Moors සහ Colts ජයග්‍රහණ ලබා ගනී

Major Club 03 Day League Tournament 2025

2
Major Clubs 3 Day Super 8

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ 2 වැනි සතියේ  3 වැනි දිනය නිමා වෙද්දී Moors සහ Colts කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වෙනවා.

>>ලහිරු සහ ධනංජය ද්විත්ව ශතකලාභීන්ගේ ලැයිස්තුවට<<

Police SC සහ NCC අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – NCC

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි NCC ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 631ක් ලබා ගෙන සිටිය දී ඉනිම අත්හිටුවනවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Police කණ්ඩායම් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලබා ගන්නේ සියලුම දෙනා දැවී ලකුණු 237ක් පමණයි. එම ඉනිමේ අද දැවී ගිය ක්‍රීඩකයන් අතර ඉහළ ම ලකුණු ලබා ගත් පිතිකරු බවට පත් වූයේ සුපුන් මදුශංක. ඔහු ඉනිම අවසන් වන විට පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 44ක් ලබා ගත්තා.

ඊට අමතර ව රශ්මික හිරුශාන් පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 40ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී කවිඳු පතිරත්න ලකුණු 32කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව චාමික කරුණාරත්න සහ ශක්ති උදාර කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නවා.

ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 394ක් පිටුපස සිටිමින් පිට පිට පන්දුවට පහර දීමට පිටියට පිවිසි  Police ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 206ක් ලබා සිටියා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ රශ්මික හිරුශාන්. ඔහු තරගය අවසන් වෙද්දී පන්දු 118කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 70ක් ලබා සිටියා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ වාර්තා කරන ලද ඉහළ ම ඉනිමයි.

ඔහුට අමතර ව පියුමාල් පෙරේරා සහ නායක අශේන් බණ්ඩාර ලකුණු 34ක් බැගින් ද සහ දුලාශ් උදයංග ලකුණු 31ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී ශක්ති උදාර ලකුණු 56කට කඩුලු 4ක් දවා ගත් අතර ඊට අමතර ව සහන් ආරච්චිගේ සහ චාමික ගුණසේකර කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • NCC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 631 (125.5) පැතුම් නිස්සංක 77, ලහිරු උදාර 261, නිරෝෂන් දික්වැල්ල 35, කමිල් මිෂාර නොදැවී 149, අහන් වික්‍රමසිංහ 44, සහන් ආරච්චිගේ 22, චාමික කරුණාරත්න නොදැවී 22, දිලුම් සුදීර 5/211, සුපුන් මදුශංක 2/116
  • Police SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 237 (52.0) අවිශ්ක තරිඳු 29, ධනුජ ඉඳුවර 45, දුලාශ් උදයංග 47, රශ්මික හිරුශාන් 40, සුපුන් මදුශංක නොදැවී 44, චාමික කරුණාරත්න 2/49, කවිඳු පතිරත්න 4/32,
  • Police SC – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 206 (53.0) දුල්ශාන් උදයංග 31, ප්‍රියමාල් පෙරේරා 34, අශේන් බණ්ඩාර 34, රශ්මික හිරුශාන් නොදැවී 70, ශක්ති උදාර 4/56

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය NCC කණ්ඩායමට)

CCC සහ BRC අතර තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – BRC

ප්‍රතිවාදීන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත් CCC  ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 532ක් ලබා ගනිමින් ඉනිම අත් හිට වනවා.

ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි BRC ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලබා ගන්නේ සියලුම දෙනා දැවී ලකුණු 243ක් පමණයි.

ඔවුන් එම ඉනිම අද ආරම්භ කරන්නේ කඩුලු 7ක් දැවී ලකුණු 124ක් ලබා සිටියදීයි. එම ඉනිම වෙනුවෙන් අද දවසේ දී යසිරු රොද්‍රිගෝ සහ මර්වින් අභිනාශ් අර්ධ ශතක ඉනිම් වාර්තා කළා. එහි දී යසිරු රොද්‍රිගෝ පන්දු 154ට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 59ක් ද සහ මර්වින් අභිනාශ් පන්දු පන්දු 138කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 55ක් ද ලබා ගන්නවා.

ඔවුන් දෙදෙනා එක් ව 8 වැනි කඩුල්ලට පන්දු 243ක දී ලකුණු 90ක සබඳතාවක් එක් කරනවා.

කඩුලු දවා ගැනීමේ දී නිශාන් පිරිස් ලකුණු 66කට කඩුලු 6ක් දවා ගන්නා ලද අතර ඊට අමතර ව විශ්ව ප්‍රනාන්දු සහ සොනාල් දිනූෂ කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නවා.

ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 289ක් පිටුපසින් සිටිමින් පිට පිට 2 වැනි වරටත් පන්දුවට පහර දීමට පිටියට පිවිසි BRC ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 65ක් ලබා සිටියා.

එම ඉනිම වෙනුවෙන් ගජිත කොටුවේගොඩ පන්දු 85කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී චමිඳු විජේසිංහ සහ සොනාල් දිනූෂ කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • CCC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 532 (116.2) දුල්නිත් සිගේරා 81, ලසිත් කෲස්පුල්ලේ 37, ධනංජය ද සිල්වා 204, අංජල බණ්ඩාර නොදැවී 151, යසිරු රොද්‍රිගෝ 2/69, මර්වින් අබිනාශ් 3/118
  • BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 243 (41.3) රිසිත් උපමාල් 35, රමින්ද විජේසූරිය 35, යසිරු රොද්‍රිගෝ 59, මර්වින් අබිනාශ් 55, විශ්ව ප්‍රනාන්දු 2/36, නිශාන් පීරිස් 6/66, සොනාල් දිනූෂ 2/52
  • BRC – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 65 (29.0) ගජිඳු කොටුවේගොඩ 34

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය CCC කණ්ඩායමට)

  • Colts CC සහ Ace Capital CC අතර තරගය කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Colts CC

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Ace Capital ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 290ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි Colts ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 282ක් ලබා ගත්තා.

ලකුණු 8ක වාසියක් ද සමඟින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි Ace Capital ක්‍රීඩකයෝ එම ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 169ක් ලබා ගන්නවා. ඒ අනුව තරගයේ ජයග්‍රහණ වෙනුවෙන් ලකුණු 178ක හඹා යන ඉනිමකට පිටියට එක් වෙන Colts ක්‍රීඩකයෝ කඩුලු 3ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගන්නවා.

එම ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් සහ සංගීත් කුරේ සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 69ක දී ලකුණු 84ක සබඳතාවක් එක් කරනවා.

දිනේෂ් චන්දිමාල් පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 45කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.

අනතුරු ව ලකුණු පුවරුව 116ක් වෙද්දි සංගීත් කුරේ ද පිටියෙන් ඉවත් වෙනවා. ඒ වෙද්දී ඔහු පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 52ක් ලබා සිටියා.

Colts කණ්ඩායම ජයග්‍රහණය කරන විට ඇන්ජලෝ මැතිව්ස් පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 48ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී වනුජ සහන් කඩුලු 2ක් ද සහ රොශාන් ජයතිස්ස කඩුල්ලක් ද දවා ගන්නවා.

අද දවස ආරම්භ වෙන්නේ Ace Capital කණ්ඩායම කිසිවෙක් නොදැවී ලකුණු 11ක් ලබා සිටියදීයි. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් තම 2 වැනි ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 169ක් ලබා ගන්නවා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ රනේෂ් සිල්වා. ඔහු පන්දු 101කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 50ක් දවා ගන්නවා. ඊට අමතර ව ආරම්භක පිතිකරු පවන්ත වීරසිංහ පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 35ක් ද, කවිඳු කුලසේකර පන්දු 115කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 34ක් ද සහ ඉනිම අවසන් වන විට රවීන් ද සිල්වා පන්දු 47කට මුහුණ දෙමින් නොදැවී ලකුනු 22ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී අකිල ධනංජය ලකුණු 69කට කඩුලු 7ක් දවා ගත් අතර ඊට අමතර ව දුනිත් වෙල්ලාලගේ කඩුලු 2ක් ද සහ සංගීත් කුරේ කඩුල්ලක් ද දවා ගත්තා. මෙම තරගයේ දී අකිල ධනංජය ලකුනු 144කට කඩුලු 11ක දවා ගනිමින් දක්ෂතා දක්වනවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Ace Capital CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 290 (77.3) පවන්ත වීරසිංහ 61, නිමේෂ ගුණසිංහ 20, කවිඳු අමන්ත 26, රනේෂ් සිල්වා 42, කවිඳු කුලසේකර 61, රවීන් ද සිල්වා නොදැවී 35, ඉසිත විජේසුන්දර 21, උදිත් මදුශාන් 2/54, දුනිත් වෙල්ලාලගේ 2/48, අකිල ධනංජය 4/75
  • Colts CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 282 (77.1) සංගීත් කුරේ 27, ධනංජය ලක්ෂාන් 46, ඇන්ජලෝ මැතිව්ස් 63, දුනිත් වෙල්ලාලගේ 60, මුදිත ලක්ෂාන් 54, ඉසිත විජේසුන්දර 4/47, චමෝද් බට්ටගේ 3/57
  • Ace Capital CC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 169 (62.4) පවන්ත වීරසිංහ 35, රනේෂ් සිල්වා 50, කවිඳු කුලසේකර 34, රවීන් ද සිල්වා නොදැවී 22, අකිල ධනංජය 7/69, දුනිත් වෙල්ලාගේ 2/37
  • Colts CC – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 178 (26.3) දිනේෂ් චන්දිමාල් 45, සංගීත් කුරේ 52, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 48, වනුජ සහන් 2/73

Colts කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

Moors SC සහ Bloomfield C & AC අතර තරගය Colts ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Bloomfield C & AC

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Bloomfield කණ්ඩායම තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 229ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි  Moors ක්‍රීඩකයෝ තම පළමු ඉනිම සියලුම දෙනා දැවි ලකුණු 322ක් ලබා ගත්තා.

