Usman Tariqගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ ගැටලුව දරුණු වෙයි!

ICC Men's T20 World Cup 2026

2
ICC Men's T20 World Cup 2026

පාකිස්තාන දඟපන්දු යවන ක්‍රීඩක Usman Tariqගේ පන්දු යැවීම පිළිබඳ මේ වන විට විශාල කතා බහක් ඇති වී තිබෙනවා.

ඊයේ (10) පාකිස්තානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පැවැත්වුණු ලෝක කුසලාන තරගයේ දී Tariq විසින් ලකුණු 27ක් පමණක් ලබා දෙමින් කඩුලු තුනක් බිඳ හෙළීමට සමත් වුනා. එමෙන්ම එම පන්දු යැවීම පාකිස්තානයට ජයග්‍රහණය ලැබීමේ ප්‍රධානතම හේතුවක් වූ බවත් නොරහසක්.

මීට පෙර අවස්ථා දෙකක දී Tariqගේ පන්දු යැවීම පිළිබඳ ගැටලු මතු වූ අතර, එම අවස්ථා දෙකේ දීම ඔහු සිය පන්දු යැවීමේ නිරවද්‍යතාව තහවුරු කිරීමට සමත් වුනා.

කෙසේ වෙතත් මෙවර එයට වඩා ඉහළ ජාත්‍යන්තර අවධානයක් යොමු වී තිබෙනවා.

එමෙන්ම මීට පෙර ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර පැවැත්වුණු තරගයක් අතරතුර ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක Cameron Green විසින් Tariq හමුවේ දැවී යාමෙන් පසුව, තරමක් කලකිරුණු ස්වභාවයකින් Tariqගේ පන්දු යැවීම පුණුරූපනය කරනා වීඩියෝ පටයක් ද පසුගිය කාලය පුරාවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුනා.

https://x.com/i/status/2017598353777820098

Tariqගේ අසාමාන්‍ය පන්දු යැවීමට එක් හේතුවක් ලෙස ඔහුගේ වැළමිට සන්ධි වීම් දෙකක් සිදු වී ඇති බව සඳහන් වනවා. මේ හේතුවෙන් ඔහුට සිය අත සම්පූර්ණයෙන්ම දිග හැරිය නොහැකි බවයි වාර්තා වන්නේ. මීට පෙර හිටපු සුපිරි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හට ද මෙවන් ගැටලුවකට මුහුණ දීමට සිදු වුනා.

කෙසේ වෙතත් Tariqගේ පන්දු යැවීම සම්බන්ධයෙන් ඊටත් වඩා කතාබහට ලක් වන තවත් කරුණක් තිබීම විශේෂත්වයක්.

පාපන්දු ක්‍රීඩකයින්ට පවා දඬුවම් පහරක් එල්ල කරන්න යන අතර මැද නතර වෙවී යන්න බැහැ. ඉතින් මේක නිවැරදි වෙන්නේ කොහොමද?

ඇක්ශන් එක අවුලක් නැහැ. ඒත් නතර වීම?

ඒකත් පන්දු යවන්න ඔන්න මෙන්න අවස්ථාවක. මේක දිගටම මෙහෙම වෙන්න බැහැ.

Usman Tariqගේ පන්දු යැවීම පිළිබඳ අදහස් දැක්වූ ඉන්දීය ජාතික Shreevats Goswami එසේ සඳහන් කර තිබුණා.

මෙහි දී වඩා ඉහල අවධානයක් යොමු වන කරුණක් වන්නේ, ඔහු පන්දු යැවීමට දිව යන අතරමග පන්දුව නොයවා තත්පරයක් හෝ දෙකක පමාවක් සහිතව පන්දු යැවීමයි. මේ හේතුවෙන් ඔහුට පිතිකරුවා නිරීක්ෂණය කර වඩා පහසුවෙන් පන්දු යැවීම සිදු කළ හැකි වනවා. එමෙන්ම මෙය පිතිකරුවාගේ මානසික ඒකාග්‍රතාව බිඳ වැටීමට එය හේතු විය හැකි.

කෙසේ වෙතත් මෙම සංවාදය පිළිබඳ අදහස් පළ කළ ඉන්දීය ඳඟපන්දු යවන ක්‍රීඩක Ravichandran Ashwin මෙසේ සඳහන් කරනවා.

ඇත්ත පාපන්දුවල දී එහෙම ඉඩ දෙන්නේ නැහැ. ඒත් පිතිකරුවාට පුළුවන් නම් විනිසුරු හෝ පන්දු යවන්නා දැනුවත් වීමකින් තොරව Switch Hit, Reverse පහර එල්ල කරන්න, ඇයි පන්දු යවන්නන්ට විතරක් මෙහෙම සීමා පනවන්නේ. ඇත්තටම පන්දු යවන්නාට විනිසුරු දැනුවත් කිරීමකින් තොරව පන්දු යවන අත මාරු කරන්න බැහැනේ.

මින් පසුවත් බොහෝ දෙනා විසින් මේ පිළිබඳ අදහස් පල කරමින් සිටිනවා. එහි දී බොහෝ අදහස් Tariqගේ පන්දු යැවීම ප්‍රශ්න කරන තත්වයකයි සිටින්නේ. විශේෂයෙන්ම ඔහු පන්දු යැවීම අතර තුර සිදු කරන පමා කිරීම් පිළිබඳ විවේචන වැඩි වශයෙන් එල්ල වනවා. කෙසේ වෙතත් Ashwin මෙන්ම Akash Chopra වැනි පිරිසක් එම පමා කිරීම පිළිබඳ ඉතාම සන්සුන් ප්‍රතිචාර දැක්වීමත් විශේෂත්වයක්.

ඉන්දියාව සහ පාකිස්තානය අතර විස්සයි විස්ස ලෝක කුසලාන තරගය එළඹෙන 15 වැනි දා පැවැත්වීමට නියමිතයි. මෙම තරගයේ දී Usmanගේ පන්දු යැවීම පිළිබඳ කතාබහ තවත් උග්‍ර වනු ඇති.

එමෙන්ම 2026 විස්සයි විස්ස ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<