2026 FIFA ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට නියමිත කණ්ඩායම් 48 මේ වන විට තෝරා ගෙන අවසන්.
පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම රටවල් ප්‍රමාණයක් සහභාගී වන තරගාවලිය මෙවර පැවැත්වීමට නියමිත අතර, මීට පෙර වසරවල දී තරගාවලියට කණ්ඩායම් 32 බැගින් සහභාගී වුනා.
1998 පාපන්දු ලෝක කුසලානයේ සිට කණ්ඩායම් 32ක් බැගින් සහභාගී වෙමින් ක්‍රියාත්මක වූ මෙම තරගාවලිය, මෙවර තවත් ප්‍රමාණයෙන් විශාල වූ නමුත්, සිව්වරක් ලෝක කුසලානය ජය ගැනීමට සමත් වී ඇති ඉතාලිය මෙවරත් ලෝක කුසලාන වරම් ලැබීමට අපොහොසත් වීම පිළිබඳ මේ වන විට මුළු ලෝකය පුරාම කතාබහක් නිර්මාණය වී අවසානයි.
ඉතාලියට මොකද වුනේ!
ඉතාලිය අවසන් වරට පාපන්දු ලෝක කුසලානයකට සහභාගී වන්නේ 2014 වසරේ දියි. නමුත් එවර ඔවුන්ගේ ලෝක කුසලාන ගමන මූලික වටයට පමණක් සීමා වුනා. එමෙන්ම 2010 වසරේ දී ද ඉතාලියට ලෝක කුසලානයේ මූලික වටයෙන් ම ඉවතට විසි වීමට සිදු වූ නමුත්, ඊට පෙර ක්‍රියාත්මක වූ 2006 පාපන්දු ලෝක කුසලානයේ ශූරතාව හිමි කර ගැනීමට සමත් වුනේ ඉතාලිය වීම විශේෂත්වයක්.
ප්‍රංශය සමඟ පැවැත්වුණු මතභේදකාරී අවසන් මහා තරගයෙන් ඉතාලිය ජය ලබමින් එවර ශූරයින් වූ අතර, ඉන් පසුව ඉතාලි පාපන්දුවේ ලෝක කුසලාන ගමන ශීඝ්‍ර පහත වැටීමකට ලක් වුනා.
මෙවර ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඉතාලියට තිබූ අවසන් අවස්ථාව පසුගිය අඟහරුවාදා (31) Bosnia and Herzegovina සමඟ පැවැත්වුණු තරගයෙන් ලැබූ පරාජයත් සමඟ අහිමි වී ගියා.
ඒ අනුව Bosnia and Herzegovina මෙවර ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ අතර, ඔවුන් සමඟ තවත් රටවල් 05ක් අවසාන කණ්ඩායම් ලෙස එදින ම ලෝක කුසලාන වරම් ලබා ගැනීමට සමත් වුනා.
එම රටවල් වනුයේ ස්වීඩනය, තුර්කිය, චෙක් ජනරජය, බොස්නියාව, කොංගෝ සහ ඉරාකයයි.
මෙම කණ්ඩායම්වල පැමිණීමත් සමඟ මෙවර ලෝක කුසලානයට සහභාගී වන කාණ්ඩ ද වෙන් වෙන් වශයෙන් සම්පූර්ණයෙන්ම ප්‍රකාශයට පත් වුනා.
ලෝක කුසලානයේ මූලික වටයට සහභාගී වන කණ්ඩායම් 48 සහ කාණ්ඩ මෙසේයි;
A කාණ්ඩය:
- Mexico
- South Korea
- South Africa
- Czechia
B කාණ්ඩය:
- Canada
- Switzerland
- Qatar
- Bosnia and Herzegovina
C කාණ්ඩය:
- Brazil
- Morocco
- Scotland
- Haiti
D කාණ්ඩය:
- USA
- Australia
- Paraguay
- Turkiye
E කාණ්ඩය:
- Germany
- Ecuador
- Ivory Coast
- Curacao
F කාණ්ඩය:
- Netherlands
- Japan
- Tunisia
- Sweden
G කාණ්ඩය:
- Belgium
- Iran
- Egypt
- New Zealand
H කාණ්ඩය:
- Spain
- Uruguay
- Saudi Arabia
- Cape Verde
I කාණ්ඩය:
- France
- Senegal
- Norway
- Iraq
J කාණ්ඩය:
- Argentina
- Austria
- Algeria
- Jordan
K කාණ්ඩය
- Portugal
- Colombia
- Uzbekistan
- DRC
L කාණ්ඩය:
- England
- Croatia
- Panama
- Ghana
මේ අතරින් මෙවර ලෝක කුසලානයට සුදුසුකම් ලබාගත් පළමු රට බවට පත් වීමට ජපානය සමත් වීම විශේෂත්වයක්.
2025 වසරේ මාර්තු 20වැනි දා ජපානය මෙවර ලෝක කුසලානයට සුදුසුකම් ලද පළමු රට බවට පත් වූ අතර, ඊට පෙර ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ මෙක්සිකෝව සත්කාරක රටවල් ලෙසින් නිතරගයෙන්ම තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට සමත් වී සිටියා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
ඉරානය ලෝක කුසලානයට යාවි ද?
කෙසේ වෙතත් මේ වන විට ඉරානය ආශ්‍රිතව ඇති වී තිබෙන යුදමය තත්ව යටතේ ඉරානය මෙවර ලෝක කුසලානයට සහභාගී වේද යන්න ගැටලුවක් ව පවතිනවා.
