මේ මස 24 වැනිදා සිට සැප්තැම්බර් මස 5 වැනිදා දක්වා ජපානයේ ටෝකියෝ නුවර දී පැවැත්වීමට නියමිත පැරාලිම්පික් උළෙල සඳහා Rowing ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට මහේෂ් ප්‍රියමාල් ජයකොඩි සමත් ව තිබේ. මේ අවස්ථාව ශ්‍රී ලංකාව හිමි කර ගන්නේ ප්‍රථම වතාවට වන අතර මෙම ක්‍රීඩාවෙන් ආසියා කලාපයෙන් එක්වෙන එක ම ක්‍රීඩකයා ද වන්නේ මහේෂ්.
“පහුගිය මැයි මාසෙ ටෝකියෝවල පැරාලිම්පික් සුදුසුකම් ලැබීමේ ආසියානු – ශාන්තිකර කලාපීය තරගාවලිය තිබුණා. ඒකෙදි මම ප්‍රථම ස්ථානය දිනා ගනිමින් පැරාලිම්පික් සහභාගී වීම සඳහා සුදුසුකම් ලබා ගත්තා. මේ තරගාවලියේ දී ආසියාවේ ප්‍රබල රටවල් ලෙස සැලකෙන ජපානය හෝ චීනය වැනි රටවල්වල ක්‍රීඩකයන් ද සහභාගී වුනත්, ඔවුන් මේ සඳහා සුදුසුකම් ලබා ගත්තේ නැහැ. ආසියානු කලාපයෙන් මම විතරයි සුදුසුකම් ලැබුවේ. මේ සුදුසුකම් ලැබීම ම ජයග්‍රහණයක් ලෙසයි මම දකින්නේ. මේ මගින් ශ්‍රි ලංකාවට කීර්තියක් ලබා දීමට හැකි වීම ගැන මම සතුටු වෙනවා”, මහේෂ් ජයකොඩි ThePapare.com කතා බහට මුල පිරුවේ ඒ ආකාරයෙන්.
මහේෂ් ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ කාර්ය බලකායට අනුයුක්තව කටයුතු කරන ඉනෙන් පහළ ආබාධයට ලක් වූ වයස අවුරුදු 34ක ගැටවරයෙක්. ඔහු පැරාලිම්පික් උළෙලකට සහභාගී වන පළමු අවස්ථාව මේ. එහි දී ඔහු Rowing යුගල හබල ඒකල සහභාගී වීමට නියමිතයි.
“රටේ පැවති කොරෝනා වසංගත තත්ත්වය නිසා පුහුණුවීම් හරි හැටි කරගන්න බැරි වුනා. නමුත් මම සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ඉලක්ක කර ගෙන පසුගිය නොවැම්බර් මාසයේ සිට මට හැකි සෑම අවස්ථාවක ම පුහුණුවීම් කටයුතු කළා. ලොකු කැපවීමක්, මහන්සියක් දැරුවා. එදා සිට අද දක්වා ම ගෙදර ගියෙත් නැහැ. ඒ කැපවීම නිසා ම මට මේ අවස්ථාව ලැබුණා. දැනුත් හොඳ පුහුණුවක් ලබනවා. බාහිර කිසිම දෙයක් මගේ හිතේ නැහැ. තියෙන්නේ මේ තරගාවලියට හොඳ මානසික තත්ත්වයකින් සහභාගී වෙලා අපේ රටට කීර්තියක් ලබා දීමයි.”
මහේෂ් අද Rowing ක්‍රීඩාව නිසා කාර්ය බහුල වෙමින් වැඩි කාලයක් කොළඹ යුද හමුදා නේවාසිකාගාරවල සිටියත්, ඔහුගේ ගම කුරුණෑගල – දොඩම්ගස්ලන්ද. ඔහු පාසල් යන්නේ දොඩම්ගස්ලන්ද මධ්‍ය මහා විද්‍යාලයට.

අම්මත් නැති දරුවා උස් මහත් කිරීම ද මහේෂ්ගේ පියාට පැවරෙද්දී, කුලියකට මලියකට යෑම ද හරි හමන් විදිහට සිදු වුනේ නැහැ. මේ නිසා ගෙදර අගහිඟකම් එන්න එන්න ම වැඩි වුනා. මහේෂ්ගේ පාසල් ගමනත් පියාගේ වැඩට යෑම වගේ ම සිදු වුනේ යලට මහට වගේ. මොනදේ නැතත්, මහේෂ්ලට අගහිඟකම් නම් දෝරෙ ගලන්න තිබුණා.
