ගාලු ආදරවන්තයෝ නැවත හමුවෙයි

121st Battle of the Lovers

2
121st Battle of the Lovers

1876 වසරේ දී රිච්මන්ඩ් කඳු මුදුණේ ඉදිවූ රිච්මන්ඩ් විද්‍යාලයත් සහ 1892 වසරේ දී දවටගහවත්ත කඳු මුදුණේ ඉදිවූ මහින්ද විද්‍යාලයත් අතර 121 වැනි වරටත් පැවැත්වෙන දකුණුලක “ආදරවන්තයන්ගේ සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 19, 20 සහ 21 තෙදින ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

1905 වසරේ දී සිට පැවැත්වෙන ආදරවන්තයන්ගේ සටන් ඉතිහාසයේ මෙතෙක් වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් වාර්තා කරගෙන සිටින්නේ රිච්මන්ඩ් විද්‍යාලයයි. ඔවුන් මෙතෙක් තරග 24ක් ජයග්‍රහණය කරෙගන ඇති අතර මහින්ද විද්‍යාලය තරග අවස්ථා 23ක දී ජයග්‍රහණ ලබා තිබෙනවා. තරග 67ක් නොවිසඳුණ තරග ලෙසත් සහ 1910, 1911, 1912, 1942, 2020 සහ 2021 වසර 6 දී විවිධ හේතූන් මත ආදරවන්ත තරග පවත්වා නැහැ.

තරග ඉතිහාසයේ අවසන් වරට ජයග්‍රාහකයන් වි සිටින්නේ රිච්මන්ඩ් විද්‍යාලයයි. ඔවුන් 2019 වසරේ තරගය ජයග්‍රහණය කරමින් ආදරවන්තයන්ගේ කුසලානය මේ දක්වා රිච්මන්ඩ් කන්දේ රඳවා ගෙන තිබෙනවා. මහින්ද විද්‍යාලය අවසන් වරට ජයග්‍රහණයක් ලබා තිබෙන්නේ 2008 වසරේ දී යි.

රිච්මන්ඩ් විද්‍යාලය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩාමට මෑත කාලීන ව වැඩිම ක්‍රීඩකයන් ප්‍රමාණයක් බිහි කර ඇති රිච්මන්ඩ් විද්‍යාලයීය නාමය මේ වෙද්දී ක්‍රිකට් පිටියේ කොතැනකත් කියවෙන්නක් බවට පත් ව තිබෙනවා.

වර්තමාන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා, ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ සහ විස්සයි විස්ස කණ්ඩායමේ  හිටපු නායක චරිත් අසලංක මෙන් ම හිටපු ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ හිටපු නායක වනිඳු හසරංග මෙන් ම කමිඳු මෙන්ඩිස්, ධනංජය ලක්ෂාන් වැන්නෝ ද රිච්මන්ඩ් ධජය යටතේ ආදරවන්තයන්ගේ සටනට එක් වු සටන් සගයන්.

ඊට අමතර ව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක සුරංග ලක්මාල්, චම්පක රාමනායක සහ චමිල ගමගේ වැන්නෝ ද මාටින් ද සිල්වා වැනි පැරණි ක්‍රිකට් ක්‍රීඩකයෝ ද, ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන් ලෙසින් කටයුතු කරන ධම්මික සුදර්ශන, අනිල් රිදීගම්මනගෙදර සහ උමේෂ් විජේසිරිවර්ධන වැනිනෝ මෙන් ම පර්සි අබේසේකර ද ගෞරවනීය රිච්මන්ඩ්වරුන්.

එමෙන් ම මෙරට පළමු පෙළ ක්‍රිකට් පිටිය නියෝජනය කරන ඉරෝෂ් සමරසූරිය, පබසර වඩුගේ, ඒ. කේ. ටිරෝන්, සිතාර ගිම්හාන්, ටිලංග උදේශන, තවීෂ අභිශේක්, තරිඳු නිර්මාල් වැන්නෝ ද ආඩම්බරකාර රිච්මන්ඩ්වරුන් අතර සිටිනවා.

ඒ ආඩම්බරයත් සමඟින් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ Tier A කාණ්ඩය නියෝජනය කළ රිච්මන්ඩ් විද්‍යාලය මෙවර නිමා වූ තරග වාරයේ දී තරග 12කට සහභාගී වෙනවා.

ඒ අතුරින් කැළණිය ගුරුකුල විද්‍යාලය, මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය, මාතර සාන්ත තෝමස් විද්‍යාලය, කොළඹ වෙස්ලි විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලයට එරෙහි ව පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කරමින් තරග අවසන් කිරීමට ඔවුන් සමත් වෙනවා.

