හික්කඩුව සුමංගලයන්ගේ විජයග්‍රාහී වික්‍රමාන්විතය

U19 School Cricket 2026

9

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇතිව සංවිධානය කරන ලද අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ දෙවැනි පෙළ Tier B කොටසේ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය පසුගියදා සමත් වූවා.  

මෙම තරගයේ ප්‍රතිවාදීන් වූයේ හේනේගම මධ්‍ය මහා විද්‍යාලයයි. ඔවුන්ට එරෙහි ව ලකුණු 133ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී සුමංගල විද්‍යාලය සමත් වෙනවා.  

හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලයේ ජයග්‍රාහී ගමන් මඟ 

  ප්‍රතිවාදීන්  තරගයේ ප්‍රතිඵලය 
1  කෑගලු විද්‍යාලය, කෑගල්ල   ශ්‍රී සුමංගල විද්‍යාලයට කඩුලු 8ක ජයක්.  
2  රේවත විද්‍යාලය, බලපිටිය  ශ්‍රී සුමංගල විද්‍යාලයට කඩුලු 8ක ජයක්.  
3  මධ්‍ය මහා විද්‍යාලය, අනුරාධපුරය  තරගයේ විසඳුමකක් නෑ.  
4  හේනේගම මධ්‍ය මහා විද්‍යාලය  තරගයේ විසඳුමක් නෑ. 
  අර්ධ අවසන් පූර්ව වටය 
5  පී. ද එස්. කුලරත්න විද්‍යාලය, අම්බලන්ගොඩ  ශ්‍රී සුමංගල විද්‍යාලයට ලකුණු 126ක ජයක්.  
  අවසන් පූර්ව වටය 
6  ක්‍රිස්තු රාජ විද්‍යාලයජා ඇල   ශ්‍රී සුමංගල විද්‍යාලයට ලකුණු 54ක ජයක්.  
  අවසන් මහා තරගය 
7  හේනේගම මධ්‍ය මහා විද්‍යාලය  ශ්‍රී සුමංගල විද්‍යාලයට ලකුණු 133ක ජයක්.  

ඔවුන් මෙම තරගාවලියේ ජයග්‍රහණය කරා පැමිණි ගමනේ දී ඉනිම වැඩිම ලකුණු ලබා ගන්නේ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලයට එරෙහිවයි. ඔවුන් එම තරගයේ දී සියලුම දෙනා දැවී ලකුණු 294ක් ලබා ගන්නා ලද අතර එම තරගයෙන් ලකුණු 126ක ජයග්‍රහණයක් ද ලබා ගන්නවා.  

කෙසේ වෙතත් ඔවුන් තරගාවලියේ ලබා ගත් ඉහළ ම ජයග්‍රහණය වාර්තා කරන්නේ අවසන් මහා තරගයේ ප්‍රතිවාදීන් වු හේනේගම මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායමට එරෙහිව වීම විශේෂත්වයක්. ඔවුන් එම තරගයෙන් ලකුණු 133ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.  

ශ්‍රී සුමංගල විද්‍යාලය ඉදිරියේ අඩු ම ලකුණු ප්‍රමාණයකට දැවී ගිය කණ්ඩායම බවට පත් වූයේ ජා ඇල ක්‍රිස්තු රාජ විද්‍යාලයයි. මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති එම තරගයේ දී ඔවුන් පන්දුවාර 23.2ක දී ප්‍රතිවාදීන් ලකුණු 72කට සීමා කරනවා. 

එලෙස නිමා වූ තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වූයේ කෞශල්‍ය සාරංග. ඔහු තරග 6ක දී ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 244ක්. එම ලකුණු අතරට අර්ධ ශතක ඉනිම් 3ක් එක් කිරිමට ද ඔහු සමත් වෙනවා.  

ඒ අතුරින් ඔහුගේ හොඳම ඉනිම බවට පත් වෙන්නේ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලයට එරෙහි ව පන්දු 94කට මුහුණ දෙමින් ලබා ගන්නා ලද ලකුණු 84යි. එම ලකුණු අතරට හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් එක් කිරීමට ද ඔහු සමත් වෙනවා.  

