NSL කාන්තා T20 ශූරතාව Greens ක්‍රීඩිකාවන්ට

Women's National Super League T20 2026

7
Women's National Super League T20 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ National Super League කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්  තරගාවලියේ 2026 වසරේ ශූරියන් බවට පත් වීමට හසිනි පෙරේරා ගේ නායකත්වයෙන් යුත් Greens ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.

තරගාවලියේ අවසන් මහා තරගය සඳහා පළමු වටයේ ලබා ගත් ප්‍රසාද ලකුණු මත සැකසුණ ලැයිස්තුවේ පළමු ස්ථානය ලත් Blues කණ්ඩායම ද සහ 2 වැනි ස්ථානය ලබා ගත් Greens කණ්ඩායම ද සුදුසුකම් ලබා තිබූ අතර අවසන් මහා තරගය කොළඹ, P. Sara Oval ක්‍රීඩාංගණයේ දී පැවැතියා.

එම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Blues කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ගේ ඉනිම ලකුණු 95කට සීමා වෙනවා. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි Greens ක්‍රීඩිකාවෝ කඩුලු 4ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගන්නේ, තරගයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගනිමින්.

Team Greens

 

හසිනි පෙරේරා (නායිකාව සහ කඩුලු රකින්නිය), විට්නි ද අල්විස්, මල්ශා ෂෙහානි, පියුමි වත්සලා, නිලක්ෂිකා සිල්වා, ඔෂදී රණසිංහ, උදේශිකා ප්‍රබෝධනී, කාව්‍යා කාවින්දි, රශ්මි නේත්‍රාංජලී, නිමාෂා මදුශානි සහ සුගන්දිකා කුමාරි.

 

Team Blues

 

හර්ෂිතා සමරවික්‍රම (නායිකාව), චමරි අතපත්තු, සඳලි වීරසිංහ, සත්‍යා සංදීපනී, කෞෂිනි නුත්‍යාංගනා (කඩුලු රකින්නිය), අමා කාංචනා, ශයනි සේනාරත්න, දෙව්මි විහංඟා, ඉනෝකා රණවීර, රංදි ප්‍රේමරත්න සහ යසන්ති හේරත්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Blues ක්‍රීඩිකාවෝ තම ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගන්නවා. චමරි අතපත්තු සහ සඳලි වීරසිංහ විසින් ආරම්භ කළ ඉනිමේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 53ක්. ඒ සඳහා ඔවුන් වැය කරන්නේ පන්දු 60ක් පමණයි.

නමුත් එතැන් සිට ඉතිරි කඩුලු 9 ලකුණු 42ක් තුළ පන්දු 49ක් වැය කරමින් දවා ගැනීමට ප්‍රතිවාදී ක්‍රීඩිකාවෝ සමත් වීම කැපී පෙණුනා.

Team Blues ඉනිමට එක් වූ එක ම සැනසිලිදායක සබඳතාව වූ පළමු කඩුල්ල බිඳී යන්නේ සඳලි වීරසිංහ ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඇය පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 16ක් ලබා සිටියා. ඉන් අනතුරු ව තවත් කඩුලු 2ක් ඇවෑමෙන් චමරි අතපත්තු සිව් වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟන් ලකුණු 51ක් ලබා සිටියා.

ඔවුන් දෙදෙනාට අමතර ව අමා කාංචනා පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 14ක් ලබා ගනිමින් ඉලක්කම් 2 ලකුණු අතරට පිවිසි අනෙක් එක ම පිතිකාරිනිය බවට පත් වුණා.

Team Blues ඉනිම ඒ තරමින් අසරණ කරද්දී ඔෂදී රණසිංහ ඉනිමේ 16 වැනි පන්දුවාරයේ පන්දුවක් ඇර පන්දුවක දී කඩුලු 3ක් දවා ගනිමින් Team Greens ඉනිමේ සාර්ථක ම පන්දු යවන්නිය බවට පත් වුණා. ඇය තම පන්දුවාර 4 අවසන් කරන විට ලකුණු 17කට කඩුලු 4ක් දවා ගෙන තිබූ අතර ඊට අමතර ව කාව්‍යා කාවින්දි, උදේශිකා ප්‍රබෝධනී, මල්ෂා ෂෙහානි සහ නිමාෂා මදුශානි කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Greens ක්‍රීඩිකාවෝ ද ප්‍රතිවාදී කණ්ඩායමේ තරමට ම නොවූවත් පළමු කඩුල්ලට සාර්ථක ආරම්භයක් ලබා ගන්නවා. ඉනිම ආරම්භ කළ නායිකා හසිනි පෙරේරා සහ විට්න් ද අල්විස් පන්දු 29ක දී ලකුණු 28ක සබඳතාවක් එක් කරනවා.

එහි දී විට්නි ද අල්විස් පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 11ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී යනවා. හසිනි පෙරේරා ලබා ගත් ලකුණු සංඛ්‍යාව 12ක්. ඒ වෙද්දී ඇය පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 12ක් ලබා සිටියා.

මල්ෂා ෂෙහානි (7) සහ පියුමි වත්සලා (7) අඩු ලකුණුවලට තම ඉනිම් සීමා කරමින් තරගයේ පාලනය ප්‍රතිවාදීන් සතු කර ගත්ත ද ඊට පසු කඩුල්ලේ දී සාර්ථක සබඳතාවක් එක් කරමින් නැවත තරගය තමන් වෙත ලබා ගැනීමට නිලක්ෂිකා සිල්වා සහ ඔෂදී රණසිංහ සමත් වෙනවා.

ඔවුන් දෙදෙනා එක් ව තරගය ජයග්‍රහණය කරා ගෙන යන විට ඔවුන්ගේ ඉනිමේ තවත් පන්දු 11ක් ඉතිරි ව තිබූ අතර ඒ වෙද්දී ඔවුන් දෙදෙනා 5 වැනි කඩුල්ලට පන්දු 32ක දී නොදැවුණ ලකුණු 37ක් එක් කිරීමට සමත් වි සිටියා. එහි දී නිලක්ෂිකා සිල්වා පන්දු 31ක දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 36ක් ද සහ පන්දු යැවීමේ දී ද දක්ෂතා දැක් වූ ඔෂදී රණසිංහ පන්දු 19ක දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 16ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී සත්‍යා සංදීපනී, යසන්ති හේරත් සහ දෙව්මි විංහඟා කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Team Blues – සියලුම දෙනා දැවී 95 (18.1) චමරි අතපත්තු 51, සඳලි වීරසිංහ 16, අමා කාංචනා 14, ඔෂදී රණසිංහ 4/17

 

Team Greens – කඩුලු 4ක් දැවී 98 (18.1) නිලක්ෂිකා සිල්වා නොදැවි 36, ඔෂදී රණසිංහ නොදැවී 16, සත්‍යා සංදීපනී 1/11

Greens කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

  • අවසන් මහා තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – ඕෂදී රණසිංහ (Team Greens)
  • තරගාවලියේ දක්ෂතම පිතිකාරිනිය – හසිනි පෙරේරා (Team Greens)
  • තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නිය – චමෝදි ප්‍රබෝධා (Team Red)
  • තරගාවලියේ වඩාත් වටිනාම ක්‍රීඩිකාව – සත්‍යා සංදීපනී (Team Blues)

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<