Stoinisගේ Hulk ආවේශය මුම්බායට තරු පෙන්වයි!

IPL 2023

1424

පිතිකරණයේ යෙදීමට තරමක් අසීරු ලක්නව් තණතීරුවේ Marcus Stoinis විසින් දියත් කළ අද්විතීය ඉනිමේ ප්‍රතිඵලයක් ලෙස මෙවර IPL තරගාවලියේ වඩාත් ම වැදගත් ජයග්‍රහණයක් ලබා ගැනීමට Lucknow Super Giants ඊයේ (16) සමත් වුනා.

2023 IPL තරගාවලියේ 63 වැනි තරගය ලෙස Mumbai Indians සහ Lucknow Super Giants කණ්ඩායම් අතර පැවැත්වුණු මේ තරගය තරගාවලියේ වඩාත් තීරණාත්මක ම තරගවලින් එකක් බව තරගය ආරම්භයට පෙර සිට බොහෝ දෙනෙකු අනාවැකි පළ කළා.

මෙම කණ්ඩායම් දෙක තරගය ආරම්භයට පෙර IPL ලකුණු සටහනේ 3 (Mumbai) සහ 4 (Lucknow) ස්ථානවල රැඳී සිටි අතර, තරගය ජයග්‍රහණය කරන කණ්ඩායමට Play-Off තරග වටයට පිවිසීමේ ඉහළ අවස්ථාවක් හිමි වී තිබුණා. එම නිසා මේ තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් කණ්ඩායම් දෙක ම සිය උපරිමය ලබා දෙනු ඇති බවත් අනුමාන කෙරුණා.

එම අනුමාන සියල්ල ම නිවැරදි කරමින් අවසන් පන්දුවාරය තෙක් ම තරගය ඇදී ගිය අතර, අවසානයේ මුම්බාය පරදවමින් ලකුණු 5 තියුණු ජයක් අත් කර ගැනීමට ලක්නව් කණ්ඩායම සමත් වුනා.

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ මුම්බායි නායක Rohit Sharmaගේ ආරාධනය අනුව ලක්නව් විසින් පළමු ඉනිම ක්‍රීඩා කළ අතර එහි දී ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 177ක් ලබා ගැනීමට සමත් වුනා.

ඔවුන්ගේ ඉනිම ආරම්භය බලාපොරොත්තු වූ තරම් සාර්ථක එකක් නොවූ අතර ඉනිමේ 6 වැනි පන්දුවාරයේ පළමු පන්දුවට Quinton de Kockගේ කඩුල්ල දැවී යන විට ඔවුන්ගේ ලකුණු තත්වය දිස් වුනේ කඩුලු 3කට ලකුණු 35ක් ලෙසයි. නමුත් එතැන් සිට පිටියේ එක් වූ නායක Kurnal Pandya සහ Marcus Stoinis විසින් ඉනිම සෙමෙන් ස්ථාවර මට්ටමකට ගෙන ඒමට සමත් වුනා. මෙහි දී පන්දු 42කින් ලකුණු 49ක් ලබා සිටි Pandya සිය පාදයේ ඇති වූ ආබාධයක් නිසා පිටියෙන් ඉවත් වූ (Retired Hurt) අතර, ඔහු වෙනුවට Nicholas Pooran පිටියට පිවිසුණා.

කෙසේ වෙතත් ලක්නව් ඉනිමේ පන්දුවාර 17ක් නිමා වන විටත් ඔවුන් ලබා ගැනීමට සමත් වී තිබුණේ ලකුණු 123ක් පමණයි. නමුත් ඉතිරි පන්දුවාර 3 තුල දී ලකුණු 54ක් සිය ඉනිමට එක් කිරීමට සමත් වූ Stoinis-Pooran යුගලය විසින් ඉනිමේ අවසන් ලකුණු සංඛ්‍යාව 177ක් දක්වා ඉහළ දැමීමට සමත් වුනා.

එම ලකුණුවලින් ලකුණු 44ක් ම Stoinisගේ පිත්තෙන් වාර්තා වූ අතර ඔහු සිය ඉනිම අවසන් කළේ පන්දු 47කින් නොදැවුණු ලකුණු 89ක් ලබා ගනිමිනුයි. ඔහුගේ ඉනිම වෙනුවෙන් දැවැන්ත හයේ පහර 8ක් අන්තර්ගත වීම ද විශේෂත්වයක්.