ඊට අමතර ව බලපිටිය රේවත විද්‍යාලයට එරෙහි ව පන්දු 32කට මුහුණ දෙමින් ලකුණු 51ක් ද සහ අවසන් මහා තරගයේ දී පන්දු 106කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 71ක් ද ලබා ගන්නවා.  

ඔහුට අමතර ව කණ්ඩායමේ අනෙක් කැපී පෙණෙන පිතිකරු වූයේ තරුන් දම්සිත් ද සිල්වා. ඔහු තරග 6ක දී ලකුණු 197ක් ලබා ගනිමින් මෙම දක්ෂතාව දක්වනවා. එහි දී ඔහු තරගයක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 49.25ක් ලෙස පවත්වාගෙන යෑමට ද සමත් වෙනවා. 

ඔහුගේ එම ක්‍රියාන්විතයේ දී අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලය සමඟ පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේ දී පන්දු 116කට මුහුණ දෙමින් ලකුණු 118ක් ලබා ගන්නා ලද අතර ඔහු එම ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 8ක් ද එක් කිරිමට සමත් වෙනවා.  

ශ්‍රී සුමංගල විද්‍යාලයීය ජයග්‍රහණයේ වැඩිම කඩුලුලාභියා වෙන්නේ වමතින් දඟ පන්දු යැවූ ශනුක දෙනුවන් ද සිල්වා. ඔහු තරග 7ක දී කඩුලු 25ක් දවා ගන්නවා. එහි දී බලපිටිය රේවත විද්‍යාලයට එරෙහි ව කඩුලු 6ක් දවා ගන්නා ලද අතර එය ඔහු මෙවර තරගාවලියේ වාර්තා කරන ලද ඉහළ ම දක්ෂතාව බවට ද පත් වුණා. 

ඊට අමතර ව අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලයට එරෙහි ව කඩුලු 5ක්, අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට එරෙහි ව කඩුලු 4ක්, කෑගලු විද්‍යාලයට සහ ක්‍රිස්තු රාජ විද්‍යාලයන්වලට එරෙහි ව කඩුලු 3ක් බැගින් ද දවා ගනිමින් දක්ෂතා දක්වනවා.  

ඔහුට අමතර ව අවසන් මහා තරගයේ දී කඩුලු 3ක් සමගින් තරගාවලියේ දී කඩුලු 11ක් දවා ගත් සංජන නෙතුපුල් ද, තරගාවලියේ කඩුලු 10ක් දවා ගත් තරුන් දම්සිත් සහ කඩුලු 8ක් දවා ගත් ලතීන්ද්‍ර ආකාශ් ද මෙම ජයග්‍රහණයට පන්දු යවන්නන් ලෙසින් වැඩි දායකත්වයක් දැක් වූවන් ලෙසින් දැක් වෙනවා. 

 ශ්‍රී සුමංගල විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම 

 චමත්ක කවිශාන් (නායක), තරුන් දම්සිත් ද සිල්වා (උප නායක), ශනුක දෙනුවන් ද සිල්වා, කෞශල්‍ය සාරංග, පමෝද් හිම්සර සසිඳු, ජමිත් මදුභාෂණ, ලතීන්ද්‍ර ආකාශ්, පවනි නිරුක්ෂාන්, සක්තිවේල් සංජයන්, මදන් සුජිතරන්, සංජන නෙතුපුල්, සාරද මදුසංක, රවිඳු දිල්සර, චමුදු දනංජය සහ සසිඳු ලෝශිත් මෙත්සර. 

 

නිලධාරීන් 

කැලුම් ප්‍රියදර්ශන (ක්‍රිකට් භාර ආචාර්ය), ලක්මාල් දිසානායක (ප්‍රධාන පුහුණුකරු), නාලක ජයවර්ධන (සහාය පුහුණුකරු) 

 අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<