2026 විස්සයි විස්ස ලෝක කුසාලනය මේ වන විට ඉතා උණුසුම් ස්ථානයකට පැමිණ තිබෙනවා.
විශේෂයෙන්ම තරගාවලියේ මූලික වටයේ තරග වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කර අවසන් වීමත් සමඟ එක්, එක් කණ්ඩායම් සුපිරි 08 වටය සඳහා සුදුසුකම් ලබමින් සිටින කාල වකවානුවකුයි මේ වන විට ගෙවී යන්නේ.
ඊයේ (15) දිනයේ දී ඉන්දියාව විසින් පාකිස්තානය පරාජය කරමින් සුපිරි 08 වටයට සුදුසුකම් ලැබීමට සමත් වූ අතර, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ද මේ වන විට සුපිරි 08 වටය සඳහා සුදුසුකම් ලබා අවසානයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ඇතුළත් ව සිටින B කාණ්ඩයෙන් තවමත් එකදු කණ්ඩායමක් හෝ සුපිරි 08 වටයට සුදුසුකම් ලබා නොමැති අතර, අද (16) ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත තරගය මෙම කාණ්ඩයේ වඩාත් තීරණාත්මක ම තරගය වනු ඇති.
A කාණ්ඩය
පෙර සඳහන් කළ පරිදි ම ඉන්දියාව මේ වන විටත් සුපිරි 08 වටය සඳහා සුදුසුකම් ලබා අවසානයි.
කෙසේ වෙතත් ඊයේ ලද පරාජයත් සමඟ පාකිස්තානය මේ වන විට ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට ඇද වැටී ඇති අතර, ඇමරිකා එක්සත් ජනපදය දෙවැනි ස්ථානයේ රැඳෙනවා.
කෙසේ වෙතත් නැමීබියාව සමඟ පැවැත්වීමට නියමිත තරගය ජය ගැනීම පාකිස්තානයට සුපිරි 08 වටයට පිවිසීමට ප්‍රමාණවත් වනු ඇති.
නමුත් පාකිස්තානය එම තරගයෙන් නැමීබියාව හමුවේ පරාජය වුව හොත් ඇමරිකා එක්සත් ජනපදයට සුපිරි 08 වටයට පිවිසීමේ අවස්ථාව හිමි වනු ඇති.
B කාණ්ඩය
මෙම තරගාවලියේ කිසිවකු හෝ බලාපොරොත්තු නොවූ ලෙස උණුසුම් වූ තරග කාණ්ඩය මෙය ලෙස හඳුනා ගත හැකි. සිම්බාබ්වේ ඉදිරියේ ඕස්ට්‍රේලියාව ලද පරාජය හේතුවෙන් මෙම සියලු ගැටලුකාරී තත්ව පැන නැගුණු අතර, ඕස්ට්‍රේලියාව අද දිනයේ ශ්‍රී ලංකාව හමුවේ පරාජය වුව හොත් (සිම්බාබ්වේ විසින් අයර්ලන්තය පරාජය කිරීමට සමත් වුව හොත්) ඔවුන් තරගාවලියෙන් ඉවත් වීමට පවා ඉඩකඩ තිබෙනවා. ඕස්ට්‍රේලියාව සුපිරි අට වටයට පහසුවෙන් සුදුසුකම් ලබා ගැනීමට නම් ඔවුන් ශ්‍රී ලංකාව සහ ඕමානය පරාජය කිරීම අනිවාර්ය තත්වයකයි පවතින්නේ.
එමෙන්ම ශ්‍රී ලංකාව විසින් අද ඕස්ට්‍රේලියාව පරාජය කිරීම සුපිරි 08 වටයට පිවිසීමට ප්‍රමාණවත් වන අතර, අද ඔවුන් ඕස්ට්‍රේලියාව හමුවේ පරාජය වුව හොත් ඔවුන්ට සිම්බාබ්වේ සමඟ පැවැත්වෙන තරගය අනිවාර්යයෙන්ම ජය ගත යුතු තත්වයකට පත් වනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ඉතිරි තරග දෙකම පරාජය වීමෙන් පසුවද සුපිරි 08 වටයට සුදුසුකම් ලබා ගැනීමට ඉතා සුළු ඉඩකඩක් නිර්මාණය වනු ඇති.
