සිව්වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ තෙවැනි සහ අවසන් දිනය ඊයේ (26) ඉන්දියාවේ රංචි හිදි සාර්ථකව ක්‍රියාත්මක වුනා.
ඊයේ දිනය තුළ මලල ක්‍රීඩා ඉසව් 16ක අවසන් තරග ක්‍රියාත්මක වූ අතර, ඒ අතුරින් ඉසව් අටක රන් පදක්කම් තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වීම විශේෂත්වයක්.
අනෙක් රන් පදක්කම් 08 ඉන්දියාව සතු වූ අතර, ඒ අනුව ගෙවුණු දින ත්‍රිත්වය අතුරින් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථක ම දිනය ලෙස ඊයේ දිනය හඳුන්වා දිය හැකි.
කෙසේ වෙතත් ඊයේ දිනයේ දී ද ශ්‍රී ලංකාව බලාපොරොත්තු තබා සිටි සහ ලබා ගත හැකිව තිබූ රන් පදක්කම් කිහිපයක් ශ්‍රී ලංකාවට අහිමි වුනා.
ගිලිහුණු රන් පදක්කම්
පිරිමි මීටර් 400 කඩුලු මතින් දිවීම ඉසව්ව නියෝජනය කළ අයෝමාල් අකලංක තත්පර 50.29ක කාලයක් සමඟ තත්පර දශම ගණනක වෙනසකින් දෙවැනි ස්ථානයට පත් වුනා.
පිරිමි දුර පැනීම ඉසව්ව නියෝජනය කළ විශ්මිත කුමාර ද දෙවැනි ස්ථානයෙන් නතර වූ අතර, ඔහුට මෙම ඉසව්වේ රන් පදක්කම අහිමි වුනේ මීටර් 0.12ක දුරකිනුයි. මේ අතර මීටර් 1.74ක උසක් තරණය කළ රනින්දි පැහැසරා විසින් කාන්තා උස පැනීම ඉසව්වේ රිදී පදක්කම ජය ගත්තා. මෙහි රන් පදක්කම මීටර් 1.76ක උසක් තරණය කළ ඉන්දීය ක්‍රීඩිකාව හට හිමි වුනා. මෙම ඉසව්වේ සිව්වැනි ස්ථානය ද ශ්‍රී ලංකාවට හිමි වුනා.
කාන්තා මීටර් 800 ඉසව්ව නියෝජනය කල ටකෂිමා නුහන්සා විසින් මිනිත්තු 2.06.51ක තරග නිමි කාලයක් සමඟ රිදී පදක්කම දිනා ගත්තා. මේ අතර පිරිමි මිටිය විසි කිරීම ඉසව්ව නියෝජනය කළ දමිත් ධර්මසේන විසින් මීටර් 46.55ක දක්ෂතාවක් සමඟ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුනා.
පිරිමි මීටර් 200 ඉසව්ව නියෝජනය කළ ඉඳුසර විදුශාන් විසින් තත්පර 21.42ක තරග නිමි කාලයක් සමඟ තවත් රිදී පදක්කමක් ශ්‍රී ලංකාවට ලබා දීමට සමත් වුනා.
මෙම සියලු රන් පදක්කම් අහිමි වීම් අතරේ වඩාත් අවාසනාවන්ත තරග ඉසව්ව ලෙස තරගාවලියේ අවසන් ඉසව්ව වූ කාන්තා මීටර් 400×4 ඉසව්ව හඳුන්වා දිය හැකි. මෙහි දී තරගයේ අවසන් තරග වටය වන තෙක් තරගයේ වාසිය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව සතු වූ අතර, අවසන් තත්පර කිහිපයේ දී ඉන්දියාව හමුවේ පරාජය වැළඳ ගැනීමට ඔවුන්ට සිදු වුනා.
- ඇමරිකාවට වැඩි වාසි සමඟ ලෝක ශූරතාව ඇරඹෙයි
- වසර 20ක අතීතය වෙනස් කළ දිනයක් නිමා වෙයි!
- අනපේක්ෂිත සිදුවීම් රැසක් අතරේ Mondo නැවතත් ලෝක වාර්තාවක් කරා!
- ලොව වේගවත්ම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව තහවුරුයි!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
අත පිරෙන්නට රන් දිනූ දවසක්
ඊයේ දිනය තුළ අවාසනාවන්ත ලෙස රන් පදක්කම් කිහිපයක් ම ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගිය නමුත්, තවත් විශිෂ්ට රන් පදක්කම් කිහිපයක් ශ්‍රී ලංකාව සතු වූ බවත් විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි.
පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්ව නියෝජනය කළ රුමේෂ් තරංග විසින් මීටර් 84.29ක දුරක් හෙල්ල විසි කරමින් නව තරග වාර්තාවක් සමඟම ඉසව්ව ජය ගැනීමට සමත් වුනා. එමෙන්ම ඔහුගේ තරග සහයකයා වන සුමේධ රණසිංහ විසින් මෙම ඉසව්වේ රිදී පදක්කම හිමි කර ගනිමින් ඉන්දීය ක්‍රීඩකයින්ගේ හෙල්ල විසි කිරීමේ අභිමානය තරමක් හෑල්ලු කිරීමට ද සමත් වුනා.