“එක වැස්සකට අපේ ගේ කඩාගෙන වැටුණා. තාත්තටත් මටත් ඉන්න හිටින්න තිබුණ තැනත් නැති වුනා. අම්මගෙ මල්ලි මාව එයාලයි ගෙදරට එක්ක ගෙන ගියා. තාත්තාට ඉන්න තැනක් නැති නිසා කුලී වැඩට කොළඹ ගියා.”
මහේෂ්ලයි කැඳැල්ල අම්මගෙ වියෝවෙන් පස්සේ නැවත විසිරි ගියේ ඒ විදිහට. ඊට පස්සේ මහේෂ් හැදී වැඩුණේ මාමා වූ සහන් විජේසූරිය මහතාගේ නිවසේ. දැන් මහේෂ් මාමගෙ ගෙදර සිට උදේට පාසල් යනවා. හවසට මාමගේ කඩේ වැඩවලට උදව් වෙනවා.
“මම ඒ දවස්වල පාසල් යනවට වඩා ආසාවෙන් කළේ කඩේ වැඩ කරන එක” මහේෂ් පැවසුවා.
මහේෂ්ට උවමනාව තිබුණෙ පාසල් යනවට වඩා, නිතිපතා සෙවණැල්ල වගේ පසුපසින් අගහිඟකම්වලින් අත් මිදීමේ මගක් සොයා ගන්න. මේ වෙද්දී සාමාන්‍ය පෙළ පංතිවල හිටපු මහේෂ්ගේ එක ම සිහිනය වෙලා තිබුණේ යුද හමුදා සේවයට එක් වීම.
“ගමේ දන්න අයියා කෙනෙක් යුද හමුදා විශේෂ කාර්ය බලකායේ වැඩ කළා. එයා තමයි කිව්වේ සාමාන්‍ය පෙළ ලියල ඉන්න. ඊට පස්සේ යුද හමුදාවට බැඳෙන්න පුළුවන් කියලා.”
ඒ ඔත්තුව මහේෂ්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වුනා. මහේෂ් 2007 අවුරුද්දේ යුද හමුදාවට එක්වෙමින් මාදුරුඔය විශේෂ කාර්ය බලකා පුහුණුවට එක් වෙනවා.
“මගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව වෙලා තිබුණේ තාත්තටත් මටත් එකට ඉන්න තැනක් හදාගන්න. ජීවිතේ සාර්ථක කර ගන්න. දුප්පත්කම නිසා ඒ දේවල් සිහිනයක් වෙලා තිබුණේ. ඒකයි හමුදාවට බැදුණේ. තාත්තගෙ වුනත් ඒකට අකමැත්තක් තිබුණෙ නැහැ.”

“එදා අපි 8 දෙනෙක්ගේ කණ්ඩායමක් පුදුකුඩුඉරිප්පුවල ඉදිරි පෙළ රතු භූමිය පරික්ෂා කරමින් සිටියා. හිටි හැටියේ මතු වූ ත්‍රස්ත කල්ලිය සමග අපි මුහුණට මුහුණ සටන් කළා. අපි හතර දෙනෙක්ට තුවාල වුනා. පස්සේ ප්‍රතිකාර ලබද්දී දෙන්නෙක් මැරුණා. මමත් තව කෙනෙකුත් ජීවත් වෙන්න වාසනාව ලැබුවා.”
නමුත් ඒ වෙද්දී මහේෂ්ගේ නම යුද හමුදා සංඛ්‍යා ලේඛණවල සටහන් වෙන්නේ ආබාධිත සෙබළෙක් ලෙසින්. ඔහු කොළඹ යුද හමුදා රෝහලේ විශේෂ ප්‍රතිකාර අංශයේ මාස 6කට අධික කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
කාලයක් යන තුරු මහේෂ්ට ඇඳෙන් බහින්න ලැබෙන්නේ නැහැ. කකුල උස්සන්න හැදුවත් උස්සගන්න බැහැ. තම හිතුමනාපයට කිසිවක් ම කර ගන්න බැරි තැන කෑ ගහල ඇඬු වාර අපමණයි. නමුත් සිදු වූ වෙනසක් නැහැ.
“ගෙයක් දොරක් හදාගන්න හමුදාවට බැදුණ මට නිවාඩුවට යන්න ගෙයක් තිබුණෙ නැහැ. මම ගියේ මගේ ලොකු අම්මගෙ ගෙදරට. ආබාධිත බව නිසා මට අවශ්‍ය සනීපාරක්ෂ කටයුතු කර ගන්න පුළුවන් තත්ත්වයේ තැනක් තිබුණේ ලොකු අම්මලයි ගෙදර විතරයි.”
