මෙවර තරගාවලියේ මෙතෙක් හොඳම ඉනිම අයර්ලන්තයෙන්

ICC Men's T20 World Cup 2026

6

අයර්ලන්තය, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව ජයග්‍රහණ ලබා ගත් 10 වැනි විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 3ක් පෙර දිනයේ (14) අවසන් වූණා. 

එහි දී මෙවර තරගාවලියේ මෙතෙක් කණ්ඩායමක් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරිමට අයර්ලන්ත ක්‍රීඩකයෝ සමත් වෙනවා. ඕමානයට එරෙහි ව වාර්තා වූ එම ඉනිම  විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළ ම ඉනිම් ලැයිස්තුවේ 2 වැනි අසුනට පත් දක්ෂතාවය ද වූවා.  

ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තිදෙනෙක් 2026 PSL තරගාවලියට

22 වැනි තරගය, Group B, අයර්ලන්තය සහ ඕමානය අතර 

කොළඹ SSC ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඕමාන නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි අයර්ලන්ත ක්‍රීඩකයෝ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 235ක් ලබා ගන්නා ලද අතර ඊට පිළිතුරු ඉනිමට ඕමාන කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 139ක් පමණයි.  

පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත ඉනිම වෙනුවෙන් නායක Lorcan Tucker තම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ හොඳම ඉනිම ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 94ක් ලබා ගන්නවා. එම ඉනිම පන්දු 51කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 10ක් සහ හයේ පහර 4ක් එක් කිරීමට ද ඔහු සමත් වෙනවා.  

ඔහු, Gareth Delany ද එක් කර ගනිමින් 5 වැනි කඩුල්ලට ලකුණු 101ක සබඳතාවක් ද සහ  George Dockrell හා එක් ව 6 වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 70ක් ද එක් කරනවා.

එහි දී Gareth Delany පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 56ක් ද සහ George Dockrell පන්දු 9ක දී හයේ පහර 5ක් සමඟින් නොදැවුණ ලකුණු 35ක් ද ලබා ගන්නවා.  

කඩුලු දවා ගැනීමේ දී Shakeel Ahmed ලකුණු 33කට කඩුලු 3ක් දවා ගත්තා.  

පිළිතුර ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ඕමාන කණ්ඩායමේ ආරම්භය එතරම් ම සාර්ථක වෙන්නේ නැහැ. ඔහුන්ගේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 24ක් වෙද්දී දැවී යනවා. එසේ වූවත් 3 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 49ක දී ලුණු 73ක් එක් කිරීමට Aamir Kaleem සහ Hammad Mirza සමත් වෙනවා.  

මෙවර තරගාවලියට එක් ව සිටින වයස්ගත ම ක්‍රීඩකයා වන Aamir Kaleem පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් ද සමඟින් ලකුණු 50කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.  

Hammad Mirza, 6 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 46ක් ලබා සිටියා. ඊට අමතර ව Sufyan Mehmood පන්දු 11ක දී ලකුණු 10ක් ලබා ගත් අතර අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පිවිසීමට හැකි වූයේ නැහැ.

ඕමාන පිතිකරුවන් අමාරුවේ දමද්දී Josh Little ලකුණු 16කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Matthew Humphreys සහ Barry McCarthy කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

අයර්ලන්තය – කඩුලු 5ක් දැවී 235 (20.0) Lorcan Tucker නොදැවී 94, Gareth Delany 56, George Dockrell නොදැවී 35, Shakeel Ahmed 3/33 

ඕමානය – සියලුම දෙනා දැවී 139 (18.0) Aamir Kaleem 50, Hammad Mirza 46, Matthew Humphreys 2/27, Barry McCarthy 2/32, Josh Little 3/16 

 

අයර්ලන්ත කණ්ඩායමට ලකුණු 96ක ජයක්.  

තරගයේ වීරයා – Lorcan Tucker (අයර්ලන්තය)  


23 වැනි තරගය (දිවා/රාත්‍රී), Group C, ස්කොට්ලන්තය සහ එංගලන්තය අතර  

Kolkata හි Eden Gardens ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්තය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ස්කොට්ලන්ත ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 152ක් පමණයි.  

එම ඉනිමේ පළමු පන්දුවාර 6 අවසන් වෙන්නේ ලකුණු 42කට කඩුලු 3ක් දැවී යමින්. ඉන් ලකුණු 33ක් ම ලබා ගන්නේ Michael Jones විසින්. ඔහු මෙම ලකුණු සංඛ්‍යාව පන්දු 20ක දී ලබා ගන්නා ලද අතර ඊට හතරේ පහර 5ක් සහ හයේ පහරක් ද ඇතුලත් කර තිබුණා.  

ඉනිමේ සිව් වැනි කඩුල්ල වෙනුවෙන් නායක Richie Berrington සහ Tom Bruce එක් ව පන්දු 41ක දී ලකුණු 71ක සබඳතාවක් ගොඩ නගනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ Tom Bruce ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 18ක දි හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 24ක් ලබා සිටියා.  

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව ඉනිමට එක් වූ ලකුණු 14ක දී තවත් කඩුලු 4ක් දවා ගැනීමට ප්‍රතිවාදීන් සමත් වෙනවා. ඒ දැවී ගිය කඩුලු අතර නායක Richie Berrington ගේ ඉනිම ද වෙනවා. ඔහු දැවී යන විට පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 49ක් ලබා සිටියා.