මෙම තරගය අද ආරම්භ වෙන්නේ තම දෙවැනි ඉනිමට ක්‍රීඩා කළ Bloomfield ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 40ක් ලබා සිටියදීයි. ඔවුන් එම ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 152ක් ලබා සිටිය දී ඉනිම අත්හිටුවමින් ප්‍රතිවාදී Moors කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 147ක් ඉලක්කයක් ලබා දෙනවා.

එම ඉලක්කය ඔවුන් කඩුලු 6ක් දැවී ලබා ගන්නවා. එම ඉනිමේ කඩුලු 6ක් ලකුණු 107කට දැවී ගොස් තිබිය දී පෙර ඉනිමේ දී සේ ම පිටියට එක් වූ නායක රමේෂ් මෙන්ඩිස් සහ මිලාන් රත්නායක තරගය ජයග්‍රහණය කරා රැගෙන ගියේ නොදැවුණ 7 වැනි කඩුල්ලට පන්දු 48ක දී ලකුණු 45ක සබඳතාවක් එක් කරමිනුයි.

එහි දී රමේෂ් මෙන්ඩිස් පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ ජයග්‍රාහි හයේ පහර ද සමඟින් නොදැවී ලකුණු 25ක් ලබා ගත් අතර මිලාන් රත්නායක පන්දු 27කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 18ක් ලබා සිටියා.

ඊට පෙර Moors ඉනිම වෙනුවෙන් සදීර සමරවික්‍රම පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 34ක් ද, සොහාන් ද ලිවේරා පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 34ක් ද සහ ජනිශ්ක පෙරේරා පන්දු 17ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 20ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී රවිඳු ප්‍රනාන්දු කඩුලු 3ක් ද, දුවිඳු තිලකරත්න කඩුලු 2ක් ද සහ ජෙෆ්රි වැන්ඩර්සේ කඩුල්ලක් ද දවා ගත්තා.

අද දවස ආරම්භ කළ Bloomfield කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ ජනිත් ලියනගේ. ඔහු පන්දු 108කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 83ක් ලබා ගත්තා. හදිසියේ ම ඉනිම අත්හිටුවීම හේතුවෙන් ජනිත් ලියනගේ ට තම පළමු පෙළ 10 වැනි ශතකය දක්වා යෑමට තිබූ අවස්ථාව අහිමි වූවා.

ඔහුට අමතර ව රොන් චන්ද්‍රගුප්ත පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 71ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී නායක රමේෂ් මෙන්ඩිස් ලකුනු 85කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවිම වාර්තා කළ අතර ඊට අමතර ව ඉම්තියාස් ස්ලාසා කඩුලු 2ක් ද දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Bloomfield C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 229 (84.5) අසිත වන්නිනායක 36, ජනිත් ලියනගේ 32, තරිඳු හර්ෂණ 59, ජෙෆ්රි වැන්ඩර්සේ 63, චානුක ඩිල්ශාන් 4/67, ඉම්තියාස් ස්ලාසා 2/42
  • Moors SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 322 (86.0) සොහාන් ද ලිවේරා 43, ශෙහාන් ප්‍රනාන්දු 32, රමේෂ් මෙන්ඩිස් 96, මිලාන් රත්නායක 75, දුවිඳු තිලකරත්න 3/69, ජනිත් ලියනගේ 4/44
  • Bloomfield C & AC – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 239 (53.0) කසුන් අබේරත්න 21, රොන් චන්ද්‍රගුප්ත 71, ජනිත් ලියනගේ නොදැවී 83, ඉම්තියාස් ස්ලාසා 2/33, රමේෂ් මෙන්ඩිස් 4/85
  • Moors SC – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 152 (32.5) ජනිශ්ක පෙරේරා 20, සදීර සමරවික්‍රම 34, සොහාන් ද ලිවේරා 26, රමේෂ් මෙන්ඩිස් නොදවැී 25, මිලාන් රත්නායක නොදැවී 18, දුවිඳු තිලකරත්න 2/35, රවිඳු ප්‍රනාන්දු 3/72

Moors කණ්ඩායමට කඩුලු 4ක ජයක්.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<