ඉරාන ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පසුගිය දිනෙක සඳහන් කර තිබුණේ ඉරාන ක්‍රීඩකයින්ට අවශ්‍ය ආරක්ෂාව ලබා දීමට නොහැකි බව හැඟවෙන රටවල ක්‍රීඩා තරග වෙනුවෙන් සහභාගී වීමට ඉරාන ක්‍රීඩකයින්ට අවස්ථාව නොලැබෙන බවයි.
කෙසේ වෙතත් එහි දී එළඹෙන ලෝක කුසලානය පිළිබඳ කිසිදු සඳහනක් කර තිබුණේ නැහැ. නමුත් මෙවර ලෝක කුසලාන සත්කාරකත්වය දරන ඇමරිකා එක්සත් ජනපදය ඉරානයේ සතුරු පාර්ශවයේ සිටින ප්‍රධානතම රටක් බව ලොවම දන්නා කරුණක්.
ඒ අනුව ඉරානය මෙවර ලෝක කුසලානයට සහභාගී වේද යන්න තවමත් විසඳී නොමැති ගැටලුවක් ලෙසයි පවතින්නේ.
මංගල ගමනට එන රටවල්
මේ අතරේ රටවල් හතරක් සිය මංගල ලෝක කුසලාන තරගාවලියට මෙවර එක් වනු ඇති.
Uzbekistan, Jordan, Cabo Verde සහ Curaçao මෙසේ සිය මංගල තරගයට සහභාගී වීමට සූදානමින් සිටින අතර, මේ අතරින් Cabo Verde පාපන්දු ලෝක කුසලානයකට සහභාගී වන කුඩාම රාජ්‍යයක් ලෙසත්, Curaçao ලෝක කුසලාන වරම් ලද ජනගහණය අතින් කුඩාම රාජ්‍යය ලෙසත් වාර්තා අතරට එක් වනවා.
අතීතය වෙනස් කළ රටවල්
මේ අතරේ ම වසර ගණනකට පසුව නැවත ලෝක කුසලාන වරම් ලද රටවල් කිහිපයක් ද මේ අතරේ රැඳීම විශේෂත්වයක්.
- හයිටි සහ කොන්ගෝ දේශය – මෙම රටවල් ද්විත්වයම අවසන් වරට ලෝක කුසලාන වරම් ලැබුවේ 1974 වසරේ වන අතර, ඔවුන් විසින් වසර 52කට පසුවයි නැවත ලෝක කුසලාන වරම් ලබාගන්නේ.
- ඉරාකය – ඉරාකය අවසන් වරට 1986 මෙක්සිකෝ ලෝක කුසලානයට සහභාගී වූ අතර, ඔවුන් ඒ අනුව වසර 40කට පසුව නැවත මෙක්සිකෝවේ දීම ලෝක කුසලානයකට සහභාගී වීමට නියමිතයි. එමෙන්ම මෙවර ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ අවසන් රට ලෙසත් ඉරාකයේ නම සටහන් වීම විශේෂත්වයක්.
- නෝර්වේ, ඔස්ට්‍රියාව සහ ස්කොට්ලන්තය – මෙම රටවල් ත්‍රිත්වයම අවසන් වරට ලෝක කුසලානයකට සහභාගී වුනේ 1998 වසරේ දී වන අතර, ඔවුන් නැවත වසර 28කට පසුව ලෝක කුසලාන වරම් ලබනවා.
- තුර්කිය – තුර්කිය අවසන් වරට ලෝක කුසලාන වරම් ලබන්නේ 2002 වසරේ දී වන අතර, එවර ඔවුන් තරගාවලියේ තෙවැනි ස්ථානය පවා දිනා ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් එතැනි පසුව තුර්කියට නැවත ලෝක කුසලානයක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වන්නේ වසර 24කට පසුවයි.
අමතර කරුණු
මෙවර ලෝක කුසලාන තරගාවලිය එළඹෙන ජුනි මස 12 වැනි දා ආරම්භ වීමට නියමිත අතර, මෙහි දී මෙක්සිකෝව සහ දකුණු අප්‍රිකාව ආරම්භක තරගය වෙනුවෙන් තරග වැදීමට නියමිතයි.
එමෙන්ම පෙර සඳහන් කළ පරිදි මෙවර ලෝක කුසලානය රටවල් ත්‍රිත්වයක සත්කාරකත්වයෙන් යුතුව ක්‍රියාත්මක වන අතර, එවන් අවස්ථාවක් සනිටුහන් වන පළමු පාපන්දු ලෝක කුසලානය වන්නේ ද මෙයයි.
එමෙන්ම මෙක්සිකෝවේ Estadio Azteca ක්‍රීඩාංගණය තුළ මෙවර ද ලෝක කුසලාන තරග පැවැත්වීමට නියමිත අතර, මීට පෙර 1970 සහ 1986 වර්ෂ වල දී ද මෙම ක්‍රීඩාංගණයේ ලෝක කුසලාන තරග ක්‍රියාත්මක වුනා.
පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ එවන් සිදුවීමක් වාර්තා වන්නේ ද පළමු වතාවට වීම විශේෂත්වයක්.
2026 පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් ThePapare විශේෂ ලිපි රැසක් ඔබට රැගෙන ඒමට සූදානමින් පසු වනවා. එම තොරතුරු ද ඇතුළුව දෙස්, විදෙස් පාපන්දු පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<





















