ඉන්දියාව පිට පිට 2 වැනි වරටත් T20 ශූරයන් වෙයි

ICC Men's T20 World Cup 2026

13

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් ශූරයන් බවට නැවතත් පත් වීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වෙනවා. 2024 වසරේ ශූරයන් ලෙසින් මෙවර තරගාවලියට එක් වූ ඔවුන් අවසන් මහා තරගයේ දී නවසීලන්ත කණ්ඩායමට එරෙහි ව ලකුණු 96ක ජයග්‍රහණයක් ලබා ගනිමින් මෙවර ද ශූරයන් වන අතර මෙම අවස්ථා ද්විත්වයට අමතර ව ඔවුන් 2007 මංගල විස්සයි විස්ස ලෝක කුසලානයේ ද හිමිකරුවන් බවට පත් ව සිටියා.  

10 වැනි වරටත් පැවැති මෙම තරග මාලාවේ ඉන්දියාව අවසන් මහා තරගයක් සඳහා එක් වූ සිව් වැනි අවස්ථාවයි මේ. ලත් මෙම ජයග්‍රහණයත් සමඟින් ඔවුන් විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම වාර ගණනක දී ශූරයන් වූ රට බවට ද පත් වූවා.  

නවසීලන්තය මීට පෙර ද 2021 වසරේ දී ඕස්ට්‍රේලියාව සමඟින් අවසන් මහා තරගයට එක් වූ අතර එම තරගයේ දී ද ඔවුන්ට සිදු වූයේ අනුශූරතාවෙන් පමණක් සෑහීමකට පත් වීමටයි.  

Ahmedabad හි Narendra Modi ක්‍රීඩාංගණයේ දී (8දා) පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ නවසීලන්ත නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබා ගන්නවා. එය මෙවර තරගාවලියේ කණ්ඩායමක් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවන් අතර 2 වැනි තැනට පත් ඉනිමයි.  

ඔවුන්ගේ මෙම ඉනිමට අමතර ව මෙවර තරගාවලියේ ඉනිමක වැඩිම ලකුණු ලබා ගැනීමේ ගෞරවය හිමි ඉනිම ක්‍රීඩා කරන්නේ ද ඉන්දියාවයි. ඔවුන් එම දක්ෂතාව සිදු කරන්නේ සිම්බාබ්වේට එරෙහි ව කඩුලු 4කට ලකුණු 256ක් ලබා ගනිමිනුයි.  

පැවැති මෙම තරගයේ නවසීලන්තයට එරෙහි ඉන්දීය ප්‍රහාරක ලැයිස්තුව සැකසෙන්නේ Sanju Samson සහ Abhishek Sharma ගේ ප්‍රධානත්වයෙනුයි. ඔවුන් දෙදෙනා එක් ව ඉන්දීය ඉනිමේ පළමු ලකුණු 50 පන්දු 24ක දී එක් කරන ලද අතර පළමු Power play අවස්ථාව අවසන් වෙද්දී ලකුණු 92ක් ලබා ගන්නවා.   

ඒ අතර කාලයේ දී Abhishek Sharma තම අර්ධ ශතකය තමන් මුහුණ දුන් 18 වැනි පන්දුවේ දී වාර්තා කිරිමට ද සමත් වෙනවා.  

ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 43ක දී ලකුණු 98ක සබඳතාවක් එක් කරන අතර එම සබඳතාවට තිත තැබෙන්නේ Abhishek Sharma ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 21කට පමණක් මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 52ක් ලබා සිටියා.  

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව පිටියට එක් වූ Ishan Kishan  Sanju Samson හා එක් ව ගිනි කෙළි හරඹයක් බඳු ඉනිමක නිරත වෙනවා. ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 48ක දී ලකුණු 105ක සබඳතාවක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ Sanju Samson ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 89ක් ලබා සිටියා.  

Sanju Samson තමන් මුහුණ දුන් 33 වැනි පන්දුවේ දී මෙවර තරගාවලියේ පිට පිට වාර්තා කරන ලද තෙවැනි අර්ධ ශතකය ද වාර්තා කිරීමට සමත් වෙනවා.  

