බංග්ලාදේශය පළමු ජය ලබයි

ICC U 19 Cricket World Cup 2026

2
ICC U 19 Cricket World Cup 2026

16 වැනි යොවුන් ලෝක කුසලාන තරගාවලියේ 9 වැනි දිනය වූ අද (23) දවස නිමා වෙන්නේ බංග්ලාදේශය සහ ඕස්ට්‍රේලියාව ජයග්‍රහණ වාර්තා කරමින්.

තරගාවලියේ 22 වැනි තරගය ලෙසින් පැවැති ඇමරිකාව සහ බංග්ලාදේශය අතර තරගයෙන් බංග්ලාදේශය කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගත් අතර ඔවුන් මෙම තරගාවලියේ ලබා ගත් පළමු ජයග්‍රහණය වූයේ ද එයයි.

මේ අතර අද තරගාවලියේ 23 වැනි තරගය ලෙසින් පැවැති ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ කඩුලු 9ක ජයග්‍රහණයක් ලබා ගනිමින් තරගාවලියේ අපරාජිත ව ඉදිරියට පිවිසියා.

එම තරගයත් සමඟින් තරගාවලියේ  A කාණ්ඩයේ පළමු වටයේ තරග අවසන් වූ අතර ඒ අනුව  ප්‍රසාද ලකුණු පුවරුවේ 1 වැනියා වෙමින් ඕස්ට්‍රේලියාව ද සහ 2 වැනියා වෙමින් ශ්‍රී ලංකාව ද සුපිරි 6 දෙනාගේ වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගන්නවා.

>>ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්!

22 වැනි තරගය, Group B, ඇමරිකාව සහ බංග්ලාදේශය අතර 

Harare, Takashinga ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ බංග්ලාදේශ නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඇමරිකානු ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 199ක් ලබා ගත්තා.

එම ඉනිමේ ආරම්භය එතරම් ම සාර්ථක වූයේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 6ක් වෙද්දී දැවී ගියා. අනතුරු ව 3 වැනි කඩුල්ලේ දී පන්දු 90ක දී ලකුණු 51ක සබඳතාවක් එක් කරමින් ලකුණු පුවරුව යම් ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමට Sahil Garg සහ නායක Utkarsh Srivastava සමත් වුණා.

එහි දී Sahil Garg පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 39ක් ද සහ Utkarsh Srivastava පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 39ක් ද ලබා ගත්තා.

අනතුරු ව මැද පෙළින් පිටියට පිවිසි Adnit Jhamb ඉනිම අවසන් වන විට පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 68ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Iqbal Hossain Emon ලකුණු 41කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Rizan Hossan, Shahriar Ahmed සහ Al Fahad කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ ක්‍රීඩකයෝ ප්‍රතිවාදී ඉලක්කය කඩුලු 3ක් පමණක් දැවී සපුරා ගන්නවා. එහි දී ආරම්භක කඩුල්ලේ සිට ම ප්‍රතිවාදීන් අසරණ කිරීමට ඔවුන් වගබලා ගත්තා.

Zawad Abrar සහ Rifat Beg එක් ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් ඔවුන් එක් කළ ලකුණු සංඛ්‍යාව 78ක්. එහි දී Zawad Abrar පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 47කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී යනවා.

අනතුරු ඉනිමට තවත් ලකුණු 10ක් පමණක් එක් වෙද්දී Rifat Beg ද දැවී යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 30ක් ලබා සිටියා.

ඉනිමේ සාර්ථක ම ලකුණු සබඳතාව වූයේ 3 වැනි කඩුල්ලට නායක Azizul Hakim සහ Kalam Siddiki එක් ව එක් කළ ලකුණු 88යි. එහි දී Azizul Hakim පන්දු 82කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 64ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට ද පත් වෙනවා.

තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී Kalam Siddiki පන්දු 55කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 30ක් ද සහ Rizan Hossan පන්දු 16කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 20ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Ritvik Appidi, Utkarsh Srivastava සහ Sahil Garg කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ඇමරිකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 199 (50.0)Sahil Garg35, Utkarsh Srivastava 39, Adnit Jhamb 68, Al Fahad 2/38, Iqbal Hossain Emon 3/41, Shahriar Ahmed 2/32, Rizan Hossan 2/27
  • බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම– කඩුලු 3ක් දැවී 201 (41.3)Zawad Abrar 47, Rifat Beg 30, Azizul Hakim 64, Kalam Siddiki නොදැවී 30, Rizan Hossan නොදැවී 20

බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

තරගයේ වීරයා – Iqbal Hossain Emon (බංග්ලාදේශය)

2026 වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් ලෝක කුසලානයේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<