සිංහයන්ට එරෙහි ව කන්ද උඩරට එන බ්‍රිතාන්‍ය ක්‍රිකට් හමුදාව

ICC Men's T20 World Cup 2026

1

2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටයට එක් වූ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද (22) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී එංගලන්තය සමඟින් පැවැත්වේ.  

C කාණ්ඩයෙන් තරගාවලියේ පළමු වටයට එක් වූ එංගලන්ත ක්‍රීඩකයෝ එහි දී නේපාලය, ස්කොට්ලන්තය සහ ඉතාලිය පරාජය කරමින් ලද ප්‍රසාද ලකුණු 6ක් සමඟින් සුපිරි 8 වටයට පිවිසෙනවා. ඔවුන් එම වටයේ දී බටහිර ඉන්දීය කොදෙව්වන් වෙතින් ලත් පරාජය හේතුවෙන් ප්‍රසාද ලකුණු පුවරුවේ හිමි වෙන්නේ 2 වැනි ස්ථානයයි.  

2010 සහ 2022 වසර ද්විත්වයේ විස්සයි විස්ස ලෝක ශූර කිරුළ දැරූ ඔවුන් 2016 වසරේ අනුශූරයන් බවට පත් වෙමින් ලත් අභිමානයත් ඒ සමඟින් දරාගෙනයි කන්ද උඩරට පැවැත්වෙන මෙම තරගය හා එක් වෙන්නේ.  

එංගලන්තය මේ දක්වා විස්සයි විස්ස ලෝක කුසලාන තරග 56කට මුහුණ දෙමින් තරග 31ක් ජයග්‍රහණ කර ඇති අතර පරාජිත තරග සංඛ්‍යාව 23ක්. ඊට අමතර ව තවත් තරග ද්විත්වයක් නිමා වී ඇත්තේ නොවිසඳුණ තරග ලෙසයි. එම තරග අතරට ශ්‍රී ලංකාව සමඟින් තරග 6කට සහභාගී වී ඇති ඔවුන් ඉන් තරග 5ක ම ජයග්‍රණ ලබා ගෙන එක් තරගයක දී පමණක් ශ්‍රී ලංකාව හමුවේ පසු බැස තිබෙනවා.  

දෙරට ඉතිහාසයේ මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 17ක් නිමා කර ඇති අතර ඉන් තරග 13ක ජයග්‍රහණ එංගලන්තය ද සහ තරග 4ක ජය ශ්‍රී ලංකාව ද ලබමිනුයි නිමා ව ඇත්තේ.  

2006 වසරේ සිට පැවැතෙන එම තරග ඉතිහාසයේ මංගල තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ ද 2016 වසරේ සිට පැවැති තරග 11ක ජයග්‍රහණ එංගලන්ත සතු වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට එංගලන්තයට එරෙහි ව වසර 10කින් ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි වී නැහැ. දෙරට අතර මෙරට පැවැති අවසන් තරග සංචාරයේ දී ද එංගලන්ත ක්‍රීඩකයෝ 3-0ක ජයග්‍රහණයක් ලබා ගනිමිනුය තම මව් රටට යන්නේ.  

එංගලන්ත කණ්ඩායමේ නායකත්වය හිමි 27 හැවිරිදි වියේ පසුවෙන Harry Brook මෙම තරගය හා එක් වෙන්නේ මෙතෙක් නිමා කරන ලද තරග 4ක ඉනිම් 4 දී නේපාලයට එරෙහි ව ලබා ගන්නා ලද අර්ධ ශතකයත් සමඟින් ලකුණු 97ක් ලබා ගනිමිනුයි.  

නිමා වූ වසරේ දී මෙරට සංචාරය කළ Harry Brook, කොළඹ දී නොදැවී ලකුණු 136ක් ලබා තම 59ක් වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ හොඳම ඉනිම ද ක්‍රීඩා කරනවා. ඒ මතකයන් ඔහු ව මේ තරගයේ තවත් ඉහළ ට ඔසවා තබාවි.  

ඔහුට අමතර ව ලෝක කුසලාන තරග ඉතිහාසයේ ලකුණු 1066ක් ලබා සිටින Jos Buttler ද මෙම තරගයට එක් වෙනවා. එය එංගලන්ත ක්‍රීඩකයන් අතුරින් විස්සයි විස්ස තරග ඉතිහාසයේ එංගලන්ත පිතිකරුවෙක් ලැබූ ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි. මෙවර තරගාවලියේ පිතිකරු භූමිකාවේ තරමක් අසාර්ථක වී සිටින ඔහු, ඒ නිසා ම මෙම තරගය තමන්ගේ තරම පෙන්වීමට භාවිතා කිරීමේ වැඩි ඉඩක් පවතිනවා.  

ඔවුන්ට අමතර ව එංගලන්ත කණ්ඩායමේ ලකුණු පුවරුව ශක්තිමත් කිරීමට පෙළ ගැසී සිටින පිතිකරුවන් ලෙසින් Phil Salt, තවමත් 22 හැවිරිදි වියේ පසුවෙමින් නේපාලයට එරෙහි ව අර්ධ ශතකයක් ලෝක කුසලාන ඉතිහාසයේ මංගල අර්ධ ශතකය ලබා ගත් Jacob Bethell සහ ඉතාලිය සමඟ පැවැති තරගයේ දී තම 36ක් වන විස්සයි විස්ස තරග දිවියේ මංගල අර්ධ ශතකය ලබා ගත් Will Jacks ද පෙළ ගැසී සිටිනවා.  

මෙම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට වඩාත් ප්‍රවේශම් විය යුතු පන්දු යවන්නා බවට පත් ව සිටින්නේ Adil Rashid ගෙන්. ඔහු මේ වෙද්දී විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 141කට සහභාගී වෙමින් කඩුලු 156ක් දවා ගෙන තිබෙනවා.  

නිමා වූ පළමු වටයේ දී කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දක්වා ඇති ඔහු තම තරග දිවියේ දී ශ්‍රී ලංකාවට එරෙහි ව තරග 11කට සහභාගී වෙමින් කඩුලු 15ක් දවා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා. විස්සයි විස්ස ලෝක කුසලාන තරග 34ක දී ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 37ක්. 

ඔහුට අමතර ව වමතින් මඳ වේග පන්දු යවන Sam Curran, දකුණතින් මඳ වේග පන්දු යවන්නන් වන Jofra Archer සහ Jamie Overton ද සහ වමතින් දඟ පන්දු යවන Liam Dawson ද එංගලන්ත පන්දු යවන්නන්ගේ බලඇණියේ බලාපොරොත්තු සහගත පන්දු යවන්නන් බවට පත් ව සිටිනවා.  

එංගලන්ත සංචිතය 

Harry Brook (නායක), Phil Salt, Jos Buttler (කඩුලු රකින්නා), Jacob Bethell, Tom Banton, Sam Curran, Will Jacks, Liam Dawson, Luke Wood, Jofra Archer, Adil Rashid, Ben Duckett, Jamie Overton, Rehan Ahmed, Josh Tongue. 

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට මෙන් ම, සියලු තරගවල සජීවී අත්දැකීම් ඔබ සමඟ බෙදා හදා ගැනීමට ThePapare සූදානම්රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<