රත්ගම දේවපතිරාජයන් 17න් පහළ ශූරතාව දිනා ගනී

U 17 Division 1 Inter Schools Cricket Tournament

193
DC U 17

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරනු ලැබූ වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ, මේ වසරේ ශූරයන් බවට පත් වීමට රත්ගම දේවපතිරාජ විද්‍යාලය (18) සමත් වූවා.

කොළඹ, තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති අවසන් මහා තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ කොළඹ මහානාම විද්‍යාලයයි.

කාසියේ වාසිය දිනා ගත් මහානාම විද්‍යාලයීය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදී දේවපතිරාජ විද්‍යාලය සතු කළ අතර ඒ අනුව ඔවුන් සියලුම දෙනා දැවී ලකුණු 191ක් ලබා ගන්නවා. පිළිතුරු ඉනිමට පිටියට පිවිසි මහානාම විද්‍යාලයීය ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 179ක් පමණයි.

ඒ අනුව තරගය අවසන් වීමට තවත් පන්දු 52ක් ඉතිරි ව තිබිය දී ලකුණු 12ක ජයග්‍රහණයක් ලබා ගැනීමට දේවපතිරාජ විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වෙනවා.

මහානාම විද්‍යාලයීය වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම

 

තවිරු පෙරේරා (නායක), සිනෙත් වීරරත්න, කෞෂික තිලකරත්න, විහජ පෙරේරා, සනුල් වීරරත්න, යශේන් ගුණතිලක, දුල්නෙත් අල්ගවත්ත, තරුන් මුණවීර, විමාශ් මදනායක, තෙනුජ රශ්මින් සහ අචින්ත ලක්ෂාන්.

 

දේවපතිරාජ විද්‍යාලයීය වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම

 

අරෝෂ සිතුමිණ (නායක), ඔශේන් කල්හාර, සඳරු මල්ශාන්, යසිරු ලක්ශාන්, පුල්ජිත් වත්සුක, සශ්‍රීක නෙතුරංග, හර්ෂ මදුශංක, නෙතුස නිර්මාල්, විහඟ නිම්සර, කවීශ්වර සඳමාල් සහ හිරුෂ ප්‍රමෝද්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දේවපතිරාජ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු අරෝෂ සිතුමිණ. ඔහු පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 76ක් ලබා ගන්නවා.

ඊට අමතර ව ඔහු ඔශේන් කල්හාර සමඟ 1 වැනි කඩුල්ලට ලකුණු 93ක සබඳතාවක් ද ගොඩ නැගීමට දායක වෙනවා. ඔශේන් කල්හාර ලබා ගත් ලකුණු සංඛ්‍යාව 23ක්. පන්දු 74කින් සමන්විත එම ඉනිමට හතරේ පහර 2ක් ඇත්ලත් වුණා.

ඔවුන්ට අමතර ව දේවපතිරාජ ඉනිම අවසන් වන විට යසිරු ලක්ශාන් පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 32ක් ලබා ගැනීමට සමත් වුණා.

දේවපතිරාජ ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 27ක් තුළ දවා ගැනීමට මහානාම විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වෙනවා. එහි දී තෙනුජ රශ්මින් ලකුණු 36කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යවන්නා බවට පත් වෙද්දී කෞෂික තිලකරත්න කඩුලු ද්විත්වයක් ද සහ තවිරු පෙරේරා කඩුල්ලක් ද දවා ගන්නවා.

පිළිතුරු හඹා යන ඉනිම සඳහා පිටියට පිවිසි මහානාම විද්‍යාලයීය ඉනිමේ ආරම්භය තරමක් සාර්ථක වූව ද ඔවුන්ගේ ද පසුපෙළ කඩුලු 5, ලකුණු 24ක් තුළ දවා ගනිමින් තරගයේ වාසිය තමන් වෙත නතු කර ගැනීමට දේවපතිරාජ පන්දු යවන්නෝ සමත් වෙනවා.

එහි දී ඔශේන් කල්හාර ලකුණු 20කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඔහුට අනගි සහයෝගයක් ලබා දීමට සඳරු මල්ශාන් සමත් වෙනවා. සඳරු මල්ශාන් තම පන්දු යැවීම නිමා කරන්නේ ලකුණු 31කට කඩුලු 3ක් දවා ගනිමින්.

ඊට අමතර ව අරෝෂ සිතුමිණ සහ සශ්‍රීක නෙතුරංග කඩුල්ල බැගින් දවා ගන්නවා.

මහානාම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ සනුල් වීරරත්න. ඔහු පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 52ක් ලබා ගන්නවා. ඊට අමතර ව විහජ පෙරේරා පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 26ක් ද සහ යශේන් ගුණතිලක පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 24ක් ද ලබා ගන්නවා.

මේ අතුරින් සනුල් වීරරත්න සහ යශේන් ගුණතිලක එක් ව 4 වැනි කඩුල්ලට ලකුණු 63ක සබඳතාවක් ගොඩ නගන අතර එය මහානාම ඉනිමේ ඉහළ ම ලකුණු සබඳතාව ද වූවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

දේවපතිරාජ විද්‍යාලයීය වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 191 (48.0) ඔශේන් කල්හාර 23, අරෝෂ සිතුමිණ 76, යසිරු ලක්ෂාන් නොදැවී 32, කෞෂික තිලකරත්න 2/38, තෙනුජ රශ්මින් 5/36

 

මහානාම විද්‍යාලයීය වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 179 (41.2) විහජ පෙරේරා 26, සනුල් වීරරත්න 52, යශේන් ගුණතිලක 24, සඳරු මල්ශාන් 3/31, ඔශේන් කල්හාර 4/20

දේවපතිරාජ විද්‍යාලයීය වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමට ලකුණු 12ක ජයක්.දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<