පැවැති අනෙක් තරගවල දී  මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙතින් පූර්ණ තරග පරාජයක් සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය, කොළඹ සාන්ත පීතර විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලයෙ සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය වෙතින් ලත් පළමු ඉනිමේ පරාජයන් සමඟින් අවසන් කරන එම තරගවලට අමතර ව  කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සමඟ තරගය විසඳුමකින් තොරව අවසන් කරනවා.

එලෙසින් ආ ගමනේ දී රිච්මන්ඩ් විද්‍යාලයීය නායක වෙබින් ජයවර්ධන තරග 13ක දී අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 535ක් ලබා ගනිමින් විශ්වසනීය පිතිකරුවෙක් ලෙසින් කණ්ඩායම මෙහෙයවනවා

කණ්ඩායමේ උප නායකත්වය හිමි ව ඇත්තේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ටෙනුශ නිම්සර වෙතයි. ඔහු මෙවර පාසල් තරග වාරය නිමා කරන්නේ තරග 13කට සහභාගී වෙමින් ඉනිම 13ක දී ශතකයක් සහ අර්ධ ශතක ත්‍රිත්වයක් සමඟින් ලකුණු 445ක් ලබා ගනිමින් ද සහ කඩුලු 26ක් ද තම ගිණුමට එක් කර ගනිමිනුයි.

රිච්මන්ඩ් විද්‍යාලයීය පිතිකරු ලැයිස්තුවේ පළමු වැනියා බවට පත් ව ඇත්තේ අමීෂ රසාංජන යි. ඔහු තරග 13ක දී ශතක 2ක් සහ අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 626ක් ලබා ගනිමින් මෙම අසුනට හිමිකම් කියනවා.

ඔවුන්ට අමතර ව රිසිනු රූපසිංහ ද රිච්මන්ඩ් විද්‍යාලයීය පිතිකරු ලැයිස්තුවේ විශේෂ අවධානයට ලක් වූ ක්‍රීඩකයෙක් ලෙසින් දැක් වෙනවා. ඔහු නිමා කළ ඉනිම 13 දී අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 540ක් ලබා සිටිනවා.

ඊට අමතර ව  කණ්ඩායමට එක් ව සිටින අනෙක් ක්‍රීඩකයන් අතර ලකුණු 273ක් සහ කඩුලු 39ක් ලබා සිටින මිනඟ ආරියදාස සහ ලකුණු 265ක් සහ කඩුලු 34ක් ලබා සිටින නෙතුජ භාෂිත තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයන් ලෙසින් වර්ගීකරණයට ලක් ව ප්‍රතිවාදීන් හමුවේ තම බලය පෙන්විමට බලාපොරොත්තුව සිටිනවා.

රිච්මන්ඩ් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම:

Richmond College

බෙවින් ජයවර්ධන (නායක), ටෙනුශ නිම්සර (උප නායක), නෙතුල් භාෂිත, රවිනු රන්දිනු, හිරුක අකලංක, දහම් සත්සර, අමීෂ රසාංජන, චලිඳු කරුණාරත්න, පුනාල් හංසජිත්, රනිඳු ද සිල්වා, ටෙනුර ඩයස්, විහඟ ඉඳුසර, ශෙවන් ද සොයිසා, නෙත්සර ආකාශ්, මිනඟ ආරියදාස, සහ සෙනුක් දුල්මෙත්.

නිලධාරීන්

 

රුසිරු මද්දුමහේවගේ (විදුහල්පති), පී. ඒ. ධර්මරත්න (සහාය විදුහල්පති), චමිත් වික්‍රමසිංහ (ක්‍රිකට් භාර ආචාර්ය), මහේෂ් සඳරුවන් (ප්‍රධාන පුහුණුකරු), සිදත් ප්‍රියංකර (සහාය පුහුණුකරු), අවිඳු තීක්ෂණ (සහාය පුහුණුකරු), ලහිරු මදුවන්ත (සහාය පුහුණුකරු),

මහින්ද විද්‍යාලය

වසර 125ක් අභිබවා ගිය ගෞරවනීය අතීතයක් හිමි කීර්තිමත් පාසලක් වන මහින්ද විද්‍යාලයිය ක්‍රිකට් ඉතිහාසය ද සුවිශේෂයි. එහි සැරිසැරීමේ දී හමුවෙන්නන් අතර ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් නායක මාවන් අතපත්තු සහ ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායක ලසිත් මාලිංග ද වෙනවා.

