නොකඩවා ජය ගත් පස් වැනි තරගයයි.

මේ අනුව තරගාවලියේ 24 දිනය නිමා වන විට ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම් දෙකක් තෝරා ගෙන අවසන්. එම කණ්ඩායම් දෙක වන මොරොක්කෝව සහ ප්‍රංශය විසින් මෙවර ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයක් ක්‍රීඩා කිරීමට නියමිත අතර, එය 2022 ලෝක කුසලාන අවසන් පූර්ව තරගය නැවත සිහි ගැන්වීමක් ලෙසින් ද සැලකිය හැකි.

මේ අතර තරගාවලියේ 25 වැනි දිනය සඳහා හෙට (06) තවත් තරග ද්විත්වයක් පැවැත්වීමට නියමිතයි.

  • හෙට අලුයම 1.30 – බ්‍රසීලය සහ නෝර්වේ
  • හෙට උදෑසන 5.30 – එංගලන්තය සහ මෙක්සිකෝව

එම තරග තොරතුරු ද සමඟින් 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>