මෙම ලක්නව් ඉනිම පුරා පිතිකරුවන්ට හිසරදයක් වූ Jason Behrendorff විසින් සිය පන්දුවාර 4 තුල ලකුණු 30කට කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

මේ අනුව පිතිකරුවන්ට තරමක් අසීරු තණතීරුවක ලකුණු 178ක අභියෝගයක් හඹා යාමේ අරමුණින් යුතු ව පිටියට පිවිසි මුම්බායි ආරම්භක පිතිකරු යුගලය වන Rohit Sharma සහ Ishan Kishan විසින් ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 90ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා.

පන්දුවාර 10ක් ගෙවී යාමටත් මත්තෙන් මොවුන් දෙදෙනා විසින් ලබා දුන් මෙම වේගවත් ආරම්භය තරගය ජයග්‍රහණය කිරීමට ඕනෑවටත් වඩා හොඳ අඩිතාලමක් වූ නමුත් Kishan ලකුණු 59කටත් Sharma ලකුණු 37කටත් දැවී යාමෙන් පසුව පිටියට පිවිසි කිසිදු මුම්බායි පිතිකරුවෙකුට හෝ සිය වගකීම හරි හැටි ඉටු කිරීමට හැකියාව ලැබුණේ නැහැ.

කෙසේ වෙතත් ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි Tim David විසින් මුම්බායෙන් ගිලිහී යමින් තිබූ තරගය නැවත හැරවීමට විශිෂ්ට උත්සාහයක් දැරුවා. ඒ අනුව ඉනිමේ අවසන් පන්දුවාරය වන විට තරගය ජයග්‍රහණය කිරීමට මුම්බායි කණ්ඩායමට අවශ්‍ය වුනේ ලකුණු 11ක් පමණයි.

ඒ මොහොතේ ලක්නව් වෙනුවෙන් තරගයේ අවසන් පන්දුවාරය යොමු කිරීමේ වගකීම Moshin Khan හට බාර වූ අතර ඔහු විසින් ඉතා ඉවසීමකින් යුතු ව පන්දු යවමින් මුම්බාය වෙත ලබා දුන්නේ ලකුණු 5ක් පමණයි. ඒ වන විටත් Tim David සමඟින් Cameron Green කඩුල්ලේ රැඳී සිටියත් ඔවුන් දෙදෙනාගෙන් එක් අයකුට හෝ විශාල පහරක් වෙත යාමට Moshin විසින් ඉඩ ලබා දුන්නේ නැහැ.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසන මුම්බායි කණ්ඩායම ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 172ක් පමණයි. ඒ වෙනුවෙන් Davidගේ පිත්තෙන් ලකුණු 32ක් එක් වී තිබුණා.

මෙහි දී ලක්නව් වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් මුම්බායේ ආරම්භක කඩුලු දෙක ම දවා ගැනීමට සමත් වූ Ravi Bishnoi සිය පන්දුවාර 4 තුල ලකුණු 26ක් පමණක් ලබා දීමට වග බලා ගත්තා.

එමෙන් ම මෙම තරගයේ වීරයා සම්මානය The Hulk යන ආදරණීය අන්වර්ථ නාමයෙන් හඳුන්වන Marcus Stoinisගේ අගනා පිතිහරඹය වෙනුවෙන් පිරිනැමුණා.

  • Lucknow Super Giants 177/3 (20) Marcus Stoinis 89*, Krunal Pandya 49*, Jason Behrendorff 2/30
  • Mumbai Indians172/5 (20) Ishan Kishan 59, Rohit Sharma 37, Ravi Bishnoi 2/26

එමෙන් ම මෙම ජයග්‍රහණයත් සමඟින් ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පැමිණීමට Lucknow Super Giants කණ්ඩායම සමත් වූ අතර Mumbai Indians දැන් ලකුණු සටහනේ 4 වැනි ස්ථානයට පසු බැස තිබෙනවා.

මෙම පරාජය නිසා මුම්බායි කණ්ඩායමට අනෙක් කණ්ඩායම්වල තරග ප්‍රතිඵල දෙස බලා හිඳීමට සිදු වී තිබෙනවා. කෙසේ වෙතත් බොහෝ ඉක්මනින් මෙවර IPL තරගාවලියේ Play-Off වටයට පිවිසෙන කණ්ඩායම් ස්ථිර වනු ඇති.

තරගාවලියේ තවත් තරගයක් අද (17) Punjab Kings සහ Delhi Capitals කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි, එමෙන් ම තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට නම් මෙම තරගය ජයග්‍රහණය කිරීම Punjab Kings කණ්ඩායමට අනිවාර්යය වී තිබෙනවා.

එම තරගය ඇතුළු තරගාවලියේ සියලු ම තරග සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<