ලොකු අම්මා, සුජිතා විජේසූරිය මහත්මිය මහේෂ්ට දෙවැනි මවක් වුනා. මෙසේ ටික කාලයක් ගත වන විට මහේෂ්ට රෝද පුටුවේ සිට තනිව යමක් කරගත හැකි කාලයේ දී පියාත් සමඟ එකතු වී නිවසක් සැදීමේ තම ලොකුම බලාපොරොත්තුව ඉටු කර ගැනීමට කටයුතු කරනවා.

- කෙටිදුර ඉසව්වේ නව ජවය “මේධානි”
- ඩන්කන් වයිට්ගෙන් ආරම්භ වී නිමාලිගෙන් අවසන් වන ඔලිම්පික් ගිය අපේ ඇත්තෝ
- ඔලිම්පික් ගිය පොලිස් බොක්සිං රැජිණ “නෙල්කා”
- ඔලිම්පික් යන සූරියවැව දුවන තරුව නිමාලි
- ටෝකියෝ යන ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායමට Dialog සවිබලය
මේ අතර කාලයේ දී මහේෂ් රණවිරු සෙවනේ වැඩි දුර ප්‍රතිකාර සඳහා යොමු වෙනවා.
“එතැන දී මම යුද හමුදා පැරා තරගවල රෝද පුටු මීටර් 100 සහ 200 ඉසව්වලට සහභාගී වුනා. ඉස්කෝලෙ යන කාලේ එල්ලෙ ගහන්නවත් නොගිය මම ආබාධිත බවට පත් වුනාට පස්සේ තමයි ක්‍රීඩාවට යොමුණේ. 2012 වසරේ මුල් ම තරගයට සහභාගී වුනත් ජයග්‍රහණයක් ලබා ගන්න බැරි වුනා. ඊට පසු හොඳට පුහුණුවීම් කරල 2013 වසරේ සිට පිට පිට වසර 5ක් මීටර් 100 සහ 200 රන් පදක්කම් දිනා ගන්න මට හැකි වුනා.”
එම ඉසව්වේ කප් ගැසූව ද මහේෂ්ට තම ක්‍රීඩා දිවියේ නිවැරදි ඉසව්ව හමු වෙන්නේ 2015 වසරේ දී.
“ඒ කාලේ මම හිටියේ අනුරාධපුර අභිමංසල ආබාධිතවුවන්ගේ පුනරුත්තාපන කඳවුරේ. ඒක භාරව හිටියේ කර්නල් බන්දුල බණ්ඩාර සර්. එතුමා පැරා කමිටුවේ සභාපති ජෙනරල් අම්බමොහොට්ටි සර් හමුවට මාව යොමු කළා. ආබාධිතවුවන්ගේ ඔරු පැදීමේ ඉසව්ව ආරම්භ වෙන්නෙත් ඒ කාලේ. ඒකට තෝරාගත් පළමුවැන්නා මම.”
ඒ අනුව මෙරට සිටින අංක එකේ Rowing පුහුණුකරු වූ ලසන්ත වැලිතර මහතා වෙත මහේෂ් යොමු වෙනවා.

මහේෂ් Rowing ක්‍රීඩාව මෙරට දී ආරම්භ කරමින් සහභාගී වුව ද ඔහුට අවශ්‍ය තරම් පහසුකම් මුල් කාලයේ පැවතියේ නැහැ. ඔහු පුහුණුවීම් කළේ ගෘහස්ථ ක්‍රීඩාගාරවල මැෂින් මගින්.
“2017 අවුරුද්දේ දී එවකට යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාගෙන් මම කළ ඉල්ලීමක් අනුව මට මේ ක්‍රීඩාවට සහභාගී වෙන්න ඉතා උසස් තත්ත්වයේ බෝට්ටුවක් ගෙනත් දුන්නා. ඒක මම යුද හමුදා ඔරු පැදීමේ සංචිතයත් සමඟ එකතු වෙමින් දියවන්නාව වැවේ ඔරු පැදීම් පුහුණුවීම් කටයුතුවලට යොදා ගත්තා.”

