ඇෆ්ගනිස්තානය සහ එංගලන්තය ජයග්‍රහණ වාර්තා කරයි

ICC Men's T20 World Cup 2026

3
ICC Men's T20 World Cup

10 වැනි විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 3ක් (16දා) අවසන් වූ අතර එහි දී දිනයේ වඩාත් ම පෙරළිකාර ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

එය මෙවර තරගාවලියේ 30 වැනි තරගයයි.

>>ශ්‍රී ලාංකිකයින්ගේ ‘පැතුම්’ නිස්සංක ඉටු කරයි!<<

මෙම තරගයට අමතර ව ඇෆ්ගනිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරගයත් සහ එංගලන්තය සහ ඉතාලිය අතර තරගයත් ඉන්දියාවේ දී පැවැති අතර එහි දී ඇෆ්ගනිස්තාන සහ එංගලන්ත කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුණා.

ඒ අතුරින් ඇෆ්ගනිස්තානය මෙවර තරගාවලියේ ඔවුන් ලත් පළමු ජයග්‍රහණය වාර්තා කළ අතර එංගලන්තය මෙවර තරගාවලියේ පළමු වටයේ තරග අවසන් කළ පළමු කණ්ඩායම බවට පත් වුණා. ඒ අනුව ඔවුන් තම තරග 4 අවසන් කරන්නේ ජයග්‍රහණ 3ක් සහ පරාජිත තරගයක් සමඟින් ප්‍රසාද ලකුණු 6ක් ලබා ගනිමිනුයි. ලකුණු ලබා ගැනීමේ 0.201ක දළ වේගය ද රඳවා ගෙන ඇති ඔවුන් මේ වෙද්දී  C කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුවේ 2 වැනි ස්ථානයේ පසුවෙනවා.

28 වැනි තරගය, Group D, ඇෆ්ගනිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර

Delhi හී Arun Jaitley ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්තාන නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එක්සත් අරාබි එමීර් රාජ්‍යය ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 160ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ තවත් පන්දු 4ක් ද ඉතිරි කර ගනිමින් කඩුලු 5ක් පමණක් දැවී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගන්නවා.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 13 කදී දැවී යන අතර ඉන් අනතුරු ව 3 වැනි කඩුල්ලට ලකුණු 84ක් එක් කිරීමට Alishan Sharafu සහ Sohaib Khan සමත් වෙනවා.

ඔවුන් දෙදෙනා අතුරින් Alishan Sharafu පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 40ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී යනවා.

ඉනිමේ 7 වැනි කඩුල්ලට දැවී ගිය Sohaib Khan පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 68ක් ලබා ගන්නා ලද අතර එය ඔහුගේ තරග 5ක් වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ හොඳම ඉනිම බවට ද පත් වුණා.

කඩුලු දවා ගැනීමේ දී දකුණතින් මඳ වේග පන්දු යවන Azmatullah Omarzai ලකුණු 15කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. එම දක්ෂතාවත් සමඟින් ඔහු විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ කඩුලු 50 කඩඉමට පිවිසීමට ද සමත් වෙනවා.

ඊට අමතර ව Mujeeb Ur Rahman කඩුලු 2ක් ද සහ Rashid Khan කඩුල්ලක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Ibrahim Zadran. ඔහු පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 53ක් ලබා ගන්නවා.

ඊට අමතර ව ඇෆ්ගනිස්තාන ඉනිම අවසන් වන විට පන්දු යැවීමේ දී ද දක්ෂතා දැක් වූ Azmatullah Omarzai පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 40ක් ලබා සිටියා.