එමෙන්ම අයර්ලන්තය සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත තරගයේ තීරණය ශ්‍රී ලංකාවට සහ ඕස්ට්‍රේලියාවට අතිශය වැදගත් වීමට ද ඉඩ තිබෙනවා.
මේ අතර සිම්බාබ්වේ කණ්ඩායමට ද අයර්ලන්තය සහ ශ්‍රී ලංකාව සමඟ තරග ද්විත්වය ජය ගත හැකි නම් පහසුවෙන් සුපිරි 08 වටයට සුදුසුකම් ලබා ගත හැකි. ඉන් එක් තරගයක් ජය ගත හොත් ඔවුන්ට දළ ලකුණු වේගය මත තීරණයක් හිමි වනු ඇති.
ඒ අනුව මෙම කාණ්ඩයෙන් සුපිරි 08 වටයට සුදුසුකම් ලැබීම සඳහා බොහෝ දුරට දළ ලකුණු වේගය බලපෑම් කරනු ඇති බව අනුමාන කළ හැකි.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
C කාණ්ඩය
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මේ වන විටත් සුපිරි 08 වටය සඳහා සුදුසුකම් ලබා අවසානයි. කෙසේ වෙතත් එංගලන්තය තවමත් සුපිරි 08 වටය වෙනුවෙන් සුදුසුකම් ලබා නොමැති අතර, සුදුසුකම් ලබා ගැනීමට නම් ඔවුන් අනිවාර්යයෙන්ම ඉතාලිය පරාජය කළ යුතු වනවා.
යම් හෙයකින් එංගලන්තය ඉතාලිය හමුවේ පරාජය වුව හොත් සහ ස්කොට්ලන්තය විසින් නේපාලය පරාජය කළ හොත් මෙම කාණ්ඩයෙන් සුපිරි 08 වටයට සුදුසුකම් ලබනා අනෙක් කණ්ඩායම සොයා ගැනීමට දළ ලකුණු වේගය උපයෝගී කර ගැනීමට සිදු වනු ඇති.
D කාණ්ඩය
මෙම කාණ්ඩය තුළින් තවමත් එකදු කණ්ඩායමක් හෝ සුපිරි 08 සඳහා සුදුසුකම් ලබා නැහැ. කෙසේ වෙතත් ඇෆ්ගනිස්තානය විසින් අද එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරාජය කිරීමට සමත් වුව හොත්, දකුණු අප්‍රිකාවට සුපිරි 08 වරම් ලබා ගැනීමට හැකි වනු ඇති.
නවසීලන්තයට සුපිරි 08 වරම් ලබා ගැනීමට කැනඩාව සමඟ ජය අනිවාර්යයෙන් අවශ්‍ය වනවා. එසේ නොමැති වුව හොත් දළ ලකුණු වේගය මත පමණක් ඔවුන්ට සුපිරි 08 වටයට පිවිසීමට සිදු වනු ඇති.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සුපිරි 08 වටයට පිවිසීමට නම් ඉතිරි තරග ද්විත්වයම ජය ගැනීමට සිදු වන අතර, ඇෆ්ගනිස්තානයට ද සිය ඉතිරි තරග ද්විත්වයම ජය ගන්නවාට අමතරව නවසීලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉතිරි සියලු තරග පරාජය වන තෙක් බලා හිඳීමට ද සිදු වනවා.
මේ අයුරින් මෙවර ලෝක කුසලානයේ සුපිරි 08 වටය වෙනුවෙන් කණ්ඩායම්වලට ඇති අවස්ථා හඳුනා ගත හැකි.
කෙසේ වෙතත් බොහෝ දෙනා තරගාවලිය ආරම්භ වීමට පෙර අනුමාන කළේ D කාණ්ඩය වඩා තරගකාරී එකක් වනු ඇති බව වූ නමුත්, මේ වන විට B කාණ්ඩය තුළ වඩාත් උණුසුම් සහ විවෘත තරගයක් නිර්මාණය වී තිබෙනවා.
2026 විස්සයි විස්ස ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ද ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















