නව වාර්තා සහ බලාපොරොත්තු රැසක් සමඟ ආසියා යොවුන් මලල ක්‍රීඩා උළෙලට යන්න ශ්‍රී ලංකාවෙන් විශිෂ්ට තරගයක්!

Selection Trials For Asia U20 Athletics Championship 2026

6

ආසියානු 20න් පහළ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ක්‍රීඩක, ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ තරග පසුගිය අප්‍රේල් මස 01 සහ 02 යන දිනවල දී දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා. 

මෙහි දී ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සිය දක්ෂතා විදහා දක්වමින් ඉදිරි තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට සිය උපරිම උත්සාහ ලබා දුන් බව විශේෂයෙන් දක්නට ලැබුණා. 

මේ අතර පිරිමි මීටර් 400 ඉසව්වට සහභාගී වූ ක්‍රීඩකයින් විසින් කැපී පෙනෙන තරග කාල රැසක් සටහන් කිරීමට සමත් වුනා. 

මෙම ඉසව්ව ජය ගැනීමට ඔමෙල් ශසින්ත සමත් වූ අතර, ඔහුගේ තරග නිමි කාලය සටහන් වුනේ තත්පර 45.79ක් ලෙසයි. මෙය ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙස ද සටහන් වූ අතර, මීට පෙර ඔහු දක්වා තිබූ ඉහළම දක්ෂතාව සටහන් වුනේ තත්පර 46.17ක් ලෙසයි. එමෙන්ම ඉසව්වේ දෙවැනි ස්ථානය වාර්තා කළ සදෙව් රාජකරුණා තත්පර 46.39ක කාලයක් වාර්තා කළ අතර, තෙවැනි ස්ථානය ලැබූ තිසේන් රන්විදු තත්පර 46.83ක තරග නිමි කාලයක් වාර්තා කිරීමට සමත් වුනා. එමෙන්ම මෙම ඉසව්වේ සිව්වැනි ස්ථානය ලැබූ ඉරේෂ් බෝගොඩ තත්පර 47.45ක කාලයක් වාර්තා කිරීමට සමත් වූ අතර, මෙම සිව්දෙනා අතුරින් සදෙව් හැරුණු කොට අනෙක් තිදෙනා ම සිය පෞද්ගලික හොඳම කාල වාර්තා කිරීමට සමත් වීම විශේෂත්වයක්. 

ජාතික වාර්තා කිහිපයක් බිහි වෙයි 

මේ අතර කාන්තා මීටර් 1500 ඉසව්ව නියෝජනය කළ තරුෂි අභිෂේකා විසින් මිනිත්තු 4.28.35 කාලයක් වාර්තා කරමින් ඉසව්ව ජය ගැනීමට සමත් වූ අතර, මෙය නව 20න් පහළ ජාතික වාර්තාවක් ලෙස ද සටහන් වුනා. එමෙන්ම මෙම ඉසව්වේ 18න් පහළ වාර්තාව ද තරුෂි සතු වනවා. 

මේ අතර කාන්තා රිටි පැනීම ඉසව්ව නියෝජනය කළ පරන්තමන් අභිලාෂිනී විසින් මීටර් 3.50ක උසක් තරණය කරමින් නව 20න් පහළ ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් වූ අතර, මෙය වසර 10ක් පැරණි මීටර් 3.41 වාර්තාව අලුත් කිරීමට සමත් වුනා. 

මේ අතර පිරිමි යගුලිය විසි කිරීම ඉසව්ව නියෝජනය කළ හේසර ජයසිංහ විසින් මීටර් 16.92ක දුරක් වාර්තා කිරීමට සමත් වූ අතර, එය ඊට පෙර පැවති 20න් පහළ ජාතික වාර්තාව බිඳ හෙළීමට සමත් වුනා. 

මීට අමතරව සදෙව් රාජකරුණා විසින් මීටර් 200 අවසන් තරගයේ දී තත්පර 21.07 දක්ෂතාවක් සටහන් කිරීමට සමත් වූ අතරඑය ද නව කනිෂ්ඨ ජාතික වාර්තාවක් ලෙස සටහන් වුනා.  

ආසියානු පරිසාදන මට්ටම තරණය කළ ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 

පිරිමි: 

  • මීටර් 200 – ඔමෙල් ශසින්තසදෙව් රාජකරුණා  
  • මීටර් 400 – ඔමෙල් ශසින්තසදෙව් රාජකරුණාතිසේන් රන්විඳුඉරේෂ් බෝගොඩ, ඉරෝශ එදිරිසිංහ  
  • මීටර් 800 – G.L.N.D.ලියනගේ 
  • මීටර් 3000 – රාජේන්ද්‍රන් විදූශන් 
  • මීටර් 400 කඩුලු පැන දිවීම – නේත්‍ර චන්දූපකල්පනිත් උයන්වත්ත, M.A. රිෆායිල් 
  • උස පැනීම – නේත්‍ර චන්දූප 
  • දුර පැනීම – දීසර හේරත් 
  • තුන් පිම්ම – රවිශ්ක ප්‍රනාන්දු හන්සන ජයසිංහ 

කාන්තා: 

  • මීටර් 200 – හිරුපමා සිල්වා, රන්සිනී පෙරේරා 
  • මීටර් 1500 – තරුෂි අභිශේකා  
  • උස පැනීම – මිහින්සා අබේරත්න  

මෙම නම් සියල්ල තෝරා ගැනීම් තරග ප්‍රතිඵල සහ පරිසාදන මට්ටම් සලකා බලමින් ගොඩ නැගූ නම් පමණක් බවත්, මේ පිළිබඳ ඉදිරියේ දී නිල නිවේදනයක් මගින් දැනුම් දෙමින්, ආසියානු 20න් පහළ තරගාවලියට සුදුසුකම් ලද ක්‍රීඩකක්‍රීඩිකාවන් පිළිබඳ දැනුම් දීමක් සිදු කරනු ඇති බවත් විශේෂයෙන්ම සැලකිය යුතුයි. 

දෙස්විදෙස් මලල ක්‍රීඩාවේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<