එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ පළමු එක්දින තරගය අද (22) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.
තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සතු වූ අතර, ඔහුගේ තීරණය අනුව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් ලෙස පැතුම් නිස්සංක සහ කමිල් මිශාර පිටියට අවතීර්ණ වුනා.
ඔවුන් දෙදෙනා විසින් ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 50ක් එක් කිරීමට සමත් වූ අතර, පැතුම් ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 21කට දැවී ගියා. එමෙන්ම ඉන් මොහොතකට පසුව කමිල් මිශාර ද ලකුණු 27ක් ලබා පිටියෙන් ඉවත් වුනා.
ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම කඩුලු 2කට ලකුණු 54ක් ලෙස සටහන් වූ අතර, ඉන් පසුව ධනංජය ද සිල්වා සහ කුසල් මෙන්ඩිස් කඩුල්ලේ එක් වුනා. කෙසේ වෙතත් ධනංජයට අද දිනයේ සාර්ථක වීමට හැකි වුනේ නැහැ.
ඔහු ලකුණු 10කට ඉනිම අවසන් කරන විට, නායක චරිත් ලකුණු 17ක් ලබමින් පිටියෙන් ඉවත් වුනේ ශ්‍රී ලංකා ඉනිම යම් අවදානමකට නතු කරමිනුයි. ශ්‍රී ලංකා ඉනිමේ හතර වැනි කඩුල්ල ලකුණු 124 දී බිඳ වැටීමෙන් පසුව කුසල් සමඟ කඩුල්ලේ එක් වූ ජනිත් ලියනගේ සිය සුපුරුදු ස්ථාවර ඉනිම ක්‍රියාත්මක කළ අතර, ඔහු පන්දු 53කින් ලකුණු 46ක් වාර්තා කළේ හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟයි. ඔහු කුසල් සමඟ පස් වෙනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 88ක සබඳතාවක් ගොඩ නැගූ අතර, ඔහුගේ දැවී යාමෙන් පසුව පිටියට අවතීර්ණ වූ පවන් රත්නායක ලකුණු 12ක් ලබමින් පිටියෙන් ඉවත් වුනා.
ඉන් පසුව කුසල් සහ දුනිත් වෙල්ලාලගේ විසින් ඉනිම අවසන් වන තෙක් නොදැවී කඩුල්ලේ රැඳෙමින් ලකුණු 32ක් ඉනිමට එක් කළ අතර, මෙහි දී වේගවත් ඉනිමක නිරත වූ දුනිත් විසින් පන්දු 12කින් ලකුණු 25ක් ලබා ගැනීමට සමත් වුනේ ඉනිමට අත්‍යාවශ්‍ය ව තිබූ වේගවත් අවසානය ලබා දෙමිනුයි. මේ අතරවාරයේ දී වඩාත් ඉවසිලිවන්ත ඉනිමක් දියත් කළ කුසල් මෙන්ඩිස් පන්දු 117ක් තුළ ලකුණු 93ක් ලබාගැනීමට සමත් වුනා. ඔහුගේ ඉනිම හතරේ පහර 11කින් වර්ණවත් වුනා.
මේ අනුව ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 271ක් ලබා ගැනීමට සමත් වුනා.
එංගලන්තය වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ Adil Rashid කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
මින් අනතුරුව ශ්‍රී ලංකාවෙන් ලද ඉලක්කය හඹා යාම සඳහා එංගලන්ත පිතිකරුවන් පිටියට අවතීර්ණ වූ අතර, ඔවුන්ගේ පළමු කඩුල්ල ලකුණු 6 දී බිඳ හෙළීමට අසිත ප්‍රනාන්දු විසින් සමත් වුනා.
කෙසේ වෙතත් ඉන් අනතුරුව එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට සබඳතාවක් ගොඩ නැගීමට සමත් වූ Joe Root සහ Ben Duckett විසින් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 117ක් එක් කිරීමට සමත් වුනා. එය එංගලන්තයට තරගය ජයග්‍රහණය කිරීමේ අඩිතාලම සකසා දීමට තරම් ප්‍රමාණවත් එකක් වූ නමුත්, මේ මොහොතේ ශ්‍රී ලංකා දඟ පන්දු බළඇණිය තරගයට අවතීර්ණ වුනා. ජෙෆ්‍රි වැන්ඩසේ සහ ධනංජය විසින් Duckett සහ Root දවා ගැනීමට සමත් වුනේ ලකුණු 62ක් සහ 61ක් ලබා සිටිය දීයි. ඉන් අනතුරුව තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව සතු වූ අතර, එතැනින් පසුව එකදු එංගලන්ත පිතිකරුවකුට හෝ සාර්ථක ඉනිමක් ගොඩ නැගීමට නොහැකි වුනා.
මෙහි දී එංගලන්තය වෙනුවෙන් මීළඟ ඉහළම ලකුණු ලාභියා වූ Jamie Overton විසින් එංගලන්තය කෙසේ හෝ ජයග්‍රහණය වෙත කැඳවා යාම වෙනුවෙන් වේගවත් ඉනිමක් දියත් කළා.
කෙසේ වෙතත් ඉනිමේ අවසන් පන්දුවාරයේ දී ඔහුගේ ඉනිම ලකුණු 34කින් නිමා වීමත් සමඟ ශ්‍රී ලංකාවට තරගයෙන් ලකුණු 19ක ජයක් හිමි වුනා.
මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක් වූ ප්‍රමෝද් මදුශාන් කඩුලු 3ක් දවා ගැනීමට සමත් වූ අතර, දුනිත් වෙල්ලාලගේ සහ ජෙෆ්‍රි වැන්ඩසේ කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුනා.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවැනි එක්දින තරගය එළඹෙන 24 (සෙනසුරාදා) පැවැත්වීමට නියමිතයි.
මෙම තරගාවලිය පිළිබඳ ව සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