ඉනිම අවසන් වන විට  Oliver Davidson පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 20ක් ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී Adil Rashid කඩුලු 3ක් ද, Jofra Archer සහ Liam Dawson කඩුලු ද්විත්වය බැගින් ද දවා ගත්තා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි එංගලන්ත ක්‍රීඩකයෝ තවත් පන්දු 10ක් ද ඉතිරි කරගනිමින් කඩුලු 5ක් පමණක් දැවී ප්‍රතිවාදී ඉලක්කය පසු කරනවා. එම ඉනිමේ කඩුලු 2ක් ලකුණු 13කට අහිමි වූ පසුව පිටියේ එක් වූ Jacob Bethell සහ Tom Banton පන්දු 45ක දී ලකුණු 66ක් එක් කරමින් තරගයේ ජයග්‍රහණයට මඟ පෙන් වූවා.  

එහි දී Jacob Bethell පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 32ක් ලබා ගත් අතර, ඉනිම අවසන් වෙද්දී Tom Banton පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 63ක් ලබා සිටියා.  

එංගලන්ත ඉනිමේ දැවී ගිය කඩුලු 5 පන්දු යවන්නන් 5 දෙනෙක් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

ස්කොට්ලන්තය- සියලුම දෙනා දැවී 152 (19.4) Michael Jones 33, Richie Berrington 49, Tom Bruce 24, Oliver Davidson නොදැවී 20, Jofra Archer 2/24, Adil Rashid 3/36, Liam Dawson 2/34 

 

එංගලන්තය- කඩුලු 5ක් දැවී 155 (18.2) Jacob Bethell 32, Tom Banton නොදැවී 63, Sam Curran නොදැවී 28 

 

එංගලන්ත කණ්ඩායමට කඩුලු 5ක ජයක්.  

තරගයේ වීරයා – Tom Banton (එංගලන්තය)  


24 වැනි තරගය (රාත්‍රී), Group D, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර 

Ahmedabad හී Narendra Modi ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ නෙදර්ලන්ත නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නවසීලන්ත ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 175ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ තවත් පන්දු 17ක් ද ඉතිරි කරගනිමින් කඩුලු 3ක් පමණක් දැවී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගන්නවා.  

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත ඉනිම වෙනුවෙන් Mark Chapman, Daryl Mitchell සහ Finn Allen දක්ෂතා දැක් වූවා. ඔවුන් අතුරින් හොඳම ඉනිම ක්‍රීඩා කරන්නේ Mark Chapman. ඔහු පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 48ක් ලබා ගන්නවා.  

ඊට අමතර ව  Daryl Mitchell පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 32ක් ද සහ Finn Allen පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 31ක් ද ලබා ගත්තා. 

කඩුලු දවා ගැනීමේ දී 25 හැවිරිදි වියේ පසුවෙන වමතින් මඳ වේග පන්දු යවන Marco Jansen ලකුණු 40කට කඩුලු 4ක් දවා ගන්නවා. එය ඔහුගේ තරග 27ක් වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ඉතිහාසයේ හොඳම පන්දු යැවීමයි.  

ප්‍රතිවාදී දකුණු අප්‍රිකා ඉනිමේ පළමු පන්දුවාර 6 අවසන් වෙන්නේ කඩුල්ලක් අහිමි වෙමින් ලකුණු 83ක් ලබා ගනිමිනුයි.  

ඉනිම ආරම්භ කළ නායක Aiden Markram සහ Quinton de Kock එක් ව පළමු කඩුල්ලට පන්දු 20ක දී ලකුණු 62ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වෙනවා. එහි දී Quinton de Kock පන්දු 14ක දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 20කට දැවී යෑමත් සමඟින් පළමු කඩුල්ලේ සබඳතාව නිමා වෙනවා 

අනතුරු ව පිටියට එක් වූ Ryan Rickelton පන්දු 11ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 21කට ද සහ Dewald Brevis පන්දු 17ක දී හයේ පහරක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 21කට ද දැවී යනවා.  

දකුණු අප්‍රිකානුවෝ ජයග්‍රහණය කරා යද්දී ඉනිම ආරම්භ කළ Aiden Markram පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 86ක් ලබා ගනිමින් තම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 72ක ඉතිහාසයේ හොදම ඉනිම ද වාර්තා කරනවා.  

අනෙක් අන්තයෙන් නොදැවී පිටියේ රැඳී සිටි David Miller පන්දු 17කට මුහුණ දෙමින් හතරේ සහ හයේ පහර බැගින් එල්ල කරමින් ලකුණු 24ක් ලබා සිටියා.  

දකුණු අප්‍රිකානු ඉනිමේ දැවී ගිය කඩුලු 3 පන්දු යවන්නන් තිදෙනෙක් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

නවසීලන්තය – කඩුලු 7ක් දැවී 175 (20.0) Finn Allen 31, Mark Chapman  48, Daryl Mitchell 32, James Neesham නොදැවී 23, Marco Jansen 4/40 

 

දකුණු අප්‍රිකාව – කඩුලු 3ක් දැවී 178 (17.1) Aiden Markram නොදැවී 86, Quinton de Kock 20, Ryan Rickelton 21, Dewald Brevis 21, David Miller නොදැවී 24  

 

දකුණු අප්‍රිකානු කණ්ඩායමට කඩුලු 7ක ජයක්.  

තරගයේ වීරයා – Marco Jansen (දකුණු අප්‍රිකාව) 

විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට මෙන්මසජීවී තරග අත්දැකීම ද ඔබ සමඟ බෙදා හදා ගැනීමට ThePapare සූදානම්රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<