මොරටු මහා විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය අතර 74 වැනි වරටත් පැවැති මොරටු රන් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය මෙවරත් විසඳුමකින් තොරව අවසන් වූවා. ඒ අනුව දෙවිදුහල් රන් සටන් ඉතිහාසයේ විසඳුමකින් තොරව අවසන් වූ තරග ප්‍රමාණය 59ක්.
මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී නිමා වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් මොරටු විද්‍යාලයීය නායකයා පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තා.
ශ්‍රී සුමංගල විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
මෙවිඳු කුමාරසිරි (නායක), පංසිළු සිල්වා, විදුර බාසුරු, සංදීප් විජේරත්න, නේක්ෂ ඉද්දමල්ගොඩ, උමන්ත ආකාශ් (කඩුලු රකින්නා), බිහඟ සිල්වා, සදික දම්යුරු, දිනූෂ දුලාංජන, මෙතුම් ප්‍රනාන්දු සහ සිහස් නෙත්දිනු.
මොරටු මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
සංජන සෙනෙවිරත්න (නායක), දෙනෙත් සිතුමිණ (කඩුලු රකින්නා), ඕෂඳ ජයවික්‍රම, විසල් සිරිවර්ධන, දිනරු ප්‍රනාන්දු, සිතුම් සිල්වා, සඳුන් සුවාරිස්, සවිඳු පෙරේරා, සත්සර මිහිරංග, මේනුක කොතලාවල සහ නිපුන කරුණාරත්න.
ප්‍රතිවාදී නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී සුමංගල විද්‍යාලය තම පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 408ක් ගන්නවා. එම ඉනිම වෙනුවෙන් නේක්ෂ ඉද්දමල්ගොඩ සහ සන්දීප් විජේරත්න ශතක ලබා ගැනීමට සමත් වීම කැපී පෙණුනා.
නේක්ෂ ඉද්දමල්ගොඩ පන්දු 124කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 136ක් ද සහ සංදීප් විජේරත්න පන්දු 183කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 116ක් ලබා ගන්නවා.
ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට ලකුණු 99ක සබඳතාවක් ද එක් කරනවා.
සංදීප් විජේරත්න 2 වැනි කඩුල්ල වෙනුවෙන් විදුර බාසුරු හා එක් ව ලකුණු 136ක සබඳතාවක් ද එක් කරන අතර එහි දී විදුර බාසුරු පන්දු 181කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 77ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී සඳුන් සුවාරිස් සහ මෙනුක කොතලාවල කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ඊට අමතර ව සවිඳු පෙරේරා, සත්සර මිහිරංග සහ දිනරු ප්‍රනාන්දු කඩුල්ල බැගින් බෙදා ගත්තා.
පිළිතුරු ඉනිමට පිටියට පිවිසි මොරටු මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 272ක් ලබා ගන්නේ ශතක ද්විත්වයක් ද තම ඉනිමට එක් කර ගනිමින්.
මොරටු මහා විද්‍යාලයීය ඉනිම ආරම්භ කළ දෙනෙත් සිතුමිණ සහ ඔෂඳ ජයවික්‍රම පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 222ක සබඳතාවක් එක් කිරීමට සමත් වෙනවා.
එහි දී දෙනෙත් සිතුමිණ පන්දු 193කට මුහුණ දෙමින් හතරේ පහර11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 105ක් ලබා සිටිය දී පළමු කඩුල්ලට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සඳතාව බිඳී යනවා.
ඔහුගේ දැවී යෑමෙන් තවත් ලකුණු 9ක් මොරටු මහා විද්‍යාලයීය ලකුණු පුවරුවට එක් වෙද්දී ඔෂඳ ජයවික්‍රම ලකුණු 117කට දැවී යනවා. ඔහු දැවී යන විට පන්දු 224කට මුහුණ දී සිටි අතර ඊට හතරේ පහර 12ක් සහ හයේ පහර 5ක් ද එක් කර තිබුණා.
ඔවුන් දෙදෙනාගේ දැවී යෑමෙන් අනතුරු ව ඉතිරි කඩුලු 8 ලකුණු 41ක් තුළ දවා ගැනීමට ශ්‍රී සුමංගල විද්‍යාලයීය පන්දු යවන්නෝ සමත් වෙනවා.
එහි දී වමතින් දඟ පන්දු යැවූ නායක මෙවිඳු කුමාරසිරි ප්‍රතිවාදී ඉනිමේ පන්දුවාර ප්‍රමාණයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක පන්දු යවමින් ලකුණු 107කට කඩුලු 7ක් දවා ගනිමින් තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා.