ඔවුන්ට අමතර ව ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන්, ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවන්, පළමු පෙළ ක්‍රිකට් පිටියේ පෙරළිකාරයන් සේ ම ක්‍රිකට් පරිපාලකයන් රැසකගේ ද ක්‍රිකට් ආරම්භය වී ඇත්තේ මහින්ද විද්‍යාලයයි.

එම ලැයිස්ව ඩග්ලස් ඩයස් ජයසිංහ සහ ප්‍රේමචන්ද්‍ර ද සිල්වා වැනි පැරැන්නෝ ද  උපුල් චන්දන, තීක්ෂිල ද සිල්වා, අතුල සමරසේකර, ජයනන්ද වර්ණවීර, ඩී. එස්. ද සිල්වා, ස්ටැන්ලි සිල්වා, උපුල් සුමතිපාල, ගජබා පිටිගල, ඒ. ජේ. සමරසේකර, දිලීප වික්‍රමසිංහ, දුමින්ද වික්‍රමසිංහ, රොමේෂ් බුද්ධික, දෙනුවන් රාජකරුණා, කෞෂල්‍ය ගජසිංහ, නිසල තාරක සහ නවෝද් පරණවිතාන වැන්නන්ගෙන් සමන්විතයි.

එවන් අතීත ක්‍රීඩකයන්ගෙන් සමන්විත වූ මහින්ද විද්‍යාලය මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියේ දී පළමු කොටසේ Tier A කාණ්ඩය නියෝජනය කරමින් තරග 12කට සහභාගී වී ඇති අතර එහි දී කොළඹ ලුම්බිණි විද්‍යාලයට එරෙහි ව ලත් ජයග්‍රහණයක් සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයට එරෙහි ව පළමු ඉනිමේ ජයග්‍රහණය ද ලබා ගනිමින් අවසන් කරනවා.

මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය වෙතින් පූර්ණ තරග පරාජයකට මුහුණ දෙන ඔහු කුරුණෑගල මලියදේව විද්‍යාලය, කොළඹ මහානාම විද්‍යාලය, මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය වෙතින් පළමු ඉනිමේ පරාජයන්ට මුහුණ දෙමින් ද තරග අවසන් කරනවා.

මෙලෙසින් අවසන් කළ තරගාවලියේ මහින්ද විද්‍යාලයීය කණ්ඩායමේ නායකත්වය හිමි ව ඇත්තේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන අරෝෂ උදයංග යි. ඔහු මෙම තරගය හා එක් වෙන්නේ අර්ධ ශතකක් සමඟින් ලකුණු 222ක් ද සහ වමතින් දඟ පන්දු යවමින් කඩුලු 21ක් ද ලබා ගනිමිනුයි.

කණ්ඩායමේ උප නායක ආරම්භක දකුණත් පිතිකරු දුල්සිත් දර්ශන මහනුවර ධර්මරාජ විද්‍යාලයට එරෙහි ව ලබා ගන්නා ලද ලකුණු 122ක් සහ තවත් අර්ධ ශතක ද්විත්වයක් ද සමඟින් ලකුණු 578ක් ලබා ගනිමින් විශ්වසනීය පිතිකරුවෙක් බවට පත් ව සිටිනවා.

කෙසේ වෙතත් කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වී සිටින්නේ ආරම්භක පිතිකරු තෙවිඳු රශ්මික යි. ඔහු මෙම තරග සමයේ දී කොළඹ නාලන්දා විද්‍යාලයට එරෙහි ව ලකුණු 155ක් ද සහ කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයට එරෙහි ව ලකුණු 125ක් ද සහ තවත් අර්ධ ශතක 4ක් ද සමඟින් ලකුණු 680ක් ලබා සිටිනවා.

එමෙන් ම කණ්ඩායමේ අනෙක් ආරම්භක පිතිකරු වන, කඩුලු රැකීමේ අත් ආවරණ ද හිමි රන්දුල මාබරණ ද විශ්වසනීය පිතිකරුවෙක් බවට පත් ව සිටිනවා. ඔහු ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහි ව ලබා ගන්නා ලද ලකුණු 115ක් සහ තවත් අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 629ක් ලබා ගනිමින් මෙම ලැයිස්තුවේ 2 වැනියා බවට පත් ව සිටිනවා.

ඔවුන්ට අමතර ව කොළඹ නාලන්දා විද්‍යාලයට එරෙහි ව ලකුණු 175ක් සමඟින් තවත් අර්ධ ශතකක් සමඟින් ලකුණු 463ක් ලබා සිටින දිනෙත් පැහැසර ද මහින්ද විද්‍යාලයීය පිතිකරු ලැයිස්තුව ශක්තිමත් කරන පිතිකරුවෙක් ලෙසින් හැඳින්වෙනවා.