”මේ ආපු ගමන ගැන ගොඩක් සතුටු වෙනවා. මේ වෙනුවෙන් යුද හමුදාවෙන් අවශ්‍ය සෑම පහසුකමක්ම සලසනවා. යුද හමුදාපතිතුමා ගොඩක් උදව් කරනවා. යුද හමුදා පැරා කමිටුවත්, යුද හමුදා විශේෂ බලකායේ සේනා විධායකතුමා ඇතුළු සියලුම නිලධාරීන් ද සුවිශේෂී දායකත්වයක් ලබා දෙනවා. ඒ වගේම පුහුණුකරු ලසන්ත වැලිකල මහතා මාව මේ තත්ත්වට ගේන්න විශාල වෙහෙසක් දරනවා. මගේ ජයග්‍රහණ පිටුපස ඔවුන් සියලු ම දෙනා සිටිනවා.”
මහේෂ් යනු මෙරට ක්‍රීඩා වංශක තාවට එක් වූ අපූරු චරිතයක් ලෙසින් අපට හැඟෙනවා. ක්‍රීඩාවක් ගැන හිනෙකින් පවා නොහිතපු ඔහු අද මෙරට පමණක් නොවේ ආසියාව ම නියෝජනය කරන එක ම ක්‍රීඩකයා බවට පත් වෙලා.
“මම රෝද පුටු ඉසව්වට එක් වෙන්නේ රෝහල් පරිසරයෙන් මිදීමේ අවශ්‍යතාව නිසා. ඊට පස්සේ Rowing ක්‍රීඩාවට එක්වෙන්නේ මා ගැන බොහෝ දෙනෙක් තුළ විශ්වාසය පැවතීම නිසා. විශේෂයෙන් ම කවදාවත් මේ ක්‍රීඩාව ගැන නොදැන සිටි මා ගැන පුහුණුකරු පවා තැබූ විශ්වාසය මාව මෙතැනට යොමු කළා. ඒ වගේ ම මට මගේ ජීවිතයේ බැදීම් තියෙන්නේ මේ ක්‍රීඩාවේ පමණයි. වෙනත් බැඳීම් සමඟ ක්‍රීඩාවක් නිවැරදිව කරන්න අමාරුයි. ආබාධිතයෙක් වූ බව දැන ගත් දවසේ මම මගේ ජීවිතයට ම සාප කර ගත්තා. ඒත් මා වටා සිටි අය නිසා මම දැන් ඒ ආබාධිත බවට අභියෝග කරමින් සිටිනවා.”
මහේෂ් සහ ක්‍රීඩාව ආබාධිත බවත් සමඟ ගෙත්තම් වෙන්නේ ඒ ආකාරයෙන්. මේ සෑම තැනක ම මහේෂ්ගේ පියා ද සිටින බව ඔහු පවසනවා. මහේෂ් මේ සෑම දෙයක් ම කරන්නේ පියාට ඉන්න හිටින්න තැනක් හදා දෙන්න. අද වෙද්දී මහේෂ් ඒ බලාපොරොත්තුව යම් තරමකට ඉටු කරල තිබෙනවා.
ඊට පස්සේ මහේෂ්ගේ බලාපොරොත්තුව Rowing ක්‍රීඩාවේ අනාගතය.
“ඕනම කෙනෙක්ට ක්‍රීඩාව කරගෙන යන්න පුළුවන් කාලයක් තියෙනවා. මම ඒ තැනට එනතුරු ක්‍රීඩාවේ නියුතු වෙනවා. තවමත් මේ ක්‍රීඩාවට ශ්‍රී ලංකාවේ එච්චරට ම පිළිගැනීමක් හෝ දැන ගැනීමක් නැහැ. ඒ තත්ත්වය පළමුවෙන් ම මේ රටේ ඇති කළ යුතුයි. ඒ වගේ ම අපේ පිටුපස එන නවකයන් රැසක් ඉන්නවා. ඔවුන් අපේ තැනට ආපු දවසට මම ඉතා කැමැත්තෙන් ම මේ ක්‍රීඩාවෙන් ඉවත් වෙනවා. දැනට මේ ක්‍රීඩාව හැර වෙනත් දෙයක් මගේ හිතේ නැහැ. මෙතැනින් ඉවත් වුනාට පස්සේ තමයි මොනවා කරනවා ද කියල හිතන්නේ. එතකම් ඉතිං, Rowing තමයි”, මහේෂ් ජයකොඩි පවසනවා.

ටෝකියෝ ගිම්හාන පැරාලිම්පික් උළෙලේ සියලු තොරතුරු ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානමින් සිටිනවා. තරගාවලිය මේ මස 24 වැනිදා සිට සැප්තැම්බර් 5 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සිරි අසිරිය විඳගන්න, රැඳී සිටින්න ThePapare.com අපි සමඟම.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<





















