2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ හය වැනි දිනයට අදාළ ව තරග හතරක් අද (17) අලුයම පටන් ක්‍රියාත්මක වුනා.
මෙම තරගවල දී මේ වන විට ලොව ප්රබලතම පාපන්දු ක්‍රීඩකයින් ලෙස සැලකුම් ලබන ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ම තරග බිමට අවතීර්ණ වුනා. එමෙන්ම ඔවුන් එම තරගවල දී ඉතා ඉහළ දක්ෂතා දැක්වීමට ද සමත් වුනා.
ප්‍රංශය සහ සෙනගාලය
මෙම තරගයේ පළමු අර්ධයේ දී සෙනගාලය විසින් ප්‍රංශයට දරුණු අභියෝගයක් එල්ල කරමින් ඉහළ සටනක් ලබා දීමට සමත් වුනා. මෙහි දී සෙනගාලය විසින් ගෝල වාර්තා කිරීමට ලැබූ පහසු අවස්ථා මග හැර ගැනීම අවාසනාවට කරුණක්.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ දී ප්‍රංශය විසින් නැවත තරගයට අවතීර්ණ වුනා. මෙහි දී Kylian Mbappe විසින් තරගයේ 66 සහ 90+6 මිනිත්තු වල දී ගෝල වාර්තා කිරීමට සමත් වූ අතර, Bradley Barcola විසින් තවත් ගෝලයක් වාර්තා කිරීමට සමත් වුනා.
සෙනගාලය ද තරගයේ 90+5 මිනිත්තුවේ ගෝලයක් වාර්තා කළ නමුත් එය ඔවුන්ට තරගය ජය ගැනීමට ප්‍රමාණවත් වුනේ නැහැ.
Mbappe විසින් මෙම තරගයේ දී ගෝල ද්විත්වයක් වාර්තා කිරීමෙන් අනතුරුව පිරිමි පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ තරගවල එක් ගෝලයකට වඩා ලබා ගත් අවස්ථාව පහක් වාර්තා කිරීමට සමත් වී ඇති අතර, එම ලැයිස්තුවේ පෙරමුණේ පසු වන්නේ ද Mbappe වීම විශේෂත්වයක්.
එමෙන්ම මෙම තරගයේ දී ඔහු ප්‍රංශය වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර පාපන්දු ගෝල ලබාගත් ක්‍රීඩකයා (ගෝල 58ක්) මෙන්ම, ප්‍රංශය වෙනුවෙන් වැඩිම ලෝක කුසලාන ලැබූ ක්‍රීඩකයා බවට ද (ගෝල 14ක් සමඟ) පත් වීමට සමත් වුනා.
එමෙන්ම ඔහු පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභී ක්‍රීඩකයින් අතර 04 වැනි තැනට ද පත් වී තිබෙනවා.
ඉරාකය සහ නෝර්වේ
ඉරාකය විසින් 1986 වසරෙන් පසුව පාපන්දු ලෝක කුසලානයක් ක්‍රීඩා කළ පළමු අවස්ථාව සහ නෝර්වේ දේශය 1998 වසරෙන් පසුව ලෝක කුසලාන තරගයක් නියෝජනය කළ පළමු අවස්ථාව ලෙස මෙම තරගය ආරම්භ වුනා. එවන් ආරම්භයක් ලද මෙම තරගයේ පළමු ගෝලය නෝර්වේ වෙනුවෙන් Erling Haaland විසින් මෙම ගෝලය වාර්තා කළා.
එමෙන්ම ඉන් මොහොතකට පසුව ඉරාකය වෙනුවෙන් Aymen Hussein ගෝලයක් වාර්තා කිරීමට සමත් වූ අතර, Haaland විසින් ඉන් මොහොතකට පසුව තවත් ගෝලයක් වාර්තා කිරීමට සමත් වුනා.
මෙහි දී Hussein විසින් නැවත වරක් ගෝලයක් වාර්තා කිරීමට සමත් වූ නමුත්, මෙවර එය ඉරාකය වෙනුවෙන් වාර්තා වූ ගෝලයක් නොවීම විශේෂත්වයක්. එම ගෝලය Own Goal එකක් ලෙසින් නෝර්වේ ලකුණු පුවරුවට එක් වුනා.
ඒත් සමඟම එකම ලෝක කුසලාන තරගයක තම කණ්ඩායම සහ අනෙක් කණ්ඩායම වෙනුවෙන් ගෝල ද්විත්වයක් වාර්තා කළ තෙවැනි ක්‍රීඩකයා ලෙස Husseinගේ නම වාර්තා අතරට එක් වුනා.
එමෙන්ම ඔහු ඉරානය වෙනුවෙන් ලෝක කුසලාන ගෝලයක් වාර්තා කළ දෙවැනි ක්‍රීඩකයා ලෙස ද වාර්තා අතරට එක් වුනා.