James Neesham විසින් යැවුණ ඉන්දීය ඉනිමේ 16 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේ දී Sanju Samson දැවී යන අතර එම දැවී යෑමෙන් අනතුරුව යැවුණ සිව් වැනි පන්දුවේ දී Ishan Kishan ද තම ඉනිම හැර යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 54ක් ලබා සිටියා.  

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ පන්දුවේ දී නායක Suryakumar Yadav තමන් මුහුණ දුන් පළමු පන්දුවේ දී ම නැවත ක්‍රීඩා ගාරයට හරවා යැවීමට දකුණතින් මඳ වේග පන්දු යවන James Neesham සමත් වෙනවා. එම දක්ෂතාවත් සමඟින් ඔහුගේ පන්දු යැවීම සටහන් වූයේ ලකුණු 46කට කඩුලු 3ක් ලෙසයි.  

ඉන්දීය ඉනිම අවසන් වන විට Shivam Dube පන්දු 8කට පමණක් මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 26ක් ලබා සිටියා.  

පන්දු යැවීමේ දී James Neesham ට අමතර ව Rachin Ravindra සහ Matt Henry ද කඩුල්ල බැගින් දවා ගත්තා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නවසීලන්ත ක්‍රීඩකයෝ සාර්ථක ආරම්භයකට ප්‍රවිශ්ඨ වීමට උත්සාහ කළ ද ඔවුන්ගේ ප්‍රධාන පෙළේ පිතිකරුවෝ තිදෙනෙක් ම පළමු Power play අවස්ථාවේ දී කඩුලු අහිමි කර ගැනීම ප්‍රධාන බාධාවක් වුණා.  

Finn Allen (9), Rachin Ravindra (1) සහ Glenn Phillips (5) ඊට ගොදුරු වෙන අතර අනතුරු ව ඉනිමේ 8 වැනි පන්දුවාරයේ දී Mark Chapman ද ලකුණු 3කට දැවී යනවා. ඒ වෙද්දී නවසීලන්ත ඉනිම දැක් වුණේ කඩුලු 4කට ලකුණු 70ක් ලෙසයි.  

මේ සියලු දෙනා දැවී යන තුරු එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් ලකුණු පුවරුව ගොඩ නගමින් සිටි ආරම්භක පිතිකරු Tim Seifert ඉනිමේ 5 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 52ක් ලබා සිටියා.  

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව පිටියට එක් වූ Daryl Mitchell සහ නායක Mitchell Santner එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 28ක දී ලකුණු 52ක සබඳතාවක් එක් කරමින් මැද පෙළ පිතිකරුවන්ගේ ශක්තිය පෙන්වනවා.   

නමුත් එපමණකි, ඔවුන්ගේ අවසන් කඩුලු 4 ලකුණු 18කට දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වෙනවා.  

මැද පෙළින් ඉනිම සැරසූ Daryl Mitchell පන්දු 11ක දී හයේ පහර 2ක් සමඟින් ලකුණු 17ක් ලබා ගත් අතර Mitchell Santner ඉනිමේ 8 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 43ක් ලබා සිටියා.   

නවසීලන්ත ඉනිමේ තවත් පන්දු 6ක් ඉතිරි කර දුන් ඉන්දීය පන්දු යවන්නන් අතුරින් Jasprit Bumrah ලකුණු 15කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.  Axar Patel ද ලකුණු 27කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව Abhishek Sharma, Hardik Pandya සහ Varun Chakravarthy අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා. 

තරගයේ කෙටි ලකුණු පුවරුව 

 

ඉන්දියාව – කඩුලු5ක් දැවී 255 (20.0) Sanju Samson 89, Abhishek Sharma 52, Ishan Kishan 54, Shivam Dube නොදැවී 26, James Neesham 3/46 

 

නවසීලන්තය – සියලුම දෙනා දැවී 159 (19.0) Tim Seifert 52, Mitchell Santner 43, Axar Patel 3/27, Jasprit Bumrah 4/15 

 

ඉන්දීය කණ්ඩායමට ලකුණු 96ක ජයක්.  

  • තරගයේ වීරයා –Jasprit Bumrah (ඉන්දියාව) 
  • තරගාවලියේවීරයා – Sanju Samson (ඉන්දියාව) 

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<