යොවුන් පිටිය ගිනියම් කළ දක්ෂතා

U 23 Emerging Club Tournament 2025

177
U 23 Emerging Club Tournament 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ 2025 වසරේ සම ශූරයන් ලෙසින් CCC කණ්ඩායම සහ Bloomfield කණ්ඩායම නම් කෙරුණා. ඒ එම කණ්ඩායම් ද්විත්වය අතර පැවැති අවසන් මහා තරගය විසඳුමකින් තොරව අවසන් වීමත් සමඟිනුයි.

>>CCC සහ Bloomfield සම ශූරයන් වෙයි<<

තරග 79ක ඉනිම් 232කින් සමන්විත වූ මෙම තරගාවලියේ දී කණ්ඩායම් 26ක ක්‍රීඩකයෝ එකිනෙකා පරයමින් පෑ දක්ෂතා අන් කවරදාටත් වඩා විශ්මිත වූවා. ලකුණු 47796ක් වාර්තා වූ තරගාවලියට ශතක 55ක්, අර්ධ ශතක 224ක් එක් කිරීමට පිතිකරුවෝ සමත් වුණා. තරගාවලියේ දී වාර්තා වූ හයේ පහර සංඛ්‍යාව 772ක් වූ හතරේ පහර ප්‍රමාණය 4785ක්.

පිතිකරුවෝ ඒ ලෙසින් දක්ෂතා දක්වද්දී පන්දු යවන්නෝ ද ඒ ආකාරයෙන් ම දක්ෂතා දැක්වීමට සමත් වීම කැපී පෙණුනා. ඔවුන් විසින් දවා ගත් කඩුලු සංඛ්‍යාව 1856ක්.

කණ්ඩායම් දක්ෂතා අතර තරගාවලියේ ඉනිමක වැඩිම ලකුණු ලබා ගත් කණ්ඩායම බවට පත් වූයේ CCC කණ්ඩායමයි. ඔවුන් Moors SC කණ්ඩායමට එරෙහිව මග්ගොන Surrey ක්‍රීඩාංගණයේ දී කඩුලු 7කට ලකුණු 459ක් ලබා ගිනිමින් එම දක්ෂතාව සිදු කරනවා.

ඒ අතර තරගාවලියේ ඉනිමක අඩු ම ලකුණු සංඛ්‍යාවකට දැවී යන්නේ United Southern SC කණ්ඩායමයි. ඔවුන් පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී Nugegoda S & WC කණ්ඩායම හමුවේ ලකුණු 54කට දැවී යනවා.

තරගාවලියේ Bloomfield C & AC සහ CCC කණ්ඩායම්වල ගමන් මඟ

  Bloomfield C & AC CCC
1 Kandy Custoums කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක්. Negombo කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක්.
2 Police කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක්. Panadura කණ්ඩායම සමඟ තරගය විසඳුමක් නෑ.
3 Galle කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක්. Leo කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක්.
4 SSC කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක්. Ragama කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක්.
5 Tamil Union කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක්. Colts කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක්.
  අර්ධ අවසන් පූර්ව වටය
6 Ace Capital කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක්. Moors කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක්.
  අවසන් පූර්ව වටය
7 Negombo කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක්. Nugegoda කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක්.
  අවසන් මහා තරගය
8 තරගයේ විසඳුමක් නෑ.

තරගාවලියේ වීරයා සහ තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – තරින්ද නිර්මාල් ගුරුගේ (Bloomfield C & AC)

තරගාවලියේ වීරයා සහ තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා යන කුසලාන ද්විත්වයට ම හිමිකම් කී Bloomfield C & AC කණ්ඩායමේ තරින්ද නිර්මාල් ගුරුගේ තරගාවලියේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නායි. දකුණතින් පිට දඟ පන්දු යවන තරින්ද ගුරුගේ අවසන් මහා තරගය ද ඇතුලුව තරග 9කට සහභාගී වෙමින් දවා ගත් කඩුලු සංඛ්‍යාව 52ක්.

මේ අතර ඔහුගේ ඉහළ ම දක්ෂතාව බවට පත් වූයේ Galle CC කණ්ඩායමට එරෙහි ව ලකුණු 46කට කඩුලු 8ක් දවා ගනිමින් පෑ දක්ෂතාවයි. මෙම දක්ෂතාව මෙවර තරගාවලියේ පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතාව බවට ද පත් වුණා.

