යොවුන් ලෝක කුසලානය 6 වැනි වරටත් දිනා ගැනීමට ඉන්දීය වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෝ (6) සමත් වෙනවා. 16 වැනි වරටත් පැවැති මෙවර යොවුන් ලෝක කුසලාන තරගාවලිය සිම්බාබ්වෝ සහ නැමීබියාවේ සත්කාරකත්වයෙන් පැවැති අතර එහි දී ඉන්දීය කණ්ඩායම වෙතින් පරාජයට පත් වෙන්නේ එංගලන්ත කණ්ඩායමයි.
1998 වසරේ දී යොවුන් ලෝක ශූරයන් වූ ඔවුන්ට මෙවර එම අවස්ථාව අහිමි වෙන්නේ 2 වැනි අවස්ථාවටයි. ඔවුන් මීට පෙර ඔවුන් 2022 වසරේ දී ද අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා ලද අතර එහි දී ද ඉන්දියාව හමුවේ මෙම ඉරණමට මුහුණ දීමට සිදු වෙනවා.
සිම්බාබ්වේ හී Harare ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැති අවසන් මහා තරගයේ දී කාසියේ වාසිය දිනාගත් ඉන්දීය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් කඩුලු 9ක් දැවී ලකුණු 411ක් ලබා ගන්නවා.
එම ඉනිමට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 311ක් පමණයි.
මෙම තරගයේ දී ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම එක් ව ලකුණු 722ක් ලබා ගන්නා ලද අතර එය ලෝක කුසලාන තරග ඉතිහාසයේ කණ්ඩායම් 2ක් එක් ව වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුණා.
ඉන්දීයාව මීට පෙර 2000, 2008, 2012, 2018 සහ 2022 වසරවල දී යොවුන් ලෝක කුසලානය දිනා ගැනීමට සමත් වුණා.
ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
Ayush Mhatre (නායක), Aaron George, Vaibhav Sooryavanshi, Vedant Trivedi, Vihaan Malhotra, Abhigyan Kundu (කඩුලු රකින්නා), RS Ambrish, Kanishk Chouhan, Khilan Patel, Henil Patel, Deepesh Devendran.
එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
Thomas Rew (නායක සහ කඩුලු රකින්නා), Ben Dawkins, Joseph Moores, Ben Mayes, Caleb Falconer, Ralphie Albert, Farhan Ahmed, Sebastian Morgan, James Minto, Manny Lumsden, Alex Green.
තරගයේ ආරම්භයේ සිට ම එංගලන්ත පන්දු යවන්නෝ සෙල්ලමකට ගත් ඉන්දීය පිතිකරුවෝ ඔවුන්ට සිතූ සේ හුස්ම ගැනීමට හෝ ඉඩක් ලබා දුන්නේ නැහැ. ඒ අතර පෙරමුණ ගත්තේ තවමත් 14 වැනි වියේ පසුවෙන වමත් ආරම්භක පිතිකරු Vaibhav Sooryavanshi.
ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 20ක දී අහිමි වෙන අතර එතැන් සිට Vaibhav Sooryavanshi සහ නායක Ayush Mhatre එක් ව, එංගලන්ත පන්දු යවන්නන්ගේ ඉරණම කණපිට පෙරළුවා. ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 90ක දී ලකුණු 142ක සබඳතාවක් ගොඩ නගනවා.
එම සබඳතාව නතර වෙන්නේ Ayush Mhatre ගේ දැවී යෑමෙන් අනතුරුවයි. ඒ වෙද්දී ඔහු පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 53ක් ලබා සිටියා.
ඉන්දීය ඉනිමේ 3 වැනි කඩුල්ල ලෙසින් Vaibhav Sooryavanshi දැවී යන විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 175ක්. ඔහු ඒ වෙනුවෙන් පන්දු 80ක් පමණක් වැය කළ අතර හයේ පහර 15ක් සහ හතරේ පහර 15ක් ඊට ඇතුලත් කළා. එය යොවුන් ලෝක කුසලාන තරග ඉතිහාසයේ ඉන්දීය පිතිකරුවෙක් ලබා ගත් ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුණා.