මේ අතර කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීම ඉසව්වේ ද රන් සහ රිදී පදක්කම් ශ්‍රී ලංකාව සතු වුනා. මෙහි දී දසුනි කෞශල්‍යා විසින් තත්පර 58.66ක තරග නිමි කාලයක් සමඟ නව තරග වාර්තාවක් ද පිහිටුවමින් රන් පදක්කම ජය ගැනීමට සමත් වන අතරේ, ඇයගේ තරග සහයිකාව වූ අරලියා සත්සරණි ද පෙර පැවති තරග වාර්තාව අබිබවා යමින් රිදී පදක්කම ජය ගැනීමට සමත් වුනා.
මේ අතර ශ්‍රී ලංකා අභිමානය ජාත්‍යන්තරය වෙත රැගෙන ගිය තරුෂි කරුණාරත්නගේ වැඩිමහල් සහෝදරයා වන හර්ශ කරුණාරත්න විසින් ඊයේ පිරිමි මීටර් 800 ඉසව්වෙන් ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක් හිමි කර දීමට සමත් වීම විශේෂත්වයක්.
මෙවර හෙල්ල විසි කිරීමේ ඉසව්වේ සම්පූර්ණ අයිතිය ශ්‍රී ලංකාව සතු බව කියාපාමින් නදීශා ලේකම්ගේ විසින් කාන්තා හෙල්ල විසි කිරීම ඉසව්වේ රන් පදක්කම ජය ගැනීමට සමත් වූ අතර, මෙහි දී ඇය විසින් වාර්තා කළ මීටර් 60.14 නව තරග වාර්තාවක් ලෙස ද සටහන් වුනා.
මෙවර තරගාවලියේ සිය දෙවැනි රන් පදක්කම ජය ගැනීමට මදුශානි හේරත් විසින් ඊයේ සමත් වුනේ කාන්තා දුර පැනීම ඉසව්වෙන් මීටර් 6.23ක දක්ෂතාවක් දක්වමිනුයි. එමෙන්ම මීට පෙර ඇය විසින් කාන්තා තුන් පිම්ම ඉසව්ව ද පහසුවෙන් ජය ගැනීමට සමත් වුනා.
මේ අතර කාන්තා මීටර් 5000 ඉසව්වෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් දිනා දීමට අපොහොසත් වූ රසාරා විජේසූරිය විසින් ඊයේ කාන්තා මීටර් 10000 ඉසව්ව ඉතා විශිෂ්ට අයුරින් ජය ගැනීමට සමත් වුනා. මෙහි දී පෙර පැවති තරග වාර්තාවට වඩා මිනිත්තු 4කට ආසන්න කාලයක් ඉදිරියෙන් තරගය නිමා කිරීමට ඇය සමත් වීම විශේෂත්වයක්.
කෙසේ වෙතත් ශාෆියා යාමික් මෙවර තරගාවලියේ කැපී පෙනෙන ම ක්‍රීඩිකාව බවට පත් වීම වැළැක්වීමට වෙනත් කිසිදු ක්‍රීඩිකාවකට හැකි වුනේ නැහැ. ඇය විසින් ඊයේ කාන්තා මීටර් 200 ඉසව්ව තත්පර 23.58ක කාලයකින් නිම කරමින් නව තරග වාර්තාවක් ද පිහිටුවමින් සිය තෙවැනි රන් පදක්කම ද හිමි කර ගැනීමට සමත් වුනා.
මේ අතර පිරිමි මීටර් 400 සහය දිවීමේ ඉසව්ව ද ඉතා පහසුවෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුනා. මෙහි දී ඔමෙල් ශසින්ත විසින් තරගයට ඉතා හොඳ ආරම්භයක් ලබා ගත් අතර, ඉන් පසුව කල්හාර ඉදූප සහ අයෝමාල් අකලංක තරගයේ ජීවය නැති නොකර ඉදිරියට රැගෙන ගියා, අවසන් වශයෙන් කාලිංග කුමාරගේ විසින් තරගය නිමා කළ අතර, එහි දී වාර්තා වූ මිනිත්තු 3.05.12ක තරග නිමි කාලය නව තරග වාර්තාවක් ලෙස ද සටහන් වුනා. එමෙන්ම මෙය කාලිංගගේ දෙවැනි රන් පදක්කම ලෙසයි සටහන් වුනේ.
මේ අයුරින් සිව්වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා උළෙල ඊයේ නිමාවට පත් වූ අතර, සත්කාරක ඉන්දියාව රන් පදක්කම් 20ක් සමඟ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට සමත් වුනා. තරගාවලියේ ඉතිරි රන් පදක්කම් 16 සමඟ ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වුනා
නිමා වූ ක්‍රීඩා උළෙල පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<






