ඊට අමතර ව ඔහු Darwish Rasooli සමඟ එක් වෙමින් 5 වැනි කඩුල්ලට පන්දු 26ක දී ලකුණු 43ක සබඳතාවක් එක් කරනවා. එහි දී Darwish Rasooli පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Junaid Siddique සහ Muhammad Arfan කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර Muhammad Jawadullah ට ද කඩුල්ලක් හිමි වුණා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • එක්සත් අරාබි එමීර් රාජ්‍යය – කඩුලු 9ක් දැවී 160 (20.0) Alishan Sharafu 40, Sohaib Khan 68, Azmatullah Omarzai 4/15, Mujeeb Ur Rahman 2/31
  • ඇෆ්ගනිස්තානය – කඩුලු 5ක් දැවී 162 (19.2) Ibrahim Zadran 53, Darwish Rasooli 33, Azmatullah Omarzai නොදැවී 40, Junaid Siddique 2/23, Muhammad Arfan 2/30

ඇෆ්ගනිස්තාන කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

තරගයේ වීරයා – Azmatullah Omarzai (ඇෆ්ගනිස්තානය)

29 වැනි තරගය (දිවා/රාත්‍රී), Group C, එංගලන්තය සහ ඉතාලිය අතර  

Kolkata හී Eden Gardens ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගන්නවා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 202ක් ලබා ගන්නවා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Will Jacks. ඔහු පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 53ක් ලබා ගන්නවා. එය ඔහුගේ 36ක් වන විස්සයි විස්ස තරග දිවියේ මංගල අර්ධ ශතකයයි.

ඊට අමතර ව Tom Banton පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 30ක් ද, Phil Salt පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 28ක් ද සහ Sam Curran පන්දු 19ක දී හයේ පහර 2ක් සමඟින් ලකුණු 25ක් ද ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී ක්‍රිශාන් කලුගමගේ සහ Grant Stewart කඩුලු ද්විත්වය බැගින් ද, JJ Smuts, Ali Hasan සහ Ben Manenti කඩුල්ල බැගින් ද දවා ගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඉතාලි ක්‍රීඩකයන්ගේ ඉනිම ලකුණු 178කට සීමා වූව ද තරගයට ජීවයක් දීමට Justin Mosca, Ben Manenti සහ Grant Stewart සමත් වෙනවා.

එහි දී Ben Manenti ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් පන්දු 25ක දී ලකුණු 60ක් ලබා ගන්නවා. එම ඉනිමට හයේ පහර 6ක් සහ හතරේ පහර 4ක් එක් කිරීමට ද ඔහු සමත් වෙනවා.

ඊට අමතර ව Grant Stewart පන්දු 23ක දී හයේ පහර 5ක් සහ හතරේ පහර 2ක් සමඟින් ලකුණු 45ක් ලබා ගත් අතර ඔවුන් දෙදෙනා එක් ව සිව් වැනි කඩුල්ලට පන්දු 48ක දී ලකුණු 92ක සබඳතාවක් එක් කරමින් එංගලන්ත ජයග්‍රහණය පමා කළා.

ඉතාලි ඉනිම ආරම්භ කළ Justin Mosca ලබා ගත් ලකුණු සංඛ්‍යාව 43ක්. ඔහුගේ එම ඉනිම පන්දු 34කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 7ක් එක් කර තිබුණා.

කඩුලු දවා ගැනීමේ දී Jamie Overton සහ Sam Curran කඩුලු 3ක් බැගින් දවා ගත් අතර ඊට අමතර ව Jofra Archer කඩුලු ද්විත්වයක් ද, Will Jacks සහ Adil Rashid කඩුල්ල බැගින් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • එංගලන්තය – කඩුලු 7ක් දැවී 202 (20.0) Phil Salt 28, Jacob Bethell 23, Tom Banton 30, Sam Curran 25, Will Jacks නොදැවී 53, Grant Stewart 2/51, Crishan Kalugamage 2/41
  • ඉතාලිය – සියලුම දෙනා දැවී 178 (20.0) Justin Mosca 43, Ben Manenti 60, Grant Stewart 45, Jofra Archer 2/35, Jamie Overton 3/18, Sam Curran 3/22

එංගලන්ත කණ්ඩායමට ලකුණු 24ක ජයක්.

තරගයේ වීරයා – Will Jacks (එංගලන්තය)

විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට මෙන්ම, සජීවී තරග අත්දැකීම ද ඔබ සමඟ බෙදා හදා ගැනීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<