කෙසේ වෙතත් මෙම තරගයේ දී වැඩි අවධානයක් හිමි වූ ක්‍රීඩකයා ලෙස Haaland හඳුන්වා දිය හැකි. නෝර්වේ මෙම තරගයෙන් 4-1ක් ලෙස ජය ලබද්දී, ඉන් ගෝල ද්විත්වයක්ම Haaland නම ඉදිරියෙන් සටහන් වූ අතර, මේ සමඟ නෝර්වේ වෙනුවෙන් වැඩිම ගෝල ලාභියා වාර්තාවත් සම කිරීමට Haaland සමත් වී තිබෙනවා.
එමෙන්ම නොර්වේ කණ්ඩායම මේ වන විට තරග 15ක් පරාජය වීම් වලින් තොරව ජය ගැනීමට සමත් වී ඇති අතර, එම සෑම තරගයක දීම Haaland විසින් ගෝල වාර්තා කිරීමට සමත් වී තිබීමත් සුවිශේෂී කරුණක්.
- SAFF U20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පාපන්දු සංචිතය නම් කරයි
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්‍රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
ආජන්ටිනාව සහ ඇල්ජීරියාව
වත්මන් ලෝක ශූරයින් විසින් මෙම තරගාවලියේ ක්‍රීඩා කරන පළමු තරගය වූ මෙහි දී වැඩිම අවධානයක් දිනා ගත් ක්‍රීඩකයා ලෙස Lionel Messi පිටියට අවතීර්ණ වුනා.
එමෙන්ම ඔහු විසින් මෙම තරගයේ දී අදහා ගත නොහැකි මට්ටමේ දක්ෂතාවක් දක්වමින් තරගයේ 17, 60 සහ 76 යන මිනිත්තුවල දී ගෝල වාර්තා කිරීමට සමත් වුනේ ආජන්ටිනාවට ඉතා පහසු ජයක් ද හිමි කර දෙමිනුයි.
මේත් සමඟම Messi විසින් ලෝක කුසලාන ඉතිහාසයේ සම වැඩිම ගෝල ලාභියා ලෙස ජර්මනියේ Miroslav Klose හා සම වෙමින් ගෝල 16ක් වාර්තා කිරීමට සමත් වී තිබෙනවා.
එමෙන්ම මෙහි දී Messi විසින් ලෝක කුසලාන ඉතිහාසයේ ගෝල ත්‍රිත්වයක් වාර්තා කළ වැඩිමහලු ම ක්‍රීඩකයා බවට පත් වීමට සමත් වූ අතර, මේ වන විට Messiගේ වයස අවුරුදු 38 දින 357ක් ලෙස සටහන් වනවා. එමෙන්ම මීට පෙර මෙම වාර්තාව සුපිරි පාපන්දු ක්‍රීඩක Cristiano Ronaldo සතු වුනා.
එමෙන්ම මේ වන විට Messi සතුව ලෝක කුසලාන ගෝල 16ක් සහ Assist 08 සමඟ සමස්ත ගෝල දායක වීම් 24ක් ඇති අතර, එය ද වාර්තාවක් ලෙසයි සටහන් වන්නේ. මීට පෙර එම වාර්තාව සුපිරි බ්‍රසීල ක්‍රීඩක Pele සතු වුනා.
එමෙන්ම Messi විසින් මෙම සියලු දක්ෂතා දැක්වීමට සමත් වුනේ සිය 200 වැනි ජාත්‍යන්තර තරගයේ දී වීමත් විශේෂත්වයක්.
ඔස්ට්‍රියාව සහ ජෝර්දානය
මෙම තරගයේ දී ඔස්ට්‍රියාව විසින් ගෝල 3-1ක් ලෙස ජය ගැනීමට සමත් වූ අතර, මෙහි දී ඔස්ට්‍රියාව වෙනුවෙන් වාර්තා වූ ගෝල ත්‍රිත්වයෙන් එකක් ජෝර්දාන් ක්‍රීඩක Yazan Al Arab විසින් වාර්තා කළ Own Goal එකක් ලෙස සටහන් වුනා.
මෙම තරගයත් සමඟ ඔස්ට්‍රියාව විසින් මෙතෙක් ලෝක කුසලාන ඉතිහාසයේ ක්‍රීඩා කළ එකදු තරගයක් හෝ 0-0ක් ලෙස ජය පැරදුමෙන් තොරව අවසන් කර නොමැති වීමත් විශේෂත්වයක්.
මේ අයුරින් හය වැනි දිනයට නියමිත තරග අවසන් වන අතර, තරගාවලියේ හත් වැනි දිනයට අදාළ තරග ද අද දිනයෙන් ම ආරම්භ වීමට නියමිතයි.
අද සහ හෙට දිනයේ පැවැත්වීමට නියමිත තරග:
- අද රාත්‍රි 10.30 – පෘතුගාලය සහ DR කොන්ගො
- හෙට අලුයම 1.30 – එංගලන්තය සහ ක්‍රොයේශියාව
- උදෑසන 4.30 – ඝානා සහ පැනමා
- උදෑසන 7.30 – උස්බෙකිස්තානය සහ කොලොම්බියාව
එම තරග තොරතුරු ද සමඟින් 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න<<






















