2026 විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගය ඊයේ (09) ඉන්දියාවේ අහමදාබාද් හිදී පැවැත්වුණු අතර, මෙහි දී ඉන්දියාව විසින් නවසීලන්තයට එරෙහිව ලකුණු 96ක දැවැන්ත ජයක් ලබමින් තෙවැනි වරටත් විස්සයි විස්ස ලෝක ශූරයින් ලෙස කිරුළු දැරීමට සමත් වුනා.
නොකඩවා දෙවැනි වරටත් ලෝක ශූරයින් වීමෙන් අනතුරුව ඉන්දීය ක්‍රීඩකයින් විසින් සිය හැඟීම් ප්‍රසිද්ධ මාධ්‍ය වෙත මුදා හල අතර, එම බොහෝ අදහස් වෙනුවෙන් විශාල අවධානයක් ද මේ වන විට යොමු වී තිබෙනවා.
Ishan Kishan
“අවංකවම කියනවා නම්, තරගයට කලින් කාර් අනතුරකින් මට මගේ නෑනාව (Cousin Sister) අහිමි වුනා. මම එයා වෙනුවෙනුයි සෙල්ලම් කළේ. මම මේ ජය ඇය වෙනුවෙන් වෙන් කරනවා. අද කාන්තා දිනය, ඒ නිසා ඒක තවත් විශේෂ වෙනවා.“
පසුගිය කාලය තුළ එතරම් පිතිකරණ දක්ෂතා නොදැක්වීම හේතුවෙන් Kishan ඉන්දීය කණ්ඩායමෙන් ඉවතට විසි වී සිටි නමුත්, දේශීය තරගාවලිවල දක්ෂතා දක්වමින් ඔහු නැවත කණ්ඩායමට පැමිණීමට සමත් වුනා. එමෙන්ම ලෝක කුසලානයට පෙර පැවැත්වුණු නවසීලන්තය සමඟ තරගාවලියේ දී ද ඔහු ඉහළ දක්ෂතා දැක්වීමට සමත් වූ අතර, ලෝක කුසලානයේ දී ඉන්දියාවට වඩාත් වටිනා ක්‍රීඩකයකු ලෙස රැඳෙමින් ලකුණු 317ක් රැස් කිරීමට ද සමත් වුනා.
Abhishek Sharma
මෙවර ලෝක කුසලානය ආරම්භ වීමට පෙර බොහෝ දෙනා බලාපොරොත්තු වුනේ Abhishek විසින් මෙවර ලෝක කුසලානය උඩු යටිකුරු කරනු ඇති බවයි. නමුත් ඔහුට මෙවර තරගාවලිය තුළ බලාපොරොත්තු වූ තරම් යමක් සිදු කිරීමට හැකි වුනේ නැහැ. නමුත් ඊයේ පැවැත්වුණු අවසන් මහා තරගයේ දී Abhishek විසින් අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වුනා.
“ඒක මට ඒ තරම් ම ලේසි වුනේ නැහැ. අවුරුද්ද පුරාම මම කණ්ඩායම වෙනුවෙන් උපරිමය කරමින් හිටියා, ඒත් අවශ්‍ය ම අවස්ථාවේ මට ඒක කර ගන්න බැරි වුනා. ඒත් ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් මම ගැන තියපු විශ්වාසය මාව සංවේදී කළා. මට හැම තරගයකම හොඳට කරන්න අවශ්‍ය වුනත්, බැරි වුනා. ඊට පස්සේ මට නායකයාට සහ පුහුණුකරුට කතා කරන්න අවශ්‍ය වුනා. ඔවුන් මට නිතරම කිව්වේ එකම දෙයයි, ‘ඔබ අපිට ලොකු තරග දිනවලා දෙන්නයි ඉන්නේ.‘ “
Suryakumar Yadav
ඉන්දියාවට ICC කුසලානයක් රැගෙන ඒමට වරම් ලද නායකයින් අතරට එක් වීමට Suryakumar Yadav ඊයේ රාත්‍රියේ සමත් වුනා.