කණඩායමේ සිටින වඩාත් විශ්වසනීය තුන් ඉරියව්  ක්‍රීඩකයා බවට පත් ව ඇත්තේ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩාය ද නියෝජනය කළ මානිත රාජපක්ෂ යි.

ඔහු පිතිකරුවෙක් ලෙසින් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 326ක් ද සහ දකුණතින් පිට දඟ පන්දු යවමින් කඩුලු 52ක් ද ලබා සිටිමින් මෙම තරගය හා එක් වෙනවා. ඒ අතර කඩුලු 5ක් ලබා ගැනීමේ අවස්ථා 6ක් ද සහ තරගයේ දී කඩුලු 10කට වඩා ලබා ගත් අවස්ථා 2ක් ද වාර්තා කිරීමට ඔහු සමත් ව සිටිනවා.

ඊට අමතර ව සෙහස් ආශිංස ද දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් හැඳින්වෙනවා. දකුණතින් පන්දුවට පහර දෙන ඔහු ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහි ව ලබා ගත් ලකුණු 124ක් ද සහ අර්ධ ශතක 2ක් ද සමඟින් ලකුණු 396ක් ලබා සිටින අතර දකුණතින් පා දඟ පන්දු යවමින් කඩුලු 26ක් ද ලබා සිටිනවා. ඊට කඩුලු 5ක් ලබා ගැනීමේ අවස්ථා ද්විත්වක් ද සහ තරගයේ කඩුලු 10ක් ලබා ගැනීමේ අවස්ථාවක් ද ඔහු සතු වෙනවා.

 ඊට අමතර ව ගෙසඳු බිසස් සේ ම කවිඳු නිම්සර ද හැඳින්වෙන්නේ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙසයි. කණ්ඩායමේ සිටින ලාබාලත ම ක්‍රීඩකයා වන ගෙසඳු බිසස් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 372ක් ද සහ කඩුලු 11ක් දවා ගනිමින් ද සහ කවිඳු නිම්සර අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 220ක් ද සහ කඩුලු 14ක් ද ලබා ගනිමින් ද පෑ දක්ෂතාත් සමඟින් ආදරවන්තයේ ගැටුම එක් වෙනවා.

මහින්ද විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

Mahinda College

අරෝෂ උදයංග (නායක), දුල්සිත් දර්ශන (උප නායක), රුවින්ද දේශාන්ජන, කවිඳු නිම්සර, බුද්ධිම තරුපති, නවිරු නිශිත, කවීෂ ගිත්මාල්, සෙස් ආශිංස, තියෝන් හේලික, මානිත රාජපක්ෂ, සදෙව් නෙත්මිණ, තෙවිඳු රශ්මික, රන්දුල මාබරණ, විශ්මිත සත්සර, ගෙසඳු බිසස්, දිනෙත් පැහැසර සහ මංදිත් මනෝදර.

නිලධාරීන්

ජනක පේදුරුහේවා (විදුහල්පති), එම්. පී. වීරමන් (නියෝජ්‍ය විදුහල්පති – ක්‍රීඩා), එම්. ඩබ්ලිව්. අජිත් (ක්‍රීඩා භාර ආචාර්ය), වයි. නිශාන්ත කුමාර (ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් භාර ආචාර්ය), අජන්ත කුමාර (ප්‍රධාන පුහුණුකරු), ජගත් සමරකෝන් (කනිෂ්ඨ ක්‍රිකට් භාර ආචාර්ය), සචිත් ලක්මාල් (සහාය පුහුණුකරු).

121 වැනි ආදරවන්තයන්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයට එක් වෙන රිච්මන්ඩ් විද්‍යාලයීය සහ මහින්ද විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩකයන්ට ThePapare.com හී සුබ පැතුම්!

දෙවිදුහල් අතර පැවැත්වෙන එක්දින සීමිත පන්දුවාර වාර්ෂික ක්‍රිකට් තරගය මේ මස 27 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ම පැවැත්වීමට නියමිතයි.

ආදරවන්තයන්ගේ ගැටුමේ පන්දුවෙන් පන්දුව උණුසුම ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව වන ThePapare 2 නාලිකාව ඔස්සේ Dialog TV චැනල් 127 සුසර කර ගැනීමෙන් සජීවී ව නැරඹිය හැකි අතර ඊට අමතර ව Dialog ViU app සහ ThePapare.com වෙතින් ද නැරඹිය හැකියි.

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<