ඔහුගේ මෙම දක්ෂතාවට අමතර ව කඩුලු 5ක් ඊට වැඩියෙන් දවා ගත් තවත් අවස්ථා 3ක් ද මේ අතර තිබෙනවා.

එමෙන් ම ඔහු තරගාවලියේ ලකුණු ලබා නොදී පන්දු වැඩිම ප්‍රමාණයක් යැවූ පන්දු යවන්නා බවට ද පත් වෙනවා. තරගාවලියේ යැවූ පන්දු වාර 250.2ක් යැවූ ඔහු ඉන් පන්දු 1094ක් යවන්නේ ලකුණු ලබා නොදෙමින්.

තරින්ද නිර්මාල්  ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි ක්‍රීඩකයෙක්.

තරගාවලියේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නෝ 5 දෙනා

  Player Team M Over Runs Wkts Best 4 5
1 තරින්ද නිර්මාල් Bloomfield  & AC 9 250.2 803 52 8/46 1 4
2 වනුජ සහන් ACE Capital CC 7 224.3 715 39 6/55 3 3
3 ශෙහාන් ප්‍රමෝද් Negombo CC 7 219.4 688 33 8/50 3 2
4 ඉනුක කරන්නාගොඩ CCC 8 180.1 434 31 5/24 1 2
5 ගිශාන් බාලසූරිය SSC 7 149.0 656 31 6/144 2 2

තරගාවලියේ වැඩිම කඩුලුලාභීන් අතර 2 වැනි ස්ථානය ACE Capital CC කණ්ඩායමේ වනුජ සහන් සතු වුණා. ඔහු දවාගත් කඩුලු සංඛ්‍යාව 39ක්. ඊට අමතර ව මෙම ලැයිස්තුවේ තෙවැනි ස්ථානය කඩුලු 33ක් දවා ගත් Negombo CC කණ්ඩායමේ ශෙහාන් ප්‍රමෝද් ද සතු වුණා.

තරගාවලියේ වාර්තා වූ එක ම කඩුලු ත්‍රිත්ව වාර්තා කිරීමට Moors SC කණ්ඩායමේ හිවින් කෙනුල සමත් වුණා. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ Sebastianites C & AC කණ්ඩායමට එරෙහිවයි.

තරගාවලියේ දක්ෂතම පිතිකරු – පුළිඳු පෙරේරා (Nugegoda S & WC)

මහනුවර ධර්මරාජ විද්‍යාලය නියෝජනය කරමින් ක්‍රිකට් පිටියට පිවිසි පුලිඳු පෙරේරා මෙවර වයස අවුරුදු 23න් පහළ Emerging Club තරගාවලිය සඳහා එක් වෙන්නේ Nugegoda S & WC කණ්ඩායම සමඟින්.

එහි දී ඔහු තමන් සහභාගී වූ තරග 8ක ඉනිම් 9 දී ලකුණු 896ක් ලබා ගන්නේ තරගාවලියේ වාර්තා වූ එක ම ද්විත්ව ශතකයේ ද හිමිකරුවා වෙමිනුයි. ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 112.0ක රඳවා ගන්නා ඔහු තම ලකුණු අතරට හතරේ පහර 99ක් සහ හයේ පහර 23ක් ද ඇතුලත් කර ගන්නවා. ඒ අනුව ඔහු තරගාවලියේ වැඩිම හතරේ පහර සහ හයේ පහර එල්ල කළ ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ ද පළමු වැනියා බවට පත් වෙනවා.

පුලිඳු පෙරේරා ගේ ලකුණු පෙරහැරේ Army SC කණ්ඩායමට එරෙහි ව පන්දු 241ක දී වාර්තා කරන ලද ලකුණු 223ක්, SSC කණ්ඩායමට එරෙහි ව පන්දු 235ක දී වාර්තා කරන ලද ලකුණු 178ක් ද, Colombo Malay CC කණ්ඩායමට පන්දු 240ක දී වාර්තා කරන ලද ලකුණු 151ක් ද සහ BRC කණ්ඩායමට එරෙහි ව පන්දු 142කට මුහුණ දෙමින් වාර්තා කරන ලද ලකුණු 146ක් ද ඇතුලත්.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් දක්ෂතා දැක්වූ පුලිඳු පෙරේරා මේ වන විට පළමු පෙළ තරග ද්විත්වයකට සහභාගී වෙමින් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 98ක් ලබා සිටිනවා.

තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරුවන් 5 දෙනා

  Player Team M In NO Runs HS Ave 100 50
1 පුලිඳු පෙරේරා Nugegoda S & WC 8 9 1 896 223 112.0 4 2
2 අංජල බණ්ඩාර CCC 8 9 1 707 156 88.38 3 3
3 කවීන් ප්‍රනාන්දු Negombo CC 7 10 2 549 167 68.63 1 4
4 රනේෂ් සිල්වා ACE Capital CC 7 9 2 489 143 69.86 2 2
5 මිනෙත් ප්‍රේමරත්න Bloomfield C & AC 9 11 3 487 158* 60.88 2 2

මෙම ලැයිස්තුවේ 2 වැනි ස්ථානය හිමි වෙන්නේ CCC කණ්ඩායමේ නායක අංජල බණ්ඩාර වෙතයි. ඔහු තරගාවලියේ වැඩිම ශතකලාභීන් අතර 2 වැනි වන්නේ පුලිඳු පෙරේරා ට පමණයි.

ඊට අමතර ව මෙම ලැයිස්තුවේ 3 වැනි ස්ථානය Negombo CC කණ්ඩායමේ කවීන් බණ්ඩාර සතු වෙන අතර ඔහුගේ හොඳම ඉනිම බවට පත් වෙන්නේ Ragama CC කණ්ඩායමට එරෙහි ව වාර්තා කරන ලද ලකුණු 167.

20 : පිතිකරුවන් අතුරින් තරගාවලියේ වේගවත් ම අර්ධ ශතකය වාර්තා කිරීමේ ගෞරවය හිමි වෙන්නේ Moors SC කණ්ඩායමේ ඔමේෂ් මෙන්ඩිස් ට. ඔහු NCC කණ්ඩායමට එරෙහි පන්දු 20ක දී මෙම කඩඉමට පිවිසෙමින් මෙම දක්ෂතාව දක්වන අතර ඊට හතරේ පහර 4ක් සහ හයේ පහර 5ක් ද තම ඉනිමට එක් කර ගන්නවා.

එමෙන් ම තරගාවලියේ වේගවත් ම ශතකය වාර්තා කිරීමේ ගෞරවය හිමි වෙන්නේ Tamil Union C & AC කණ්ඩායමේ සිනෙත් ජයවර්ධන ට. ඔහු Kandy Customs SC කණ්ඩායමට එරෙහි ව පන්දු 60ක දී මෙම කඩඉමට පිවිසෙනවා.

අවසන් මහා තරගයේ වීරයා – අංජල බණ්ඩාර (CCC)

කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැති අවසන් මහා තරගයේ දී CCC කණ්ඩායමේ නායක අංජල බණ්ඩාර Bloomfield C & AC කණ්ඩායමට එරෙහි ව පන්දු 259කට මුහුණ දෙමින් හතරේ පහර 19ක් සමඟින් ලකුණු 143ක් ලබා ගන්නවා.

ඔහු එම ඉනිමේ දී තම කණ්ඩායම වැටී සිටි තත්ත්වයෙන් ගොඩ ගැනිමට ඉනුක කරන්නාගොඩ හා සමඟ එක් වෙමින් 6 වැනි කඩුල්ලට පන්දු 327ක දී ලකුණු 160ක සබඳතාවක් ද ගොඩ නගනවා.

අංජල බණ්ඩාර තරගාවලිය නිමා කරන විට වැඩිම ලකුණුලාභීන් අතර 2 වැනි ස්ථානයට පත් ව සිටියා. ඔහුගේ ඉනිම් අවසන් මහා තරගයේ ශතක ඉනිමට අමතර ව Moors SC කණ්ඩායමට එරෙහි ව වාර්තා කරන ලද ලකුණු 156ක් සහ Negombo CC කණ්ඩායමට එරෙහි ව වාර්තා කරන ලද ලකුණු 138ක් ද ඇතුලත්.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<