ශ්‍රී ලංකාවේ අපරාජිත ගමන නිමයි

ICC Men's T20 World Cup 2026

2
sri lanka vs zimbabwe
sri lanka vs zimbabwe

2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ අවසන් විස්සයි විස්ස තරගය ඊයේ සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා. මෙම තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක දසුන් ශානක සතු වූ අතර, ඔහුගේ තීරණය මත ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට අවතීර්ණ වුනා.

මෙම තරගයේ ජය පැරදුම කණ්ඩායම් දෙකටම කිසිදු බලපෑමක් එල්ල නොකිරීම නිසාම ශ්‍රී ලංකාව විසින් තරගය වෙනුවෙන් වෙනස්කම් කිහිපයක් ද සිදු කළා. මෙහි දී දුශ්මන්ත චමීර සහ මතීෂ පතිරණ වෙනුවට ප්‍රමෝද් මදුශාන් සහ ඩිල්ශාන් මදුශංක කණ්ඩායමට ඇතුළත් වුනා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කිරීම සඳහා පැතුම් නිස්සංක සහ කුසල් පෙරේරා පිටියට අවතීර්ණ වූ අතර, ඔවුන් දෙදෙනා විසින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 54ක සබඳතාවක් ගොඩ නැංවීමට සමත් වුනා. මෙහි දී කුසල් පන්දු 12කින් ලකුණු 22ක් ලබා පිටියෙන් ඉවත් වූ අතර, ඉන් පසුව කුසල් මෙන්ඩිස් පිටියට අවතීර්ණ වුනා.

මෙන්ඩිස් සහ පැතුම් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 46ක් එක් කිරීමට සමත් වූ අතර, මෙහි දී තරමක් මන්දගාමී ඉනිමක් දියත් කළ මෙන්ඩිස් පන්දු 20කින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 14ක් පමණයි.

මේ අතර ඉනිමේ තෙවන කඩුල්ල ලෙස එතෙක් වේලා විශිෂ්ට ඉනිමක් දියත් කරමින් සිටි පැතුම් නිස්සංක ලකුණු 62කට දැවී ගිය අතර, හතරේ පහර 08ක් සමඟින් දියත් වූ මෙම ඉනිම වෙනුවෙන් පන්දු 41ක් වැය වුනා.

ඉන් පසුව ශ්‍රී ලංකා ඉනිම තරමක බිඳ වැටීමකට ලක් වන බව පෙනෙන්නට තිබුනත්, අංක හතර පිතිකරු ලෙස පිටියට අවතීර්ණ වූ පවන් රත්නායක විසින් පන්දු 25ක් පමණක් වැය කරමින් ලකුණු 44ක් ලබා ගැනීමට සමත් වුනා. එම ඉනිම හතරේ පහර 3ක් සහ හයේ පහර 2කිම් වර්ණවත් වූ අතර, ඊට අමතරව දුනිත් වෙල්ලාලගේ පන්දු 8කින් ලකුණු 15ක් ලබමින් ඉනිමට අත්‍යාවශ්‍ය ව තිබූ සාර්ථක අවසානය ලබා දීමට සමත් වුනා.

ඒ අනුව ශ්‍රී ලංකා පිතිකරුවන් විසින් නියමිත පන්දුවාර 20 අවසන් වන විට කඩුලු 7ක් දැවී ලකුණු 178ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

මින් අනතුරුව සිම්බාබ්වේ කණ්ඩායම විසින් ලකුණු 179ක ඉලක්කය හඹා යාම සඳහා පිටියට අවතීර්ණ වූ අතර, මෙහි දී සිම්බාබ්වේ පළමු කඩුල්ල වෙනුවෙන් Brian Bennett සහ Tadiwanashe Marumani විසින් ලකුණු 69ක වටිනා සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා.

මෙහි දී Marumani විසින් ලකුණු 34ක් ලබා සිටිය දී දුනිත් වෙල්ලාලගේ හමුවේ උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගිය අතර, ඉන් පසුව පිටියට අවතීර්ණ වූ Ryan Burl පන්දු 12කින් ලකුණු 23ක් ලබමින් සිම්බාබ්වේ ඉනිම තවත් වේගවත් කිරීමට සමත් වුනා.

ඉන් අනතුරුව Bennett සමඟ සිම්බාබ්වේ නායක Sikandar Raza පිටියේ එක් වූ අතර, ඔවුන් දෙදෙනා විසින් ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 69ක් එක් කිරීමට සමත් වුනා. මෙහි දී තරගයේ තීරණය වෙනස් කළ ඉනිමක් දියත් කළ Raza විසින් පන්දු 26ක් තුළ ලකුණු 45ක් ලබා ගැනීමට සමත් වුනේ හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් ද සමඟයි. එමෙන්ම සිම්බාබ්වේ ඉනිමේ නැංගුරම බඳු වූ Bennett විසින් පන්දු 48කින් ලකුණු 63ක් ලබා ගැනීමට සමත් වුනා.

මෙම සබඳතාවත් සමඟින් ම සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 19 පන්දු තුනක් තුළ අදාළ ඉලක්කය හඹා යාමට සමත් වූ අතර, මේ වෙනුවෙන් ඔවුන් ශ්‍රී ලංකාවට ලබා දුන්නේ කඩුලු 4ක් පමණයි. ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම තරගයෙන් කඩුලු 6ක ජයක් හිමි කර ගත්තා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දුශාන් හේමන්ත කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා.

තරගයේ වීරයා සම්මානය Sikandar Raza හට හිමි වුනා.

මෙම ජයත් සමඟ සිම්බාබ්වේ කණ්ඩායම B කාණ්ඩයේ ලකුණු සටහනේ පෙරමුණට පැමිණෙනවා. කෙසේ වෙතත් සුපිරි 08 වටය සඳහා මෙම තරග ප්‍රතිඵලවල කිසිදු බලපෑමක් සිදු නොවනු ඇති.

සුපිරි 08 වටයේ තරග හෙට (21) ආරම්භ වීමට නියමිත අතර, ශ්‍රී ලංකාවේ පළමු තරගය එළඹෙන ඉරිදා පස්වරු 3ට එංගලන්තය සමඟ පැවැත්වීමට නියමිතයි.

2026 විස්සයි විස්ස ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<