දෙවැනි පෙළ එක්දින ශූරතාව හික්කඩුව සුමංගලයන්ට

U19 School Cricket 2026

5
School Cricket

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇතිව සංවිධානය කරන ලද අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ දෙවැනි පෙළ Tier B කොටසේ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය සමත් වූවා.

මෙම තරගයේ ප්‍රතිවාදීන් වූයේ හේනේගම මධ්‍ය මහා විද්‍යාලයයි. ඔවුන්ට එරෙහි ව ලකුණු 133ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී සුමංගල විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 9ක් දැවී ලකුණු 293ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් හේනේගම මධ්‍ය මහා විද්‍යාලයට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 160ක් පමණයි.

කොළඹ 7, වෙළඳ සේවා ක්‍රිකට් පිටියේ දී (04) පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී සුමංගල විද්‍යාලයීය නායකයා තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කර ගත්තා.

ශ්‍රී සුමංගල විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

චමත්ක කවිශාන් (නායක සහ කඩුලු රකින්නා), කෞෂල්‍ය සාරංග, පවනි නිරුශාන්, සංජන නෙතුපුල්, තරුන් දම්සිත්, ශනුක දෙනුවන්, මාතන් සුජිතරන්, පමෝද් නිම්සර, චමුදු ධනංජය, සසිඳු ලෝශිත් සහ ලතීන්ද්‍ර ආකාශ්.

 

හේනේගම මධ්‍ය මහා විද්‍යාලීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

දුවිඳු මෙත්මල් (නායක), සෙනුත් රශ්මික, දීරක එලගෙදර, හර්ෂිත ආකාශ්, දිමුතු දේශාන් (කඩුලු රකින්නා), මතීශ නේමින්දර, හිරුෂ ඉන්දීවර, යෙනුතු දෙනුවන්. දෙසිඳු දින්සර, සෙහස් දම්සිහ සහ හිරුෂ ප්‍රේමරත්න.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී සුමංගල විද්‍යාලයීය ක්‍රීඩකයන්ගේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ කෞශල්‍ය සාරංග. ඔහු පන්දු 106කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 71ක් ලබා ගන්නවා.

ඔහුගේ එම ඉනිමේ දී අනෙක් ආරම්භක පිතිකරු පවනි නිරුක්ෂාන් හා එක් ව පළමු වැනි කඩුල්ලට ලකුණු 42ක සබඳතාවක් ද සහ සංජන නෙතුපුල් හා එක් ව 2 වැනි කඩුල්ලට ලකුණු 114ක සබඳතාවක් ද ගොඩ නගනවා.

එහි දී පවනි නිරුක්ෂාන් පන්දු 15ක දී හයේ පහර 4ක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 31ක් ද සහ සංජන නෙතුපුල් පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 42ක් ද ලබා ගන්නවා.

ඊට අමතර ව ශනුක දෙනුවන් පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 57ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී හිරුශ ප්‍රේමරත්න ලකුණු 64කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව දුවිඳු මෙත්මාල් කඩුලු ද්විත්වයක් ද, හර්ශිත ආකාශ් සහ මතීශ නේමින්දර කඩුල්ල බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි හේනේගම මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයන්ට සියලුම දෙනා දැවී ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 160ක් පමණයි.

එම ඉනිමේ පළමු කඩුල්ල ලකුණක් වෙද්දී දැවී යද්දී 2 වැනි කඩුල්ලට ලකුණු 56ක සබඳතාවක් එක් කිරීමට දුවිඳු මෙත්මල් සහ දීරක එලගෙදර සමත් වෙනවා. එහි දී දුවිඳු මෙත්මල් පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 23ක් ද සහ දීරක එලගෙදර පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 30ක ද ලබා ගන්නවා.

හේනේගම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ මතීශ නේමින්දර. ඔහු පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 53ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී වමත් දඟ පන්දු යවන්නන් වන සංජන නෙතුපුල්, ශනුක දෙනුවන්    සහ දකුණතින් පිට දඟ පන්දු යවන දමිදු ධනංජය කඩුලු 3ක් බැගින් දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ශ්‍රී සුමංගල විද්‍යාලය – කඩුලු 9ක් දැවී 293 (50.0) කෞශල්‍ය සාරංග 71, පවනි නිරුක්ශාන් 31, සංජන නෙතුපුල් 42, තරුන් දම්සිත් 23, ශනුක දෙනුවන් 57, පමෝද් නිම්සර 27, හිරුෂ ප්‍රේමරත්න 3/64, දුවිඳු මෙත්මල් 2/48
  • හේනේගම මධ්‍ය මහා විද්‍යාලය – සියලුම දෙනා දැවී 160 (39.2) දුවිඳු මෙත්මල් 23, දීරක එලගෙදර 20, මතීශ නේමින්දර 53, දෙසිඳු දින්සර 21, චමුදු ධනංජය 3/37, ශනුක දෙනුවන් 3/28, සංජන නෙතුපුල් 3/25

හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලයට ලකුණු 133ක ජයක්.

 අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<