2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 08 වටයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දෙවැනි තරගය ඊයේ (25) නවසීලන්තය සමඟ පැවැත්වුණා.
ශ්‍රී ලංකාවට සුපිරි 08 වටයෙන් අවසන් පූර්ව වටය වෙත සුදුසුකම් ලබා ගැනීම සඳහා මෙම තරගය අනිවාර්යයෙන් ජය ගත යුතු මට්ටමක තිබූ අතර, මේ හේතුවෙන් විශාල ප්‍රේක්ෂක අවධානයක් ද තරගය වෙනුවෙන් යොමු වී තිබුණා.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය දසුන් ශානක සතු වූ අතර, ඔහුගේ තීරණය අනුව නවසීලන්තයට පළමුවෙන් පන්දුවට පහර දීමට අවස්ථාව හිමි වුනා.
ඔවුන් ඒ වෙනුවෙන් තරමක හොඳ ආරම්භයක් ලබා ගත් අතර, මෙහි දී Rachin Ravindra ලැබූ ලකුණු 32 සහ Finn Allen ලබා ගත් ලකුණු 23 ද සමඟ නවසීලන්තය එක් අවස්ථාවක කඩුලු 3ක් දැවී ලකුණු 84ක් ලබා ගැනීමට සමත් වී සිටියා.
මේ මොහොතේ ක්‍රියාත්මක වූ මහීෂ් තීක්ෂණ සහ දුනිත් වෙල්ලාලගේ විසින් නවසීලන්ත ඉනිම එක් වරම කඩුලු 6කට ලකුණු 84ක් තත්වයට පත් කළේ තරගයේ සියලු වාසි ශ්‍රී ලංකාව දෙසට නතු කරවමිනුයි.
කෙසේ වෙතත් මේ මොහොතේ කඩුල්ලේ එක් වූ නායක Mitchell Santner සහ Cole McConchie විසින් ඉනිමේ 07 වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 84ක් එක් කිරීමට සමත් වුනේ තරගය නැවතත් නවසීලන්තය දෙසට හරවමිනුයි.
මෙහි දී Santner හයේ පහර 4ක් ද සමඟ වේගවත් ලකුණු 47ක් ලබාගනිද්දී, Cole විසින් ලකුණු 31ක් ලබා ගැනීමට සමත් වුනා. ඉනිමේ අවසන් පන්දුව තෙක් ඔවුන්ගේ සබඳතාව ක්‍රියාත්මක වූ අතර, මේ අනුව නවසීලන්තය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 168ක් ලබා ගැනීමට සමත් වුනා.
මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් මහීෂ් තීක්ෂණ සහ දුශ්මන්ත චමීර කඩුලු 3 බැගින් දවා ගැනීමට ද සමත් වුනා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
මින් අනතුරුව ශ්‍රී ලංකා පිතිකරුවන් විසින් සිය සියලු බලාපොරොත්තු ද සමඟ මෙම ඉලක්කය හඹා යාම සඳහා පිටියට අවතීර්ණ වුනා.
කෙසේ වෙතත් ඉනිමේ පළමු පන්දුවෙන් ම පැතුම් නිස්සංක දවා ගැනීමට Matt Henry සමත් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව අතිශය දරුණු පීඩනයකට හසු වූ අතර, ඉන් පසුව ශ්‍රී ලංකාව ඉලක්කය හඹා යනවා වෙනුවට එම පීඩනය පාලනය කර ගැනීමට නොහැකිව අන්ත අසරණ වුනා.
ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු බිඳ වැටීම නොනැවතී සිදු වූ අතර, කමිඳු මෙන්ඩිස් පන්දු 23කින් ලකුණු 31ක් ලබා ගැනීම සහ දුනිත් වෙල්ලාලගේ පන්දු 23කින් ලකුණු 29ක් ලබා ගැනීම හැරුණු කොට ශ්‍රී ලංකා ඉනිමේ වෙනත් එකදු පිතිකරුවකු හෝ තරමක සාර්ථක ඉනිමකට පවා යාමට අපොහොසත් වුනා.
ශ්‍රී ලංකාව නවසීලන්ත පන්දු යැවීම හමුවේ හසු වූ පීඩනය කෙතරම් ද යත්, නියමිත පන්දුවාර 20තුළ කඩුලු 08ක් දැවී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 107ක් පමණයි.
ශ්‍රී ලංකා ඉනිම බිඳ දැමීමේ පුරෝගාමියා වූ Rachin Ravindra ලකුණු 27කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුනා. තරගයේ වීරයා සම්මානය ද Rachinට හිමි වුනා.
මේත් සමඟින් නවසීලන්තයට තරගයෙන් ලකුණු 61ක ජයක් හිමි වූ අතර, ඔවුන් ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පැමිණීමට සමත් වී තිබෙනවා. ශ්‍රී ලංකාවට තවදුරටත් අවසන් පූර්ව වටයක් පිළිබඳ බලාපොරොත්තු තබා ගත නොහැකි අතර, පාකිස්තානයට අවසන් පූර්ව වරම් ලැබීමට නම් එංගලන්ත – නවසීලන්ත තරගය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීමට මෙන්ම, ශ්‍රී ලංකාවට දරුණු පරාජයක් උරුම කර දීමට ද සිදු වනු ඇති.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත තරගය එළඹෙන 28 වැනි දා ක්‍රියාත්මක වනු ඇති.
2026 විස්සයි විස්ස ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