ඉතිරි කඩුලු ත්‍රිත්වයේ හිමිකාරීත්වය බිහඟ සිල්වා සතුවෙනවා.
- සාන්ත සර්වේශස්වරුන් වසර 55කට පසුව මාතොට නිල් සටන දිනයි
- විසඳුමක් නැති සුනිල සංග්‍රාමයට වාර්තා රැසක්
- නවසීලන්ත A කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට දින නියම වෙයි
- අස්ගිරිය ගිනියම් වෙයි, කන්ද උඩරට නිල් සටනේ ජය ත්‍රිත්ව විද්‍යාලයට
- හික්කඩුව සුමංගලයන්ගේ විජයග්‍රාහී වික්‍රමාන්විතය
ලකුණු 136ක් ඉදිරියෙන් සිටිමින් 2 වැනි ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී සුමංගල විද්‍යාලය එවර කඩුලු 2ක් දැවී ලකුණු 134ක් ලබා ගනිමින් ඉනිම අත් හිටුවනවා. එම ඉනිමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 40ක් වෙද්දී අහිමි වූව ද 2 වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 94ක සබඳතාවක් එක් කිරීමට පළමු ඉනිමේ අර්ධ ශතකලාභී විදුර බාසුරු සහ පළමු ඉනිමේ ශතකලාභි නේක්ෂ ඉද්දමල්ගොඩ සමත් වෙනවා.
ඉනිම අත්හිටුවන විට විදුර බාසුරු පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 60ක් ද සහ නේක්ෂ ඉද්දමල්ගොඩ පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 54ක් ලබා ගන්නවා.
ඉනිමේ දැවී ගිය කඩුලු ද්විත්වයේ හිමිකාරීත්වය දිනරු ප්‍රනාන්දු සතු වෙනවා.
ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 271ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි මොරටු මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුල්ලක් දැවී ලකුණු 97ක් ලබා සිටියා.
එම ඉනිමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් පළමු ඉනිමේ ශතකලාභී දෙනෙත් සිතුමිණ පන්දු 82කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 51ක් ද සහ ඔෂඳ ජයවික්‍රම පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 41ක් ද ලබා ගන්නවා.
ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට ලකුණු 87ක් ලබා ගන්නා ලද අතර ඉනිමේ දැවී ගිය එක ම කඩුල්ලේ හිමිකාරීත්වය මෙවිඳු කුමාරසිරි සතු වෙනවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ශ්‍රී සුමංගල විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 408 (100.1) පසිඳු සිල්වා 34, විදුර බාසුරු 77, සංදීප් විජේරත්න 116, නේක්ෂ ඉද්දමල්ගොඩ 136, උමන්ත ආකාශ් 21, මෙනුක කොතලාවල 2/78, සඳුන් සුවාරිස් 2/12
මොරටු මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 272 (107.3) දෙනෙත් සිතුමිණ 105, ඔෂඳ ජයවික්‍රම 117, මෙවිඳු කුමාරසිරි 7/107, බිහඟ සිල්වා 3/50
ශ්‍රී සුමංගල විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 134 (21.0) විදුර බාසුරු නොදැවී 60, නේක්ෂ ඉද්දමල්ගොඩ නොදැවී 54, දිනරු ප්‍රනාන්දු 2/49
මොරටු මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 97 (27.1) දෙනෙක් සිතුමිණ නොදැවී 51, ඔෂඳ ජයවික්‍රම 41
තරගයේ විසඳුමක් නෑ.
- තරගයේ දක්ෂතම පන්දු රකින්නා – සදික දම්යුරු (ශ්‍රී සුමංගල විද්‍යාලය)
- තරගයේ දක්ෂතම පන්දු යවන්නා – මෙවිඳු කුමාරසිරි (ශ්‍රී සුමංගල විද්‍යාලය)
- තරගයේ දක්ෂතම පිතිකරු – දෙනෙත් සිතුමිණ (මොරටු මහා විද්‍යාලය)
- තරගයේ වීරයා – නේක්ෂ ඉද්දමල්ගොඩ (ශ්‍රී සුමංගල විද්‍යාලය)
දෙවිදුහල් අතර පැවැත්වෙන වාර්ෂික එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය මේ මස 29 වැනිදා මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