එතැන් සිට ද ඉන්දීය පිතිකරුවන්ගේ වේගවත් ප්‍රහාරය නතර වූයේ නැහැ. ඔවූන්ගේ ලකුණු 300, 35 වැනි පන්දුවාරයේ පන්දු 2ක් ඉක්ම යද්දී වාර්තා වන අතර 400 වැනි ලකුණ වාර්තා වෙද්දී ඔවුන් උපයෝගී කරගෙන තිබුණේ පන්දු 297ක් පමණයි.
ඉන්දීය පසු පෙළ වෙනුවෙන් Abhigyan Kundu පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 40ක් ද, Kanishk Chouhan පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 37ක් ද, Vedant Trivedi පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 32ක් සහ Vihaan Malhotra පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 30ක් ලෙසින් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී James Minto ලකුණු 63කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව Alex Green සහ Sebastian Morgan කඩුලු ද්විත්වය බැගින් ද Manny Lumsden කඩුල්ලක් ද දවා ගන්නවා.
- T20 ලෝක කුසලානයේ ඉතිහාසය
- T20 ලෝක කුසලානයට එන සියලු ක්‍රීඩක සංචිත සහ බලාපොරොත්තු සහගත තරග
- ශ්‍රී ලංකා T20 ලෝක කුසලාන සංචිතය නම් කරයි
එංගලන්ත යොවුන් කුසලාන ඉතිහාසයේ ඉහළ ම හඹා යෑමට පිටියට පිවිසි ඔවුන්ට තම පළමු කඩුල්ල ලකුණු 19 දී අහිමි වෙනවා. එහෙත් 2 වැනි කඩුල්ල සඳහා පන්දු 49ක දී ලකුණු 74ක සබඳතාවක් ගොඩ නැගීමට Ben Dawkins සහ Ben Mayes සමත් වෙනවා.
Ben Mayes පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 45ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා. ඒ වෙද්දී එංගලන්ත ලකුණු පුවරුව 93ක් ව තිබුණා.
ඉන්දීය ප්‍රහාරය තරමට ම නොවූවත් එම ඉනිමට ආසන්න ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගනිමින් ප්‍රතිවාදින් සලිත කිරීමට එංගලන්ත ඉදිරි පෙළ පිතිකරුවෝ සමත් වූවා. ඒ අතරට පෙරමුණ ගත්තේ Ben Dawkins. ඔහු පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 66ක් ලබා සිටිය දී 4 වැනි කඩුල්ලට දැවී යන තෙක් ම එම ප්‍රහාරාත්මක වේගය රැඳී පැවැතියා.
නමුත් ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව තවත් පන්දු 8ක දී ලකුණු 3ක් තුළ කඩුලු 3ක් දවා ගනිමින් එම වේගය අඩාල කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වෙනවා. ඒ අනුව ඉනිමේ තවත් පන්දු 58ක් ඉතිරි ව තිබිය දී එංගලන්ත ඉනිම අවසන් කිරිමට ද ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වෙනවා.
එහෙත් එංගලන්ත ඉනිමේ අවසන් කඩුලු 3 එක් ව තවත් ලකුණු 134ක් එක් කර ගැනීමට සමත් වීම කැපි පෙණුනා. ඒ සඳහා ඔවුන්ට වැය වෙන්නේ පන්දු 134ක් වීමත් විශේෂත්වයක් වූ අතර එහි දී වැඩි වැඩ කොටසක් ඉටු කළේ Caleb Falconer.
ඔහු ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 115ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී RS Ambrish ලකුණු 56කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව Deepesh Devendran සහ Kanishk Chouhan කඩුලු ද්විත්වය බැගින් ද Ayush Mhatre සහ Khilan Patel කඩුල්ල බැගින් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 9ක් දැවී 411 (50.0) Vaibhav Sooryavanshi 175, Ayush Mhatre 53, Vedant Trivedi 32, Vihaan Malhotra 30, Abhigyan Kundu 40, Kanishk Chouhan නොදැවී 37, Sebastian Morgan 2/74, Alex Green 2/49, James Minto 3/63
එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 311 (40.2) Ben Dawkins 66, Ben Mayes 45, Thomas Rew 31, Caleb Falconer 115, James Minto 28, RS Ambrish 3/56, Deepesh Devendran 2/64, Kanishk Chouhan 2/63
ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 100ක ජයක්.
- තරගයේ වීරයා – Vaibhav Sooryavanshi (ඉන්දියාව)
- තරගාවලියේ වීරයා – Vaibhav Sooryavanshi (ඉන්දියාව)
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare.com සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