“අද තරගය ගැන ගොඩක් සතුටුයි. ඒක ලොකු ගමනක්. 2024 ලෝක කුසලානයෙන් පසුවයි ඒ ගමන පටන් ගත්තේ. Jay Shah ඒ වෙද්දී BCCI ලේකම්, ඔහු වගේම Rohit Sharma ඇතුළු පිරිස මට කණ්ඩායම මෙහෙයවන වගකීම බාර දුන්නා. ඒ ගමන ඒම සහ මේ ජය ලැබීම ගැන විශේෂ හැඟීමක් තියෙනවා.”
මෙහි දී Suryakumar විසින් තම කණ්ඩායම් සාමාජිකයින් පිළිබඳ ව ද අදහස් පළ කළා.
“ඔවුන් (Abhishek, Varun සහ Sanju ගැන පවසමින්) මොනවටද දක්ෂ කියලා වටහා ගත යුතුයි. මම දැන ගෙන හිටියා ඔවුන් තුළ තරග දිනවන්නන් ඉන්න බව.
Sanju කිව්වා වගේ Bumrah කියන්නේ පරම්පරාවකට එක් වරක් දකින්න ලැබෙන ක්‍රීඩකයෙක්. මම දැන් ඔහුව හඳුන්වන්නේ ජාතික වස්තුවක් විදිහට.”
එමෙන්ම ඉන්දීය කණ්ඩායමේ මීළඟ ඉලක්කය 2028 ඔලිම්පික් පදක්කම ජය ගැනීම බවත් ඔහු සඳහන් කරනවා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
Sanju Samson
මෙවර ලෝක කුසලානයේ වීරයා ලෙස සම්මාන දිනා ගැනීමට Sanju Samson විසින් සමත් වුනා. ඔහු ලෝක කුසලානයේ අතර මැද දී කණ්ඩායමට එක් වෙමින් තරග බිමට පිවිසුණු අතර, එම තරග අතුරින් අවසන් වශයෙන් ක්‍රීඩා කළ තරග තුනේ දීම අර්ධ ශතක (ලකුණු 80 ඉක්මවා යමින්) වාර්තා කිරීමට ද සමත් වුනා.
කෙසේ වෙතත් ඔහු මෙවර ලෝක කුසලානයට පෙර නවසීලන්තය සමඟ ක්‍රීඩා කළ තරගාවලියේ දී අතිශය අසාර්ථක වූ අතර, මේ හේතුවෙන් විශාල පීඩනයකට ලක් වී සිටි බවයි සඳහන් කරන්නේ.
“ඇත්තටම කියනවා නම් ප්‍රවීණ ක්‍රීඩකයින්ගෙන් විශාල සහයක් ලැබුණා. ගොඩක් ප්‍රවීණ ක්‍රීඩකයින් මට කතා කරලා උදව් කරන්න උත්සාහ කළා. මම Sachin සර් (Tendulkar) එක්ක දිගටම සම්බන්ධතා පවත්වා ගෙන ගියා.
මම සර් එක්ක දීර්ඝ සාකච්ඡාවල නිරත වුනා. ඊයේ (සෙනසුරාදා) රෑ පවා ඔහු මට කතා කරලා මම ගැන විමසුවා. ඔහු වගේ කෙනෙකුගේ මග පෙන්වීම ලැබීමත් භාග්‍යයක්. මට උදව් කළ හැමෝටම ස්තුතිවන්ත වෙන්න අවශ්‍යයි.
නවසීලන්ත සංචාරයෙන් පස්සේ මම බිඳ වැටුණා. මගේ හීන සම්පූර්ණයෙන්ම විනාශ වුනා වගේ දැනුණේ. මම හිතුවා ‘හරි මට තව මොනවද කරන්න පුළුවන්?‘
ඒත් දෙවියන්ට වෙනස් සැලැස්මක් තිබුණා. අත්‍යාවශ්‍ය තරගවල දී මාව ආයෙත් කණ්ඩායමට ගත්තා මම මට රට වෙනුවෙන් කරන්න පුළුවන් දේ කළා.“
ඉන්දියාව 2024 ලෝක ශූරයින් වන විට ද Sanju ඉන්දීය සංචිතය සමඟ රැඳී සිටිය ද ඔහුට එවර එක් තරගයක් හෝ ක්‍රීඩා කිරීමට වරම් ලැබුණේ නැහැ.
“ඇත්තටම හැම දෙයක් ම ආරම්භ වුනේ මීට අවුරුදු දෙකකට කලින්, මම 2024 ලෝක කුසලානය ජය ගත්ත කණ්ඩායම සමඟ ඉඳිද්දී.
ඒ වතාවේ මට එක තරගයක් වත් ලබාගන්න බැරි වුනා. ඒත් මම දිගින් දිගටම හීන දැක්කා. හිතින් මවා ගත්තා. ඒ වෙනුවෙන් දිගටම වැඩ කළා. මේ තමයි මට ඇත්තටම කරන්න අවශ්‍ය වෙලා තිබුණු දේ.“
Jasprit Bumrah
ඉන්දීය කණ්ඩායම මෙවර ලෝක කුසලානය ජය ගැනීම වෙනුවෙන් ප්‍රධාන සාධකය වූ Bumrah විසින් ඊයේ දිනයේ අවසන් තරගයේ වීරයා සම්මානය ද දිනා ගැනීමට සමත් වුනා.
“මේක ගොඩක් විශේෂයි, මොකද මීට කලින් මම මගේ ක්‍රීඩාංගණයේ (අහමදාබාද්) එක් අවසන් තරගයක් ක්‍රීඩා කළා (2023 එක්දින ලෝක කුසලානය), ඒත් ඒක ජය ගන්න බැරි වුනා.
මේක Flat Wicket එකක්, ඒ නිසා මම මගේ හැම දෙයක් ම මේ තරගයට දුන්නා. මගේ හැම අත්දැකීමක් ම පාවිච්චි කළා.“
Gautam Gambhir
Gambhir විසින් ඉන්දීය කණ්ඩායම සමඟ ජය ගත් දෙවැනි ICC ශූරතාව මෙය වන අතර, මීට පෙර ඔවුන් ශූරයින්ගේ කුසලානය ජය ගැනීමට සමත් වුනා. තවදුරටත් ඉන්දියාව සමඟින් ශූරතා ජය ගැනීම තම අරමුණ බවයි Gambhir පවසන්නේ.
“කාලයක ඉඳන් ම අපි ඉන්දීය ක්‍රිකට්වල සංධිස්ථාන ගැන කතා කළා. ඒත් මම ඉන්න කම් අපි සංධිස්ථාන/කඩ ඉම් ගැන කතා කරන්නේ නැහැ.
ඔබට එය ලේසියෙන්ම දකින්න පුළුවන්. අවසන් තරග තුනේ දී Sanju කළ දෙයින් ඒක දකින්න පුළුවන්. ඔහුගේ ලකුණු 97*, 89 සහ 89 ලෙස සටහන් වුනා. හිතන්න ඔබ කඩ ඉම් වෙනුවෙන් ක්‍රීඩා කරනවා නම්, ඔබට 250ක් ලබාගන්න බැරි වෙන්න ඉඩ තිබුණා. කඩ ඉම් ජය ගැනීම සැමරීම නතර කරන්න, කුසලාන ජය ගැනීම විතරක් සමරන්න. ඒක තමයි වැදගත් වෙන්නේ, මොකද කණ්ඩායම් ක්‍රීඩාවක වැදගත් ම දේ වෙන්නේ කුසලාන ජයග්‍රහණය කිරීම.
මේ අයුරින් 2026 විස්සයි විස්ස ලෝක කුසලානය නිමාව දකිනවා. දේශීය ප්‍රේක්ෂකයින්ට අද්විතීය ලෝක කුසලාන අත්දැකීමක් රැගෙන ඒමට මෙවර Thepapare ද සමත් වූ අතර, එය ද ශ්‍රී ලාංකේය ක්‍රීඩා වාර්තාකරණයේ සුවිශේෂී සලකුණක් තැබූ බව නොඅනුමානයි. ඉදිරියටත් දෙස්, විදෙස් ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















